IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


රංගජීවගේ කණ්ඩායමට වෙඩි තැබූ මධුෂ්ගේ කල්ලිය

 

පාතාල නායකයෝ ගැන කතා කරද්දී පෝය ගැන කතා කිරීම හරියට මඩගොහොරුවක් මැද සිට කිරි ගැන කතා කරනවා වගේ කියලා හිතුනත් මධුෂ් ගැන කතා කරද්දී වෙසක් පෝයත් අනිවාර්යයෙන්ම සිහිපත් කිරීමට සිදුවේ. ඒ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසකට මීට වසරකට පමණ පෙර මධුෂ්ගේ කල්ලිය වෙඩි තැබුවේ වෙසක් සඳේ පසළොස්වක පිරෙමින් තිබූ හෝරාවක බැවිණි.
   
දෙදාස් දාහත වර්ෂයේ වෙසක් පොහොය යෙදී තිබූ මැයි දස වැනිදාට පෙර දින එනම් නව වැනිදා රාත‍්‍රී අටත් නවයත් අතර පිළියන්ඳළ නගරයේ මුළුමහත් ජනතාවම භීතියට පත් කරමින් නියෝමාල් රංගජීව මහතා මත්ද්‍රව්‍ය මිලදී ගන්නෙකු ලෙස වෙස් වළාගෙන පැමිණි ඇල්ටෝ රථය ඉලක්ක කරගනිමින් එල්ල වූ වෙඩි ප‍්‍රහාරය පිළිබඳ පුවත විද්‍යුත් මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනාගේ සවන් තුළට රිංගා ගත්තේ පාතාලය යළි හිස එසවීමේ භීතිය හා රංගජීවලා වගේම මෙම සිදුවීමෙන් විපතට පත් අහිංසක දරුවන් පිළිබඳ දුකත් කනගාටුවත් සමගය.  


මධුෂ් ගැන කතා කරද්දී රංගජීවත්, රංගජීව ගැන කතා කරද්දී මධුෂ්වත් අමතක කරන්න බැරි තරමට දෙකම එකට බැඳී තිබෙන නම් දෙකක් බවට මේ ​ෙවන විට පත්ව තිබේ. පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව යනු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කළ දක්ෂ නිලධාරියෙකි. ඔහුගේ දේශපාලන පාක්ෂිකත්වය, ඒ නිසා ඔහු අතින් සිදුවූ බව කියන ඇතැම් සිදුවීම් පිළිබඳවත්, ඔහු මත්ද්‍රව්‍ය වැටලීම් කළේ වාසියක් බලාගෙන බවට පවතින අදහස් ද විවාද සම්පන්නය.   


එහෙත් අප කතා කරන්නේ ඔහු සිය රාජකාරිය ඉටු කිරීමේදී සිය ජීවිතය පවා අවදානමකට පත් කරගත් අවස්ථාවක් ගැනය. පොලිස් පරීක්ෂක රංගජීව තම සේවා කාලය තුළ තමන්ටම ලද තොරතුරු අනුව තමන් විසින්ම කළ වැටලීම්වලින් 43 දෙනෙකුට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම හිමිවන පරිදි අධිකරණ තීන්දු ලබාගැනීමට හැකිවන අයුරින් තමන් අල්ලා ගත් සැකකරුවන්ට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කිරීමට සමත් වූ නිලධාරියෙකි.   


එසේම තමන්ගේ නායකත්වය යටතේ තමන් මෙන්ම අනෙකුත් නිලධාරීන් කළ වැටලීම්වලින් අත්අඩංගුවට ගත් 37 දෙනෙකුට මරණ දඬුවමත් 60 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවමත් ලබාදීමට හැකිවන පරිදි අධිකරණයට කරුණු වාර්තා කිරීමට තම නිලධාරීන් මෙහෙයවූ නායකයෙකි. වෙලේ සුුදාට මරණ දඬුවම නියම ​ෙව​​න්නේද රංගජීව මහතා විසින් කළ වැටලීමක් අනුවය. වෙලේ සුදා යනු සන්තෝෂම් ලබාදී රංගජීව වැන්නෙක් මෙල්ල කිරීමට හැකියාව තිබුණේ නම් ඒ අවස්ථාව කිසිසේත්ම මගහරින්නෙක් නොවන බව ඔහුගෙන් සන්තෝෂම් ලැබූවන් ගැන කියවෙන වාර්තා අනුව පැහැදිලි වනු ඇත.   


පිළියන්ඳල වෙඩි තැබීම දවසේ ද රංගජීව මහතා ඇතුලු කණ්ඩායම එහි ගියේ මධුෂ් ලංකාවට එවන ලද කෝටි ගණනක් වටිනා හෙරොයින් තොගයක් අල්ලා ගැනීමට ලැබුණ ඔත්තුවක් අනුවය. ඔහුට ඔත්තුව දුන්නේ කවුද? ඔහු නමින් මොහොමඩ් නවාස් හෙවත් මීගමුවේ නවාස්ය. පිළියන්දල වෙඩි තැබීමෙන් පසුව කරන ලද පරීක්ෂණවලදී හෙළිදරව් වූයේ නවාස්, ආමි අසිතත් සමගම ඉන්දියාවට පලාගොස් ඇති බවය.   


රංගජීව මහතා ඇතුලු ඔහුගේ සගයින් පවසන්නේ මෙම සිදුවීමට පෙර නවාස් මාස හයක් හතක් වැනි කාලයක් තුළ අවස්ථා ගණනාවකදී හෙරොයින් තොග වශයෙන් අල්ලා ගැනීමට සහයෝගය දී ඇති බවය. නවාස්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ඔත්තු ලබාදීමට සබඳකම් ඇති කරගත්තේ කෙසේද?   


යාපනේ පදිංචිකරුවෙක් වන මරිය රූබන් ඩිල්ෂාන් හා මීගමුවේ මොහොමඩ් නවාස් වැල්ලම්පිටියේදී හා වැල්ලවත්තේදී 2016 අගෝස්තු මාසයේදී රංගජීව මහතා ඇතුලු කණ්ඩායම කළ වැටලීම් දෙකක් අනුවය. කලක් රිමාන්ඞ් භාරයේ සිටි මේ දෙදෙනා පසුව අධිකරණයෙන් ඇප මත මුදාහැරුණි. ඉන් සතියකට දෙකකට පමණ පසුව මත්ද්‍රව්‍යනාශක කාර්යාංසයේම නිලධාරියෙකු මුණගැසුණ නවාස්, මධුෂ් මෙරටට හෙරොයින් ගෙන එන මාර්ග ගැන තමන් ඉතා හොඳින් දන්නා බවත් ඒවා අල්ලා දීමට තමන්ට හැකියාව ඇති බවත් ප‍්‍රකාශ කර සිටියේය. මෙවැනි ඔත්තු සපයන්නන් ඕනෑ තරම් තමන්ට හමුව ඇති බැවින් මෙහි විශේෂත්වයක් නොදුටු මේ නිලධාරියා රංගජීව මහතාද දැනුවත් කරමින් ඔත්තුකරුවා සමග සබඳතාවය ගොඩනගා ගත්තේය. ඒ අනුව අවස්ථා කීපයකදී හෙරොයින් විශාල ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට රංගජීව මහතාගේ කණ්ඩායම සමත් විය.   
මීගමුවේ නවාස් කිසිවෙකුටත් කිසිදු සැකයක් ඇති නොවන පරිද්දෙන් පොලිස් පරීක්ෂක රංගජීවලාගේ විශ්වාසය දිනා ගැනීමට ඒ ආකාරයට මාස හයක් හතක් පමණ ගනුදෙනු කළේය.   

 

 

නාකොටික් එකට මත්ද්‍රව්‍ය තොගයක් පිළිබඳ ඔත්තුව දුන් මොහොමඩ් නවාස් කවුද? මීනි මැරුම් හා මැරකම් වලින් පාතාල නමක් හදා ගනිමින් සිටි මාකඳුරේ මධුෂ් කුඩු පාතාලයට සම්බන්ධ කරගත්ගේ ඔහුට ගුරුහරුකම් දුන්නේ මොහොමඩ් නවාස් නොහොත් මීගමුවේ නවාස්ය. එසෙත් නැත්නම් කුඩු පාතාලය තුළ මධුෂ්ට අත්පොත් තැබූ ඔහුගේ ගුරුවරයාය. මධුෂ්ට හොරොයින් ජාවාරම කරගෙන යාමට සම්බන්ධකම් ජාලය හඳුන්වා දුන් මග පෙන්වන්නාය.   


මධුෂ් මිනිමැරුම් චෝදනා දෙකකට බන්ධනාගාර ගත විය. 2004 / 2005 කාලයේදී බන්ධනාගාර ගත විය. ඒ වන විට ඔහු කප්පම් ගැනීම් හා සුළු සුළු මැර ක‍්‍රියාවන් කීපයක් සිදුකර තිබුණත් මහා ලොකු පාතාල කෙරුමෙක් වූයේ නැත. මෙවැනි වටපිටාවක් සහිතව සිටි මධුෂ්ට බන්ධනාගාරයේදී හමුවූ අලුත් මිතුරන් මගින් පුබුදුමුණි විදුර ලක්ෂාන්ද සොයිසා හෙවත් රත්ගම විදුර හඳුනාගැනීමට ලැබිණ. මධුෂ් එතැන් පටන් ඔහු සමග මැරකම්වල යෙදුණ නමුත් හෙරොයින් සමග එකල ඔහුගේ කිසිදු සම්බන්ධතාවයක් නොතිබූ බවට මධුෂ් පිළිබඳව පරීක්ෂණ කරන නිලධාරීන් අනාවරණය කරගෙන තිබේ.   


ඔහුට හෙරොයින් සමග සබඳතාවක් ඇති ​ෙවන්නේ 2010න් පසුව වැලිකඩ සිරගෙදර සිටියදීය. එකල ඔහුට මීගමුවේ නවාස් හමුවිය. එය තමන්ගේ දෛවය වෙනස් කරන්නට තරම් තීරණාත්මක වනු ඇතැයි මධුෂ් සිතන්නට නැත. එහෙත් එය ඔහුගේ ජීවිතයට විශාල බලපෑමක් කළේය.   


නවාස් හා මධුෂ් හඳුනාගන්නේ වැලිකඩ බන්ධනාගාරයේදීය. වාහන සොරකම් කර කොටින්ට සැපයීම, මීගමුවේ ලීසිං සමාගම් දෙකක් කොල්ලකෑම, ඩැනී හිත්තැටිය ඝාතනය ආදී චෝදනා සම්බන්ධයෙන්ද විටින් විට අත්අඩංගුවට පත්වූ මධුෂ් දිගු කලක් තිස්සේ සිටියේ බන්ධනාගාර ගතවය. එක් චෝදනාවකට ඇප ලැබුවත් තව එකකට ඇප නොලැබීම නිසා ඔහුට මේ ආකාරයට වසර කීපයක් බන්ධනාගාරයේ ගත කරන්නට සිදුවිය.   
නවාෂ් මධුෂ්ට අලුත් ජීවිතයක් ලබා දුන්නේය. කුලියට මිනී මැරීම් හා මැරකම් කරනවා වෙනුවට තමන්ගේම ව්‍යාපාරයක් කරගෙන පලයන්, මම උදව් කරන්නම් යැයි නවාස් කීවේය.   


“මොකක්ද අය්යා ඒ ව්‍යාපාරේ?” 

 
“කුඩු, බං කුඩු” 

 
“උඹ ගාව බඩු තියේද අයියා”   


“මම උඹට මුලින්ම ග‍්‍රෑම් සීයක් දෙන්නම්, ඒක කුරුණෑගල, හලාවත ලයින් එකේ දුවලා කරලා පෙන්නපං. මගේ සම්බන්ධකම් කීපයකුත් තියෙනවා උඹට දෙන්නම්. ඊට පස්සේ මම උඹේ වැඩ බලලා තීරණයක් ගන්නම්” යැයි නවාස් මධුෂ්ට කුඩුත් සමග ගනුදෙනු කරුවන්ද හඳුන්වා දෙමින් කුඩු ගෙනයන ආකාරය ගැන ගුරුහරුකම් දෙමින් කියා සිටියේය.   


මධුෂ් එකහෙළාම නවාස්ව සිය ගුරුවරයා කර ගනිමින් ව්‍යාපාරය ආරම්භ කිරීමට කැමැත්ත පළ කළේය. එහෙත් මධුෂ්ට කලින් ඇප ලබාගත්තේ නවාස්ය. ඊට ටික කලකට පසු මධුෂ් ඇප ලැබුවේය. එහෙත් ඔහු එළියට එන විට නවාස් තවත් නඩුවකට යළි බන්ධනාගාර ගත විය. මේ වන විට රත්ගම විදුරද හොර රහසේම විදේශගතව සිටි බැවින් මධුෂ් නවාස්ගේ ව්‍යාපාරයට සම්බන්ධ වීමට සිතුවේය. ඒ අනුව ඇප ලබා එළියට ආ සැනින් මධුෂ්, නවාස් පෙන්වා දුන් මග ලකුණු ඔස්සේ කුඩු ව්‍යාපාරය පටන් ගත්තේය.   


ඔහුට ඒ සඳහා උදව්කාරියක්ද හිරේ සිටියදීම හඳුනාගන්නට ලැබිණ. ඒ සිඟිතිය. ඇය සමග හිරේ සිටියදීම අනියම් සබඳතාවයක් ගෙන ගිය මධුෂ් බන්ධනාගාරයෙන් නිදහස ලත් වහාම ගියේ ඇයත්, අසනීපයෙන් සිටි ඇගේ දරුවාත් බැලීමටය. මෙලෙස ඇගේද සහය ඇතිව කුඩු ව්‍යාපාරයට අතගැසූ මධුෂ්ට එහිදී ඇතිවන සම්බන්ධකම් ජාලය ඔස්සේ ඉම්රාන් මුණගැසිණ. ඔහු මහිලාල්ගේ පුතාය. මහිලාල් යනු නම දිනූ ජාවාරම් කාරයෙකි. මධුෂ්ගේ කුඩු ජාවාරමට ඉම්රාන්ගෙන්ද විශාල පිටුවහලක් ලැබිණ.   


මෙලෙස හෙරොයින් ජාවාරම දිගටම කරගෙන ගිය මධුෂ් එහි ජයකෙහෙළි නංවන්නටද සමත් බව නවාස් දුටුවේය. එහෙත් වසර ගණනාවක් තිස්සේ විවිධ හේතු මත අත්අඩංගුවට පත්ව බන්ධනාගාර ගතව සිටි මධුෂ්ට තවමත් අවසන් නොවු නඩු ගණනාවක්ද තිබුණෙන් ඒවා වෙනුවෙන් අධිකරණයට යාමට ඒමට සිදුවිය. හෙරොයින් ජාවාරමේ නිරතවන්නෙකු ලෙස තමන් මේ ආකාරයට නිතර අධිකරණවල රස්තියාදුවීම සුභ නොවන බව සිතූ මධුෂ් විදේශගත වන්නට කල්පනා කළේය. ඒ සඳහා ඔහු දකුණේ ප‍්‍රබල දේශපාලනඥයෙකුගේ උදව් ලබාගත්තේය. ඒ උදව් අනුව බෝට්ටු මගින් ඉන්දියාවට පලාගිය මධුෂ් එහිදී ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කීපදෙනෙක් දැන හඳුනා ගත්තේය. පසුව ඩුබායි බලා පිටත් වුණේ අපරාධකරුවන්ට සැඟවෙන්නට තිබෙන හොඳම තැන ඩුබායි බවට ලෝකය පිළිබඳව පාතාල කල්ලි අතර තිබෙන මතය අනුව යමිනි.   


ඩුබායි ගිය මධුෂ් තම ගුරාගේ උපදෙස් අමතක කළේ නැත. නවාස් යළි බන්ධනාගාරයෙක් එළියට ආ පසු ඔහු දුරකථනයෙන් සම්බන්ධ කරගත් මධුෂ් තමන් එවන හෙරොයින් සහ කේරළ ගංජා ලංකාවේ බෙදාහැරීම භාරගන්නට හැකිදැයි විමසා සිටියේය. නවාස් එකහෙළාම ඒ ඉල්ලීම පිළිගත්තේ දැන් තමන්ට ඍජුවම විදේශයෙන් මත්ද්‍රව්‍ය ගෙන්වා ගැනීමට හැකිවීමෙන් වැඩි ලාභයක් ඉපයීමට හැකිවනු ඇතැයි යන සිතුවිල්ලද හටගත් බැවිනි.   


එතැන් සිට නවාස් සිදුකළේ මධුෂ් ඉන්දියාව හරහා මුහුදු මගින් බටහිර වෙරළ තීරයට එවනු ලබන මත්ද්‍රව්‍ය තොග භාර ගනිමින් ඒවා රට පුරා බෙදාහැරීමය. එවන් ගනුදෙනුවක නිරතව සිටි නවාස්, මධුෂ්ගේ හෙරොයින් ජාවාරම පසුපස හඹායන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ඔත්තු ලබාදෙන්නට ඉදිරිපත් වීම ගැන සැකයක් රංගජීව වැනි පොලිස් නිලධාරියෙකුට ඇති නොවුණේ මන්ද?   


කෙසේ වුවද 2016 අගෝස්තු මාසයේ අත්අඩංගුවට පත්ව මාස කීපයකින් ඇප මත මුදාහැරුණු නවාස් මාස කීපයකට පසුව රංගජීව මහතාගේ කණ්ඩායමේ සිටි උපපොලිස් පරීක්ෂක ජයන්ත හමුවී මධුෂ්ලා මෙරටට කුඩු ගේන ආකාරය ගැන සියලු තතු තමන් සතු බවත් ඒවා අල්ලා දීමට හැකි බවත් පවසද්දී මධුෂ් හා නවාස් අතර තිබූ සබඳතාවය ගැන කිසිදු සැකයක් ඇති කර නොගැනීම ගැන ඔවුන්ගේ පාර්ශ්වයෙන් කියන්න දේවල් කොතෙක් තිබුණත් එය කෙතරම් ප‍්‍රඥාගෝචරද යන ප‍්‍රශ්නය කෙනෙක් තුළ මතුවීම වැළැක්විය නොහැකිය. කෙළින්ම රංගජීව මහතා සමග සබඳකම් ආරම්භ නොකළ නවාස් ජයන්ත අල්ලා ගත්තේ ඒ හරහා අවශ්‍ය අවස්ථාවක රංගජීව දඩයම් කරගැනීමේ අරමුණ ඇතිවය. ඒ අනුව 2017 මැයි අට වැනිදා ජයන්ත හමුවී තවත් හොරොයින් තොගයක් පැමිණ ඇති බවත් එයින් කිලෝ 10ක් ලබාගත් අයෙක් ඒවා විකිණීමට ගනුදෙනුකරුවෙක් සොයන බවත් පැවසීය. ඒ අනුව ගනුදෙනුව සිදුකිරීමට නව වැනිදා යොදාගත් අතර එයට රංගජීව මහතාද සම්බන්ධ කරගන්නා ලෙස නවාස් ඉල්ලා සිටියේ ගනුදෙනු කරු ඔහුටම අල්ලා දීම සුදුසු බව පවසමිනි. ඒ අනුව කුඩු තොගය මිලදී ගැනීමට පැමිණෙන ගනුදෙනුකරුවා ලෙස රංගජීව මහතා වෙස් ගැන්විණ.   


ඔවුන්ට පළමුව එන්න කිව්වේ වැල්ලම්පිටියටය. ඉන්පසු බොරැල්ලටත් එතැනින් පැපිලියානටත් ලෙස ස්ථාන මාරු කළ නවාස් පසුව ප‍්‍රහාරය එල්ල කිරීමට සුදුසුම තැන ලෙස කලින් යොදාගෙන තිබූ පිළියන්දල නගරයට පිරිස ගෙන්වා ගත්තේය. ප‍්‍රහාරය එල්ල වූයේ එහිදීය. නවාස්ගෙන් තොරතුරු මධුෂ්ට සැපයුන අතර මධුෂ්ගෙන් ඒ තොරතුරු අනුව කළ යුතු දේ පිළිබඳ උපදෙස් ආමි අසිතට හා පැටී මහත්තයාට ලැබිණ. මධුෂ්ගෙන් ලබාගත් ලක්ෂ දෙකහමාරක ණය හිලව්වට තමන්ගේ හතුරෙක් ඝාතනයට යන ලෙස මධුෂ් උපදෙස් දී තිබුණද තමන් යන්නේ නා කොටික් එකේ පොලිස් කණ්ඩායමකට පහර දීමට බව පැටී දැන සිටියේ නැත. මධුෂ්ගෙන් උපදෙස් ලැබුණේ පිළියන්දල මොරටු පාරේ මාතර බත්කඩේ ළඟ නවතා තිබෙන ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයේ අවශ්‍ය පුද්ගලයින් සිටින බවය. එහෙත් එහි ඇල්ටෝ මෝටර් රථ දෙකක් තිබිණ. පළමු රථයට ප‍්‍රහාරය එල්ල කළ ආමි අසිත එහි කිසිවෙක් නැති බව දැන වහාම අනෙක් රථයට ප‍්‍රහාරය එල්ල කළේ එහි සිටින්නන්ට පැන යන්නට ඉඩක් නොතබමිනි. පැටීද ඊට අවශ්‍ය වේගයෙන් යතුරුපැදිය පැදවූයේය.   


ප‍්‍රහාරය අවසන් වූ වහාම පැටී සමග ආමි අසිත බෝට්ටු මගින් ඉන්දියාවට ගෙන්වා ගැනීමට මධුෂ් සැලසුම් කළේය. ඒ අනුව පනස්දාහක් ගෙවා මන්නාරමෙන් බෝට්ටුවකට නැගගත් නවාස්ලා ඉන්දියානු සීමාවේදී ඉන්දියාවෙන් පැමිණි බෝට්ටුවකට නංවා ගනු ලැබිණ. එයටද පනස්දාහක් ගෙවූයේ මධුෂ්ගේ උපදෙස් පරිදිය. ඒ සියලු වියදම් හා සැලසුම් මධුෂ්ගෙනි. නවාස් නාකොටික් නිලධාරීන්ට වගේම මධුෂ්ටද එකවර තොරතුරු සපයා ඇති බව මෙරට ආරක්ෂක අංශ හෙළිදරව් කරගන්නා විට විය යුතු සියල්ල සිදුවී හමාරය. ජාවාරම්කරුවන් අල්ලා ගැනීමට දැල එලනා පොලිසිය අල්ලා ගැනීමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙවැනි දැලක් එලා පොලිසියට ප‍්‍රහාරයක් එල්ල කළ අවස්ථාවක් මින් පෙර අසන්නට ලැබී නැත. ඒ නිසා මෙය පොලිසියට එල්ල කළ බරපතළ ප‍්‍රහාරයක් විය.   


මධුෂ් රංගජීවට වෙඩි තිබ්බේ ඇයි? ඒ ගැන සහ තවත් කතා රැසක් අපි ලබන කලාපයෙන් කතා කරමු.   

 

 

 


මුදිතා දයානන්ද  



අදහස් (0)

රංගජීවගේ කණ්ඩායමට වෙඩි තැබූ මධුෂ්ගේ කල්ලිය

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10924 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6211 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5932 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5254 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3239 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1707 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site