IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


නමගිය චණ්ඩියාගේ මළ සිරුර පොලිස් කූඩුවේ

මළවුන්ගේ
        අනාවරණ

එදින උදෑසන සුපුරුදු පරිදි රාජකාරියට වාර්තා කළ පොලිස් සැරයන් ප්‍රසන්න සිර මැදිරිය වෙත ගමන් කළේ පෙරදින අත්අඩංගුවට ගත් සැකකරු වන සිරිපාල ගැන විපරම් කර බැලීමටය. සිරිපාල සිරමැදිරියේ දිගාවී සිටියේය. ඔහු නිදි යැයි සිතූ සැරයන් ප්‍රසන්න කෑ ගසා කතා කළේය.   

‘‘ඕයි දැන් ඉතිං ඇති නිදාගත්තා. නැගිටිනවා. නැගිටලා ඇත්ත කතාව කියනවා. තවත් බොරු නොකර’’   


එහෙත් සිරිපාල නොවේ කර ඔසවාවත් බැලුවේ. කෙතරම් කෑ ගැසුවද සිරිපාල නිසොල්මනේ සිටියෙන් සැරයන් ප්‍රසන්න කොස්තාපල්වරයෙකුටද කතා කර සිරමැදිරිය විවෘත කර ඇතුළට ගොස් විපරම් කර බැලුවේය. සිරිපාලගේ සිරුර සීතලය. තැතිගත් සැරයන්වරයා ඔහුව හදිසි ප්‍රතිකාර ඒකකයට යොමු කළේය. එහෙත් ඒ වන විටත් ඔහු මියගොස් ඇති බව වෛද්‍ය මතය විය.   


සිරිපාල නම ගිය චණ්ඩියෙකි. අපරාධ රැසක් සම්බන්ධයෙන් ඔහුට අධිකරණ කීපයක නඩු පවති. රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි ඔහු ඇප මත මුදාහැර තිබියදී තවත් මංකොල්ලයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබුවේ පෙරදින සවස් කාලයේය. ඔහු කිසිසේත්ම වරද බාරගත්තේ නැත. ඒ නිසා ඔහුට පහර කීපයක් එල්ල කිරීමටද පොලිස් නිලධාරින්ට සිදුවිය.   


පොලිස් සිරමැදිරියකදී සැකකරුවෙක් මිය යාම අදාළ සැකකරු මොන තරම් දරුණු අපරාධකරුවෙක් වුවත් එම පොලිස් ස්ථානයේ නිලධාරින් වෙත බරපතළ චෝදනා එල්ල කළ හැකි ගැටලුවකි. අපරාධකරුවෙකුට වුවද මානව අයිතිවාසිකම් හිමිව තිබේ. වැරදිකරුවෙක්ද? නිවැරදිකරුවෙක්ද? යන්න තහවුරු කළ යුත්තේ චෝදනා එල්ල කරන පාර්ශ්වය සාක්ෂි මගිනි. ඒ වෙනුවට වරද පිළිගැනීමට කෙනෙකුට බලකළ නොහැකිය. එසේම එක් වරදක් කළ පමණින් අනෙක් වැරදි සියල්ලද පැටවීම සුදුසු වන්නේ නැත. පොලිස් සිරමැදිරියකදී කෙනෙක් මිය යන්නේ නම් අනිවාර්යයෙන්ම එය පහරදීමකින් සිදුවිය යුත්තකි. චෝදනා එල්ල කරන පාර්ශ්වයන් දක්වන්නේ එවැනි අදහස්ය.   


මරණයට හේතුව කුමක්දැයි පොලිසියට එක්වරම පැවැසීය නොහැකි වූ නිසා සිරිපාලගේ ඥාතීන් පොලිසියට එරෙහිව පෙළ ගැසෙන්නට වූහ. දාමරිකයෙක් වුවත් පහරදී ඝාතනය කිරීමට පොලිසියට අයිතියක් නැති බව ඔවුන්ගේ අදහස විය.   


සමාජයේ මෙවැනි මතයන් ගොඩනැඟී තම අණසක යටතේ පවතින පොලිස් ස්ථානයකට එරෙහිව ජනතාව කැරළි ගැසීමට පෙර ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකිරීමට පොලිස් කණ්ඩායමක් යොදවනු ලැබිණ. එසේම මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඒ සඳහා දිස්ත්‍රික් අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත යොමුකරනු ලැබිණ.   
දිස්ත්‍රික් වෛද්‍යවරයා මෙම මළ සිරුරට යොමු වුණේ ඒ අනුවය. මළ සිරුරක බාහිරින් පවතින තුවාල හා වෙනත් කැලැල් පිළිබඳව මුලින්ම සැලකිළිමත් විය යුතු අතර ඒවා කවදා කොහේදී සිදුවුණාදැයි විමසා බැලිය යුතුව ඇත. එය මරණයක ප්‍රබල සාක්ෂියක් වනු ඇත. මරණය ස්වභාවික එකක් නම් පොලිස් නිලධාරින්ට චෝදනා එල්ල නොවන අතර අත්අඩංගුවට ගත් පසු සිදුවු තුවාල හෝ තැලුම් ලකුණු වේ නම් එය ඔවුන් ප්‍රශ්නයකට මැදි කරනු ඇත.   


වෛද්‍යවරයා සිරිපාලගේ සිරුර දැඩිව සෝදිසියට ලක් කළේය. එහි තුවාල කිසිවක් නොවිණ. එහෙත් මීට පෙර ඇති වූ තුවාල කැළැල් රැසක් දක්නට ලැබිණ. ශරීර අභ්‍යන්තර අවයව විච්ඡේදනයේදී කිසිදු තුවාලයක් දක්නට නොවිණ. ඒ නිසා මරණයට හේතුව සොයාගැනීමේ අසීරුකමකට දිස්ත්‍රික් වෛද්‍යවරයා මුහුණ දුන්නේය. වැඩිදුර පරීක්ෂණ සඳහා ශරීර පටක සාම්පල ඉතිරි කරගත් වෛද්‍යවරයා සිරුර භූමදානයට මුදාහැරියේය.   
සිරුර බාරදීමෙන් පසු යළිත් සිරිපාලගේ පවුලේ ඥාතීන් හා අසල්වැසියන් ඇවිස්සී ආවේ කඩිගුලක් මෙනි. මූලික පශ්චාත් මරණ පරීක්ෂණයෙන්ද මරණයට නිශ්චිත හේතුවක් කිව නොහැකිවීම එයට හේතු විය. උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් හා බැටන් පොලු ප්‍රහාරයක් එල්ල කිරීමට ද පොලිසියට සිදුවිය. එයින් පොලිසිය කෙරෙහි ජනතාව තව තවත් වෛර බැඳගනු ලැබිණ.   


අත්අඩංගුවට පත්වන පුද්ගලයෙක් අධික මානසික ආතතියට ලක්ව මිය යා හැකිය. අධික මානසික ආතතියකට ලක්වන පුද්ගලයෙකුගේ අන්තරාසර්ගි ග්‍රන්ථි මගින් ඔහුව එම තත්ත්වයට අනුවර්තනය කිරීම සඳහා විවිධ හෝමෝන වර්ග ස්‍රාවය කෙරේ. මේ අතර ඇඩ්‍රනලීන් හා නොඇඩ්‍රනලින් හෝමෝන වර්ග දෙක ප්‍රධාන වේ. මේවා මගින් හෘද ස්පන්දන වේගය සහ මංශ පේශි සංකෝචනය වීමේ බලය වැඩි කරයි. එය හෘදය වස්තුවේ අසාමාන්‍ය විද්‍යුත් ධාරාවන් ඇති වීමට හේතුවේ. හෘදයාබාධවලින් පෙළෙන අයෙකු මෙවැනි තත්ත්වයකට ගොදුරු වීමෙන් ක්ෂණිකව මරණයට පත්විය හැකිය. එවැනි තත්ත්වයක් පශ්චාත් මරණ පරීක්ෂණයකින් අනාවරණය කරගත නොහැකිය.   


රැඳවුම්භාරයට නැත්නම් සිරභාරයට පත්වන ඇතැම් පුද්ගලයන් අධික ලෙස මත්පැන් හා වෙනත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන්වේ. ඔවුහු පොලිස් සිරමැදිරිවල සිටියදී පවා නොයෙකුත් ක්‍රමවලට මත්ද්‍රව්‍ය සපයා ගනිති. ඇතැම් මත්ද්‍රව්‍ය අධික ලෙස භාවිතය නිසාත් මෙවැනි පුද්ගලයන් ක්ෂණිකව මරණයට පත්විය හැකිය. එයද නිසි පරීක්ෂණයක් සිදුනොකළ හොත් අනාවරණය කරගත නොහැකිය. ස්වභාවික රෝගි තත්ත්වයන්, පහරදීම්, ගෙල වැළලා ගැනීම් වැනි දේවල් නිසාත් අත්අඩංගුවේ සිටින්නෙකු මරණයට පත්විය හැකිය.   


දිස්ත්‍රික් වෛද්‍යවරයා සිරුර බාරදීමට පෙර තබාගත් පටක කොටස් වැඩිදුර පරීක්ෂණයකට යොමු කරමින් විස ශරීරගත වීමක් සිදුව ඇත්දැයි පරීක්ෂා කිරීමට යොමු කළ අතර තව කොටසක් අන්වීක්ෂ පටක පරීක්ෂණය සඳහා පේරාදෙණිය අධිකරණ වෛද්‍ය විශේෂඥ සරත්චන්ද්‍ර කොඩිකාර මහතා වෙත යොමු කරනු ලැබිණ.   


අන්වීක්ෂ පටක පරීක්ෂණයේදී අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා විශේෂිත යමක් නිරීක්ෂණය කළේය. ඒ සිරිපාලගේ පෙනහලු පටක තුළ වූ අසාමාන්‍ය පටක වෙනස්වීමේ තත්ත්වයකි. සාමාන්‍ය පටක අතර තැනින් තැන ලේ ඝනවී තිබූ අතර සමහර ස්ථාන කුඩා වීදුරු කැබලි, පිටි වැනි ද්‍රව්‍යයක අංශු සහ තවත් සියුම් අංශු කොටස් දක්නට හැකි විය.  


මෙවැනි තත්ත්වයක් බොහෝ විට ඇති වන්නේ රුධිර නාළ තුළට මත්ද්‍රව්‍ය එන්නත් කරගැනීමේදීය. මත්ද්‍රව්‍ය නිෂ්පාදනයේදී ඊට විවිධ ද්‍රව්‍ය එකතු කරනු ලැබේ. සමහර ඒවා අපද්‍රව්‍ය වේ. තවත් සමහරක් මත්ද්‍රව්‍යයේ සැර බාල කිරීමට යොදන ද්‍රව්‍යයන්ය. මත්ද්‍රව්‍ය එන්නත් කරගැනීමේදී මේ සියලු ද්‍රව්‍ය රුධිරයට එක්ව ශිරා පද්ධතිය ඔස්සේ හෘදය වස්තුවට ගමන් කර පසුව රුධිර පිරිපහදුව සඳහා පෙනහලු කරා ගමන් කරනු ඇත. එහිදී මෙම අපද්‍රව්‍ය පෙනහලු පටක තුළට ගමන් කිරීම නිසා පෙනහලු පටක ඒවාට එරෙහිව පෙරණයක් සේ ක්‍රියා කරයි. පෙනහලු පටකවල සිදුරු මෙම අංශුවලට වඩා කුඩා වීම නිසා ඒවා පෙනහලු පටකවල රැඳේ. අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා සිරිපාලගේ පෙනහලු පටක තුළ දැකපු මේ වෙනස්කම් අනුව එක් නිගමනයකට එළැඹිය හැකිවිය. එනම් සිරිපාල කලක සිට මත්ද්‍රව්‍ය සිරුරට එන්නත් කරගැනීම පුරුද්දක් කරගත් අයෙක් බවය.   
ඔහුගේ සිරුරේ සම මතුපිට තුවාල කැළැල් පරීක්ෂා කිරීමේදී වෛද්‍ය සරත්චන්ද්‍ර මහතාට තමන් පෙනහලු පටක පරීක්ෂා කිරීමේ දී එළැඹිය හැකි වූ කරුණු සනාථ වන බව පැහැදිලි විය. සම මතුපිට තුවාල කැළැල් ඇති වී තිබෙන්නේ මත්ද්‍රව්‍ය එන්නත් කිරීමේදී ඇතිවූ සිදුරුවීම්වලින් බව වෛද්‍යවරයා පැමිණි නිගමනය වේ.   


වෛද්‍යවරයාට ඊළඟට මතුවූ ප්‍රශ්නය වූයේ මොහු එන්නත් කරගත් මත්ද්‍රව්‍යය කුමක්ද? එය මරණය ළඟා කිරීමට සමත් වූවක්ද යන්නයි. හෙරොයින්, කොකේන් සහ සමහර ඖෂධ වර්ග මෙසේ එන්නත් කරගත හැකි ද්‍රව්‍ය අතර ප්‍රධාන තැනක් ගනී. මෙහිදී මතුවු ප්‍රශ්නය වන්නේ රුධිර පරීක්ෂණ වාර්තාවේ එවැනි මත්ද්‍රව්‍ය භාවිතයක් ගැන හෙළිදරව් වූ බවට තොරතුරක් නොවිණ. ඒ පිළිබඳව කළ සොයා බැලීමේදී හෙළි වූයේ එවැනි මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳව මෙම රුධිර සාම්පල්වලින් පරීක්ෂා කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත්ව නොතිබීම නිසාය. ඒ අනුව අධිකරණ වෛද්‍යවරයා තමන් වෙත ලැබුණ අතිරේක රුධිර සාම්පලයක් මත්ද්‍රව්‍ය පරීක්ෂාවට යොමුකරන ලදි.   


එහිදී සරත්චන්ද්‍ර මහතාගේ සැකය තව තවත් තහවුරු කරන වාර්තාවක් ලැබිණ. සිරිපාලගේ රුධිරයේ කොකේන් මත්ද්‍රව්‍යය මාරාන්තික ප්‍රමාණවලින් අඩංගුව ඇති බවය. එතරම් ප්‍රමාණයක් කොකේන් රුධිරයේ අඩංගු විය හැකි වන්නේ ඔහු මරණාසන්න කාලයක් තුළ දී ඒවා එන්නත් කරගතහොත්ය. දැන් ප්‍රශ්නය මතුවන්නේ පොලිස් සිරමැදිරියේ සිටි සිරිපාලට කොහෙන්ද කොකේන් එන්නත් කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය හා කොකේන් ලැබුණේ ? වාර්තාවලින් කුමක් දැක්වුවද එය සාධාරණ ලෙස ඔප්පු කිරීමට සාක්ෂි සොයාගත යුතුව ඇත. එය කෙසේ නම් සිදුකරන්නේද යන්න දැන් අධිකරණ වෛද්‍යවරයාට මතුවී තිබෙන ගැටලුවයි.   


සිරිපාල අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ හොඳ සිහියෙන් සිටි බවටත් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට පෙනෙන්නට නොතිබු බවද පොලිස් වාර්තාවල සඳහන් වේ. අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සන්තකයේ මත්ද්‍රව්‍ය කිසිවක් නොතිබූ බවද පොලිස් වාර්තා අනුව පැහැදිලිවිය. එසේ නම් ඔහුට මත්ද්‍රව්‍ය ලැබුණේ කෙසේද? සිරිපාල සමග සිරමැදිරියේ වෙනත් පුද්ගලයෙක් සිටියේ ද නැත. එසේම ඔහුව බැලීමට ද කිසිවෙක් පැමිණ තිබුණේ ද නැත. එහෙමනම් ඔහුට මත්ද්‍රව්‍ය සැපයුවේ පොලිස් නිලධාරියෙක්ද? එසේත් නැත්නම් ඔහුට බලහත්කාරයෙන් කොකේන් එන්නත් කළේ ද? මෙය බරපතළ ප්‍රශ්නයකි. දැන් අධිකරණ වෛද්‍යවරයා සතුව තිබෙන්නේ මෘත ශරීරය නිදහස් කිරීමේ දී ඉතිරි කරගත් පටක කීපයක් හා රුධිර සාම්පල් පමණි. මෙයින් සිරිපාලට මත්ද්‍රව්‍ය ලැබුණේ කෙසේදැයි තහවුරු කරන්නේ කෙසේද?   


අධිකරණ වෛද්‍ය විශේෂඥවරයාත්, දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයාත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළහ. මෘත ශරීරය සම්බන්ධයෙන් ගත් ඡායාරූප නිරීක්ෂණය කළද කිසිවක් සොයාගත නොහැකි විය. ඒ අනුව මෘත ශරීරය යළි ගොඩනැඟීමේ අවශ්‍යතාවයක් මතුවිය. ඒ සඳහා මහේස්ත්‍රාත්වරයා වෙත ඉල්ලීමක් යොමු කළ අතර ඊට අවසරය ලැබිණ. එම අවසරය මත ගොඩගත් සිරුර පේරාදෙණිය අධිකරණ වෛද්‍ය පර්යේෂණාගාරයේ දී දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලදි.   


ස්වාරක්ෂණය කර තිබු නිසා මෘත ශරීරය සෑහෙන දුරට නරක් නොවී ආරක්ෂා වී තිබිණ. පළමුව සිරුර එක්රේ පරීක්ෂණයකට ලක් කරනු ලැබිණ. එහිදී මෘත ශරීරයේ ගුද මාර්ගය ආශ්‍රිතව යම් ආගන්තුක ද්‍රව්‍යයක් ඇති බව පෙනෙන්නට තිබිණ. සාමාන්‍යයෙන් මෘත ශරීරයක් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක දී ගුද මාර්ගය විවෘත කර බැලිය යුතු වුවත් දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා එය විවෘත කර පරීක්ෂා කර තිබුණේ නැත. ඒ අනුව වෛද්‍යවරු දෙදෙනාම සාකච්ඡා කර ගුද මාර්ගය සහ ගුදය ප්‍රවේශමෙන් විවෘත කළහ.   


වෛද්‍යවරු දෙදෙනාම පුදුමයට පත් කරමින් ගුද මාර්ගයේ සඟවා තිබූ පරීක්ෂණ නළයක් දැකගත හැකිවිය. එය පරීක්ෂාවට ලක්කිරීමේදී ඒ තුළ බහාලු කුඩා සිරින්ජයක් ද දැකගත හැකි විය. සිරිපාල කියන්නේ ගමේ සිටින චණ්ඩියෙකි. ඔහුට හොරකම් හා මංකොල්ල කෑම් සම්බන්ධයෙන් තමන්ගේ ගමේ වගේම අවට පොලිස් ස්ථාන කිපයකින්ම ගොනු කළ නඩු තිබේ. ඒ නිසා ඔහු නිතර අත්අඩංගුවට පත් වන පුද්ගලයෙකි. එලෙස අත්අඩංගුවට පත්වූ පසු තමන් පුරුද්දක් ලෙස සිදුකරන කොකේන් භාවිත කිරීමට සිරිපාලට ඉඩක් නොලැබේ. ඔහු එයට පිළියමක් සොයා ගත්තේය. අනෙකුත් අයට හොර රහසේ විශේෂයෙන්ම පොලිස් අත්අඩංගුවට පත්වුවත් ඔවුන්ටද සොයා ගැනීමට නොහැකි ලෙස කොකේන් එන්නත් කිරීමට භාවිත කරන සිරින්ජය මෙසේ සඟවා තබාගෙන ඇති බව ගුද මාර්ගය පරීක්ෂා කිරීමේ දී දැකගත හැකිවිය. සිරින්ජය සඟවා තබා ගැනීමට ප්‍රමාණවත් ඉඩක් ලැබෙන පරිදි ගුද මාර්ගය විස්තාරණය වී තිබීමෙන් ඔහුගේ මේ පුරුද්ද පිළිබඳව තහවුරු වේ.   


සිරිපාල වැසිකිළියට යන අවස්ථාවල දී එය පිටතට ගනී. ඔහු පොලිස් සිරමැදිරියේ දී  මෙම සිරින්ජය භාවිත කර කොකේන් එන්නත් කරගෙන ඇති බව දැන් පැහැදිලිය. එහෙත් නිතර සිරමැදිරිය අසළින් එහා මෙහා යන පොලිස් නිලධාරීන්ගේ ඇස් වසා කොකේන් එන්නත් කරගනිද්දී චකිතය නිසා හෝ කලබලකාරිත්වය නිසා හෝ නියමිත මාත්‍රාවට වඩා වැඩියෙන් එන්නත් කරගැනීම මෙසේ ඔහු මරණයට පත්වීමට හේතුවී තිබේ. ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් සිරිපාලගේ මරණයට හේතුව කොකේන් අධික ලෙස භාවිත කිරීමෙන් රුධිර පීඩනය ඉහළ යාම බවට සඳහන් විය.   


(මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත බව කරුණාවෙන් සළකන්න)   


අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය සරත්චන්ද්‍ර කොඩිකාර මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන් සටහන් කළේ   

 

 

 

 


මුදිතා දයානන්ද   



අදහස් (0)

නමගිය චණ්ඩියාගේ මළ සිරුර පොලිස් කූඩුවේ

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10924 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6211 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5932 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5254 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3239 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1707 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site