IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කුඩු අල්ලන නිලධාරින්ම කුඩු විකුණන කල

 

දැන් පාතාලයට පමණක් නොව පොලීසියට ද උදාවී ඇත්තේ අභාග්‍යසම්පන්න කාලයක් යැයි කීවොත් එය නිවැරදිය. ඇතැම් පොලිස් නිලදරුවන්ගේ නොමනා ක්‍රියාවන් ගැන අපි මින් පෙර ද අසා ඇත්තෙමු. එහෙත් දැන් දැන් අසන්නට ලැබෙන්නේ එදා ඇසූ පුවත් නොවේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සමහර නිලධාරීන් මෙන්ම විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සුළු පිරිසක් අතින් ද සිදු වූ මහා ජාවාරම් අතරට දැන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සුළු පිරිසක් ද එක්කාසු වී ඇත. 


පාතාලය සමග අයුතු සම්බන්ධතා පැවැත්වීමේ චෝදනාවෙන් ගල්කිස්ස පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටී. ආර්. හෙට්ටිආරච්චි මහතාගේ වැඩ තහනම් වන්නේ ඉකුත් 31 වැනිදාය. සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ‘ගොනාකෝවිලේ අංජු’ සමග සමීප සබදතා පැවැත්වීම, රත්මලානේ ආපනශාලාවකට සිදුවූ ප්‍රහාරයේ දී සංවිධානාත්මක කල්ලි සාමාජික “ධර්මසිරි” නමැත්තා සමග දුරකතන සංවාද පැවැත්වීම සහ දෙහිවල පොලීසිය මගින් මත්කුඩු කිලෝවක් අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී ධර්මසිරි සමග දුරකතන සංවාදයේ යෙදීම මෙම වැඩ තහනමට හේතුන් ලෙස සදහන් වෙයි. 


මේ අතර තවත් පොලිස් පරීක්ෂකවරයෙකු වැඩ තහනමට ලක්වන්නේ ඉමෝ තාක්ෂණය ඔස්සේ කාන්තාවකට තම නිරුවත පෙන්වූ බවට වූ චෝදනාවකටය. එලෙස වැඩ තහනමට ලක්වූයේ පානදුර කොට්ඨාස අපරාධ අංශයේ වැටලීම් ඒකකයේ (මත්ද්‍රව්‍ය) ස්ථානාධිපතිවරයාව සිටි පොලිස් පරීක්ෂකවරයාය. හෙරොයින් සමග අත්අඩංගුවට පත්වන සැකකරුවෙකුගේ සහෝදරියක සමග අයුතු ලෙසින් හැසිරීම හේතුවෙන් මෙම පොලිස් පරීක්ෂකවරයාට වැඩ වැරදී ඇතැයි පැවසෙයි. මේ පුවතේ නම් සිතන්නට බොහෝ දේ ගැබ්වී ඇතැයි දැනෙයි. 


පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රඳවා ගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන නාකොටික් නිලධාරීන්ට අමතරව සිටින තවත් එක් නිලධාරියෙකි. ඔහු පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂක කළුපහනගේ අජිත් ප්‍රේමලාල්ය. 


කොල්ලුපිටිය මරීනා මෝල් සාප්පු සංකීර්ණයේ රථ ගාලේ දී සිදු වූ බව කියන හෙරොයින් කිලෝ 294 සිද්ධියට අදාළව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැකකාර උප පොලිස් පරීක්ෂක උදාර චතුරංග ප්‍රේමසිරි නිලධාරියා සමග මේ කියනා පොලිස් විශේෂ කාර්ය බළකායේ සැකකාර උප පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් නිලධාරියා සම්බන්ධීකරණය කටයුතු සිදුකර ඇති බවට ඉකුත් 31 වැනිදා අධිකරණය හමුවේ පළමුව කරුණු ඉදිරිපත් කළේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීිරිස් මහතාය. 


එම සිද්ධියේ ව්‍යාජ වැටලීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ තවත් නිලධාරින් 12 දෙනකු සහභාගී වී ඇති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. මෙහි ඇති විශේෂත්වය නම් මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම එස්.ටී.එෆ් හි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ද සම්බන්ධ වී තිබීමය. 


නාකොටික් මත්ද්‍රව්‍ය ජාවාරමට පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන් 12 දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එලෙස කරණු ඉදරිපත් කරනු ලැබුවේ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේදීය. 


මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂක අජිත් ප්‍රේමලාල් නමැත්තා සම්බන්ධ බවට ඔහු අත්අඩංගුවට ගැනීමට මාස දෙකකට පමණ පෙර හෙළිකරගෙන තිබුණත්, ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වන ලෙස පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලයන් තුළින්ම ආවරණයක් බිහිව තිබූ බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය. 


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට ප්‍රකාශ කළේ, එම කාලය තුළ මෙම සැකකාර උප පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් නමැත්තා ඔහුට එරෙහිව ඇති සාක්ෂි වසන් කළා ද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුව ඇති බවත් ය. 


මේ කියන සැකකාර උප පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තේ ඉකුත් අගෝස්තු මස 18 වැනිදාය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ සඳහන් කළ ආකාරයට මෙම සිද්ධියට අදාළව පැවසුණු විශේෂ කාර්ය බළකායේ අනෙක් නිලධාරීන් 12 දෙනා සම්බන්ධයෙන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විමසීමක් කළාය. 


ඒ අනුව මෙම සිද්ධියට සම්බන්ධ තවත් පිරිස් දැනටමත් නිදැල්ලේ සිටිත් නම් ඒ අය අත්අඩංගුවට ගත යුතුව ඇති බවත්, එසේ නොවුන හොත් තවත් සාක්ෂි විනාශ වීමේ හැකියාව ඇතිවා සේම ඔවුන් විදේශ ගත වීමට වුව ද හැකියාව ඇති බවත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එහිදී සඳහන් කළාය. එසේම වහාම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් ද නිකුත් කළාය. 


නීතිය සැමට පොදු දෙයක් බවත් එය පොලිස් දෙපාර්තමේන්තුවට කියා වෙනසක් නොමැති බවත් සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය මෙහි යම් අයෙකු නිදැල්ලේ සිටිනවා නම් එය විශාල ගැටලුවක් බවත් ඒ සම්බන්ධයෙන් වහාම විමසා බැලිය යුතුව ඇති බවත් සඳහන් කළාය. 


එසේම, මෙම ජාවාරම සම්බන්ධයෙන් 14 වන සැකකරු වශයෙන් දැනට ඩුබායි රාජ්‍යයේ සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන උදාර සම්පත් නමැත්තා නම් කරනු ලබන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. මෙම සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකයකු වන පොඩි ලැසී නමැත්තාගේ ඥාති සොහොයුරා ද වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. 

 

 


මෙහිදී අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙසේ ද ප්‍රකාශ කළේය. 


“ඉකුත් අප්‍රේල් මාසයේදී මෙම සැකකාර නාකොටික් නිලධාරීන් හෙරොයින් කිලෝග්‍රෑම් 130ක් කොළඹට ගෙනල්ලා. ඉන් කිලෝ 25ක් හික්කඩුවේ විහඟ ප්‍රභාත් දේවින්ද නොහොත් ‘මැණික්” සහ ඔහුගේ රියැදුරා වශයෙන් කටයුතු කළ තත්සර කාවින්ද සූරියාරච්චි යන අයවලුන්ට ලබා දෙනවා. ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ තොරතුරු අනාවරණය කර ගන්නවා “නීල්” නමැත්තෙකු සම්බන්ධයෙන්. 


මෙහිදී නීල්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වල දී ගාල්ල තෙල්වත්ත ප්‍රදේශයේ වළ දමා තිබිය දී හෙරොයින් කිලෝ 11 ග්‍රෑම් 880ක්, ටී 56 ගිනි අවි 2ක්, එහි උණ්ඩ සහ මිලි මීටර් නමය වර්ගයේ පිස්තෝල 2ක් එහි උණ්ඩ සහ මැගසින් ඇතුළු ආයුධ තොගයක් සොයා ගත්තා. මෙහිදී සොයා ගත් හෙරොයින් තොගය මේ සැකකාර නාකොටික් නිලධාරීන් විසින් බෙදා හරින ලද ඒවා. ඒ වගේම මෙම සැකකරුවන් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව ආයුධ ජාවාරම සිදුකර ඇති බවට මුල සිටම අපි අධිකරණයට දැනුම් දුන්නා. මේ ආයුධ යුධ හමුදාවෙන් හෝ වෙනත් ආරක්ෂක අංශයකින් හෝ බෝට්ටුවලින් හෝ ලැබුණු ඒවාදැයි සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනය කරනවා. මෙම සමහර ගිනි අවි වල අංක මකා දාලා. ඒ සියල්ල ගැන තොරතුරු ලබා ගන්න ඕන රස පරීක්ෂක වාර්තාව කැඳවීමෙන් අනතුරුව තමයි. මේ තොරතුරු අනුව අනිවාර්‌යයෙන්ම සැකකරුවන් සහ ජාවාරම්කරුවන් අතර ඇති සබඳතාව දැන් පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. 


ලංකාවේ කීර්තිමත් ආයතනයක් වන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් මේ ජාවාරම්කාර පිරිස සමග එක්වී ඔවුන්ට ආරක්ෂාව සපයා ඇති බවට මේ අධිකරණයේ හෙලි කිරීමක් කළා. මේ ආන්දෝලනාත්මක සිදුවීම ගැන හෙළි කළාම ඒ ගැන ගොඩක් අය විවේචනය කළා. ඒ වගේම මේ ගැන ඇතැම් මාධ්‍ය ප්‍රචාරය කළෙත් නැහැ. නමුත් මේ වන විට අනාවරණය වෙලා තිබෙනවා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක කළුපහනගේ අජිත් ප්‍රේමලාල් කියන නිලධාරියා එම සැකකාර නාකොටික් නිලධාරීන් එක්ක ජාවාරමට සම්බන්ධ වෙලා තියෙනවා කියලා. ඔහු අත්අඩංගුවට ගතතේ 2020 අගෝස්තු මාසේ 18 වැනිදා. අපි කරන්න බැරි දේවල් කිව්වේ නැහැ. කරලා පෙන්නුවා. දැන් මේ සැකකරු රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවා තබාගෙන ප්‍රශ්න කරනවා. මේ සිද්ධිය පොලිස් විශේෂ කාර්ය බලකායට බලපෑමක් වෙලා ඇති. නමුත් නිලය තත්ත්වය සැලකිල්ලට නොගෙන නීතිය ක්‍රියාත්මක කරලා ඔහු අත්අඩංගුවට ගත්තා. 


මෙම සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා මරණීය දණ්ඩනයට නියමව මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ගම්පොළ විදානගමගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා සමග දීර්ඝ වශයෙන් සම්බන්ධතා පවත්වාගෙන ගිහිල්ලා තිබෙනවා. වෙලේ සුදා මේ වන විට රඳවා සිටින්නේ බන්ධනාගාරයේ. මොහු මේ සම්බන්ධතා පවත්වලා තිබෙන්නේ ඒ අවස්ථාවේදී කිසිදු බාධාවකින් තොරව. මොහු අවස්ථා 1000කට වැඩියෙන් දුරකතනය මගින් මොහු හා සම්බන්ධ වෙලා තිබෙනවා. මේ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් අනාවරණය කරන්න ගොඩක් අය බය වුණා. මොහු බළපිටිය, මාතර සහ කොල්ලුපිටිය මරීනා මෝල් සාප්පු සංකීර්ණයේ හෙරොයින් සිද්ධීන්වලට සම්බන්ධවෙලා තිබෙනවා. කොල්ලුපිටිය මරීනා මෝල් සාප්පු සංකීර්ණයේ රථගාලේදී සිදු වූ ජාවාරම සම්බන්ධයෙන් මෙම සැකකරු සමග පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන් 12 දෙනෙකු සම්බන්ධ වෙලා තිබෙනවා. 


මොවුන් අතරින් ප්‍රේමලාල් නමැති සැකකරු ජාවාරම්කරුවන් සමග නිරන්තරයෙන් සම්බන්ධතා පවත්වා තිබෙනවා. මෙම සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට පෙර මාස දෙකකට කලින් දැනගත්තා. එහෙත් ඔහු හිටියේ එළියේ. මේ කාලය තුළ මොහු සාක්ෂි මෙන්ම යම් යම් කරුණු ද වසන් කරලා කියලා සැකයක් තිබෙනවා. මොහුට පොලිසියේ උසස් නිලධාරින්ගෙන් ආවරණයක් ලැබිලා තිබුණා. 


ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුලින්ම ඔහු අත්අඩංගුවට ගන්න එපැයි. ඒකේ වගකීම තියෙන්නේ සී.අයි.ඩී. එකේ නේ ද? ඇයි එයාව අත්අඩංගුවට ගත්තේ නැත්තේ? 


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා: මේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ කරන පරීක්ෂණ කණ්ඩායම කරන්නේ ලොකු මෙහෙයක්. මේ වගේ උප පොලිස් පරීක්ෂකවරයකුට මේ දේවල් තනියම කරන්න බැහැ. විශාල මුදලක් වියදම් කරලා තොරතුරුකරුවන් මෙහෙයවන්න, ලොකු මුදල් යොදවලා බෝට්ටු ගන්න මේ නිලධාරින්ට තනිවම කරන්න බැහැ. මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සිට පොලිස්පතිවරයා දක්වා විහිදෙනවා. මේ පොලිස් නිලධාරියාට තනිවම ගොස් මේ දේවල් කරන්න බැහැ. 
ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය : දැනටමත් මේ සිද්ධියට සම්බන්ධ තවත් අය නිදැල්ලේ ඉන්නවා නම් ඒ අය අත්අඩංගුවට ගන්න එපැයි. ඒකට සී.අයි.ඩී. එකට බාධාවක් නැහැ නේද? එහෙම නොවුණොත් මේ විමර්ශනවලට ඒක බාධාවක්. මේ නිසා තවත් සාක්ෂි විනාශ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මොවුන් විදේශ ගත වෙන්න පුළුවන්. ඒ නිසා වහාම මේ සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතුයි. 


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා: මාස දෙකක් ගිහිල්ලත් මේ නිලධාරියා අත්අඩංගුවට ගන්න බැරි වුණේ පොලීසියේ ඉහළ නිලධාරින්ගෙන් ආපු බලපෑම් නිසය. අධිකරණයට වාර්තා කළාට පස්සේ තමයි මෙහෙම හරි වුණේ. මේ නිලධාරියාට විශාල ආවරණයක් පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළෙන්ම තිබුණා. 


ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය: නිතීය හැමෝටම එකයි. පොලිස් දෙපාර්තමේන්තුවට කියලා වෙනසක් නැහැ. මේ අය නිදැල්ලේ ඉන්නවා නම් ඒක ගැටලුවක්. ඒ නිසා මේක ගැන බලන්න ඕන.” 


සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන “පොඩි ලැසී” නමැත්තා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැකකාර නිලධාරීන් ලබාදෙන මත්ද්‍රව්‍ය කලාප අනුව වර්ග කර විවිධ වර්ණයන් යොදා ගනිමින් අලෙවි කර ඇති බවට තොරතුරු හෙළි වී ඇතැයි ද මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට කරුණු හෙළි කළේය. 
අම්බලන්ගොඩ ප්‍රදේශය වෙත බෙදා හරිනු ලබන හෙරොයින් නිල් පැහැයෙන් ද, ගාල්ල ප්‍රදේශය වෙත බෙදා හරිනු ලබන හෙරොයින් කොළ පැහැයෙන් ද සහ වැලිගම ප්‍රදේශය වෙත බෙදා හරිනු ලබන හෙරොයින් කළු පැහැයෙන් ද යුක්ත දවටනවල ඔතා මෙම බෙදා හැරීම සිදුකර ඇති බවත් ජාවාරම්කරුවන් සිදුකරන මෙවැනි සිද්ධියක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට දැනුම් දුන්නේය. 

 


ඉකුත් කාලසීමාව තුළදී පොලිස් දෙපාර්තමේන්තුවේ හෝ මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකරන කුමන හෝ ආයතනයකින් යම් වැටලීමක් සිදුවූ පසු පළමුව එතැනට යන්නේ මේ සැකකාර නාකොටික් නිලධාරීන් බවත් ඔවුන් ගොස් පරීක්ෂා කර බලන්නේ ඒ කාගේ බඩු දැයි යන්න පමණක් බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි. විශේෂිත කරුණ නම් මේ කියන සැකකාර නාකොටික් නිලධාරීන් වැටලීම් ගණනාවක් සිදුකළත් පාටකර ඇති මේ හෙරොයින් සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක අධිකරණයට හෝ කරුණු වාර්තා කර නොමැති බව ද මෙහිදී කියැවිණී. 


“පොඩි ලැසී” ගේ මෙම හෙරොයින් ජාවාරම මෙහෙයවා ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිටි උදාර සම්පත් නමැති ඔහුගේ ඥාති සහෝදරයා වන අතර ඔහු මනෝජ් මෙන්ඩිස් ඝාතන සිද්ධියේ සැකකරුවකු වශයෙන් සිටින අයකු බව ද පැවසේ. අධිකරණය හමුවේ එම නඩුව තවමත් විභාග වෙමින් තිබිය දී මෙම සැකකරු ඩුබායි රාජ්‍ය බලා පැන ගොස් ඇත්තේ ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් මගින් සහ ව්‍යාජ නමකින් බවත් අධිකරණයේ දී කරුණු හෙළිවිණ’. 


මේ කියනා ආකාරයට සැකකාර උප පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් නමැත්තා ඇමතුම් 1000කට වැඩි ප්‍රමාණයක් ලබා ගනිමින් “වෙළේ සුදා” සමග සම්බන්ධ වී සිදුකර ඇත්තේ වැටලීම් සඳහා තොරතුරුකරුවකු යොදවා ගැනීම පමණක් ද? එම සිරකරු තොරතුරුකරුවකු ලෙසට යොදා ගැනීම පසෙකලා ඔහු සමග ජාවාරම් කර ඇත්දැයි දැන් දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනය කරමින් සිටින බවට අධිකරණයේ දී කරුණු ඉදිරිපත් විණී. 


 එසේම, (පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ) සැකකාර උප පොලිස් පරීක්ෂක උදාර නමැත්තා ද ව්‍යාජ වැටලීම් කරමින් ‘පොඩිලැසී” මෙන්ම ගිහාන් ෆොන්සේකා, උදාර සම්පත්, පරෙයි සුදා, බඩෝවිට ලොකූ, ටයිල් චමින්ද වැන්නවුන් හා ඇයි හොඳයිකමට වඩා දෙයක් පවත්වා ඇති බවට දැන් දැන් අධිකරණය හමුවේ කරුණු එකින් එක දිග හැරෙමින් යන්නේය. 


මේ වන විට සංවිධානාත්මක අපරාධ මෙන්ම හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීමට මේ රජය ගෙන ඇති පියවරයන් ඉතාමත් සාධනීය ආකරයෙන් ඉදිරියට යමින් පවතින බව අප කාටත් පෙනෙන්නට ඇත. හෙරොයින් ජාවාරමුන් දැන් භාවිත කරන්නේ නවීන තාක්ෂණයයි. ඇතැම් අවස්ථාවල “පොලීසිය එනවා” යැයි ජාවාරමුන්ට ‘ඔත්තුව’ යන්නේ ද පොලීසිය ඇතුළෙන්මය. මේ කියනා ඇතැම් ජාවාරම් සම්බන්ධයෙන් පොලීසිය සමග එක්කාසු වී වැඩ කරනා “ඉන්ෆෝමර්” ලා හෙවත් “ඔත්තුකරුවන්” ද දැන් දැන් ‘ඩබල් ගේම් ඒජන්තවරු’ නො එසේනම් දෙපැත්තටම ගේම දෙන එව්වන් වී ඇති බවට තොරතුරු අනාවරණය වෙයි. 

 


ඒ පැත්තෙන් ‘සම්තින්’ එකයි මේ පැත්තෙන් ‘සම්තින්’ එකයි ලබාගන්නා මොවුන් වැඩිපුර ලැබෙන පැත්තට බර වෙයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති ආකාරයට මේ කියනා තොරතුරුකරුවන් වෙත පොලිස් නිලදරුවන් රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දී ඇති බවට වාර්තා වෙයි. ඇතැම් අවස්ථාවල මේ කියනා නිලධාරීන්ම තොරතුරුකරුවන් වෙත ලබා දෙන එම සන්තෝෂම් වලින් රුපියල් ලක්ෂ ගණනින් මුදල් “ණයට” ඉල්ලා ගෙන ඇති අවස්ථා ද දැන් දැන් වාර්තා වී ඇත. 


මේ කියනා ඔත්තුකරුවකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීම් ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ට ද රුපියල් ලක්ෂ 70ක මුදලක් ඒ ආකාරයෙන් ණයට දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට බී වාර්තාව මගින් කරුණු ඉදිරිපත් කර ඇත. කෙසේ වෙතත් වැඩි බර පැත්තට හැරෙන මේ ඉන්ෆෝමන්ලා සම්බන්ධයෙන් ද දැන් දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද සඳහන් වෙයි. 


කුඩු නශ්‍ය කිරීමට සිටි නිලදරුවන් ඒවා ප්‍රවර්ධනය කරමින් බෙදා හරිමින් සිදුකර ඇති මේ ක්‍රියාවලිය තවදුරටත් විමර්ශනය වෙමින් පවතින්නකි. මොවුන් කා ඇත්තේ වැටයි නියරයි දෙකමය. ආපසු හැරී බලද්දී ගොයම ද විනාශ වී ගොසින්ය. සැබැවින්ම මොවුන් මේ සෙල්ලම් කර ඇත්තේ අපේ !රටේ අනාගත පරපුරත් සමගය. කුඩු ඇල්ලුවා කියමින් මාධ්‍ය සංදර්ශන පවත්වා සම්මාන ද ත්‍යාග මුදල් ද ලබාගෙන ඇත. 


අන්තිමේදී ඒ ඇල්ලූ කුඩු බෙදා හැර ඇත. අතට මෙන්ම ගතට ලැබෙන වාසිය තකා මෙවැනි විනාශ කරන යමෙකු ඇත්නම් එහි ප්‍රතිවිපාකය කෙදිනක හෝ ඔවුන් පසුපසම හඹා එනු නොඅනුමානය. ලෝක ධර්මතාව එයයි. විශේෂයෙන්ම නිල ඇඳුමක් හැඳ එවැනි වරදක් කරන්නේ නම් ඔවුන් සම්බන්ධයෙන් තවත් කිව යුතු දෙයක් නැත. සාමකාමී සමාජයක නිරන්තර පැතුම වන්නේ අපරාධවලින් මත් උවදුරෙන් තොර යහපත් සමාජයක් ම පමණි. ඒ දිනය ඉතා ඉක්මනින් ම මේ පුංචි ධර්මද්වීපයේ පහළ වේවා. 

 

 

නිමන්ති රණසිංහ



අදහස් (0)

කුඩු අල්ලන නිලධාරින්ම කුඩු විකුණන කල

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10924 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6211 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5932 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5253 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3239 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1707 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site