IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


අවසාන සිංහල නැව හැදූ දොඩන්දූවේ ධීවරයෝ

දොඩන්දුව ධීවර වරාය

 

‘‘මහා ඔරුව’’ නමින් හැඳින් වූ රුවල් යාත්‍රා දොඩන්දූවේ වැසියන්ට පමණක් නොව මුළු රටටම ආඩම්බරයක් හා අභිමානයක් ගෙනදුන් යාත්‍රාවක් ලෙස හැඳින්විය හැක. ඊට හේතුව මීට සියවසකට පමණ පෙර දොඩන්දූවේ විසූ රුවල් යාත්‍රා සෑදීම පිළිබඳ සුවිශේෂී හැකියාවන් ගෙන් සමන්විත පිරිසක් විසින් ම එම රුවල් යාත්‍රා නිර්මාණය කර තිබීමය. දැවයෙන් නිමවූ එම රුවල් යාත්‍රා සිංහල ජාතියේ අවසාන සිංහල නැව ලෙස ද සැලකේ. මෙම රුවල් යාත්‍රා හැඩයෙන් එවකට මාලදිවයින සතුව පැවති රුවල් නෞකාව වූ ‘සුලු‍ප්පු’ වලට සමාන විය. සුලු‍ප්පු කුඹ තුනකින් යුක්ත විය. කොල්ලෑවක් නොමැත. රුවල දමන්නේ කුඹය හරහා ය. එහෙත් මහා ඔරුව රුවල් යාත්‍රාව පියල් දෙකකින් සහ කොල්ලෑවකින් යුක්තවීම ද විශේෂත්වයකි. එය රුවල් තුනක ආධාරයෙන් යාත්‍රා කළහ.   


එකල බඩු ප්‍රවාහනය කර ගැනීම සඳහා දුම්රිය හෝ ලොරි වැනි වෙනත් වාහන පහසුකම් නොතිබිණි. ඒ හේතුවෙන් බඩු ප්‍රවාහනය කර ගත් ප්‍රධාන මාර්ගය වූයේ රුවල් යාත්‍රා ය. එම රුවල් යාත්‍රා උපයෝගී කරගෙන රට වටා දේශීය වෙළෙඳාමේ පමණක් නොව ජාත්‍යන්තර වෙළෙඳාමේ පවා නිරත වන්නට මෙරට නාවිකයෝ සමත් වූහ.   


 විෂයෙන් ම දොඩන්දූවේ නාවිකයෝ රුවල් යාත්‍රා මගින් දකුණු ඉන්දියාවේ වෙරළබඩ ප්‍රදේශ කරා යාත්‍රා කරමින් ජාත්‍යන්තර වෙළෙඳාමෙහි නිරත වූහ. කරිකලේ කාවේරි, නිගුර්, මදුරේ, නාගපට්ටනම්, කේරළය අදී ප්‍රදේශවලට ලංකාවෙන් කරාබු නැටි, කුරුඳු, ගම්මිරිස්, කරුංකා, කරුවල ලී, ඇත් දළ, මුව අං, කැස්බෑ ලෙලි නිෂ්පාදන, ඉදිකොළ නිෂ්පාදන, බීරලු රේන්ද ආදිය වෙළෙඳාම පිණිස රැගෙන ගියහ.   

 

මහා ඔරුව ලෙසින් හැඳින්වුණු රුවල් යාත්‍රා වේ ආකෘතියක්


එම ප්‍රදේශවලින් ජාඩි, කරවල, රට උලු‍, තඹ හා පිත්තල භාණ්ඩ, රෙදිපිළි, විශේෂයෙන්ම චීන පටපිළී, වළං ආදිය මෙරටට රැගෙන ආහ. මාලේ දූපත්වලින් උම්බලකඩ, දිය හකුරු, ගොඩ අලු‍වා, වට්ටක්කා ආදිය රැගෙන ආහ. දිවයින වටා යාත්‍රා කරමින් හම්බන්තොටින් ලු‍ණු ද, කල්පිටියෙන් කරවල ද, සෙසු ප්‍රදේශවලින් කුරහන්, මෙදේරි, පොල්, වී, හාල්, තල, දුම්කොළ, බීඩි, සුරුට්ටු, පුහුල්, වට්ටක්කා, ඉදල්, ඉඟු‍රු, පුවක් ආදිය ඇරගෙන ආහ.   


‘‘මහ ඔරුව’’ ලෙසින් හැඳින්වුණු රුවල් යාත්‍රාව අඩි සියයක් පමණ දිගින් යුක්ත විය. අඩි 12 ක් පමණ උස් වූ අතර අඩි විස්සක් පළලින් යුක්ත විය. එම යාත්‍රාව නිර්මාණය කළ දොඩන්දූවේ විසූ පටුවත විතාන සහ මානවඩු යන පරම්පරා දෙක ඒ පිළිබඳව විශේෂඥ දැනුමක් සහිත අය වූහ. එම පරම්පරා දෙකෙන් පැවත එන අය අදටත් දොඩන්දූව හා ඒ අවට ගම්මානවල දිවි ගෙවති.   


 1920 වන විට මහ ඔරුව ලෙසින් හැඳින්වූ රුවල් යාත්‍රා 40ක් පමණ දොඩන්දූව වරායේ නැංගුරම්ලා තිබූ බව සඳහන් වේ. ඉන් වැඩිම ප්‍රමාණයක් තිබී ඇත්තේ දොඩන්දූවේ විසූ ධර්මසේකර පවුලට ය. රුවල් යාත්‍රාවලට ඒවායේ හිමිකරුවන් විසින් තම අභිමතය පරිදි විවිධ වූ නාමයන් තබා තිබුණි. ‘හෙලේනා’ ‘වෙල් හැල්මිනා’ ‘අමුගොඩ ඔරුව’ එලෙස තබා තිබූ නාමයන් කීපයකි. දොඩන්දූව විද්‍යාසාගර නිවසේ විසූ රුවල් යාත්‍රා හිමි ප්‍රභූවරයෙකු වූ කාරියවසම් පටුවත විතානගේ දොන් සියදෝරිස් මහතා එකවර රුවල් යාත්‍රා තුනක් දොඩන්දූව වරායෙන් දියත් කර තිබුණි. එදිනම දියත් කරන්නට යෙදුණු පුංචි සිංඤො මානවඩු මහතාට අයත් අමුගොඩ ඔරුව’ පළමු ගමනේදීම ඛේදවාචකයට මුහුණපා තිබුණි. ඒ ගැන ලියවුණු ජනවහරේ එන කවියක මෙලෙස සඳහන් වේ.   


මෙතනින් ඔරුව බලාගනි වරායට   
දියඹ පෝරු සක දිව්වේ නගරයට   
කොපමණ රුවල් ඇදලා දිව්වත් හොඳට   
අමුගොඩ ඔරුව තව ආවේ නැත ගමට   


දොඩන්දූව සිට හම්බන්තොට බලා ලු‍ණු රැගෙන ඒමට ගිය යාත්‍රාවක් ද වරක් ප්‍රචණ්ඩ රළ පහරකට හසුව මාලදිවයින දක්වා ගසාගෙන ගොස් ගල් පරයක හැපී විනාශයට පත්ව තිබුණි. දොඩන්දූවේ ඩබ්ලිව්.ඇම්. ධර්මසූරිය මහතාට අයත්ව තිබූ එම යාත්‍රාව ඒ මහතා විසින් ගිංතොට කේ.ඩී. ජුවානිස් මුදලාලි මහතාගෙන් මිල දී ගෙන තිබුණි.   
රුවල් යාත්‍රාවක් නිර්මාණය කිරීමෙන් පසු එය දියත් කරන්නට පෙර යාත්‍රාව තුළට මහා සංඝරත්නය වැඩම කරවා පිරිත් සජ්ඣායනා කර දන් පිළිගැන්වීම ඇතුළු ආගමික වතාවත් සිදු කළහ. අනතුරුව කතරගම, සුමන සමන් යන දෙවිවරු ප්‍රධාන කොට ඇති දෙවිවරුන් සඳහා පඬුරු බැඳීම සිදු කළහ. ඒ පිළිබඳව ජනවහරේ පවතින කවි දෙකක මෙලෙස සඳහන් වේ.

 
ගමන් යන්න නැකතින් ඔරුව භාර ගෙනේ   
සමන් දෙවියන්ට පුද පඬුරු බැඳ ගෙනේ   
විමන් සාගරේ කණු මුල් සොයා ගෙනේ   
අපිත් යමුව සැම දෙවියන්ට වැඳ ගෙනේ  
කතරගම දෙවිද කන්දස් ස්වාමි නේ   
ඔරුව රුවල් රත්තරනින් තනා ගෙනේ   
සත් කෙල පරු මාන රිදියෙන් තනා ගෙනේ   
ඇසල මසට එමි හිස මත තබා ගෙනේ   


සම්බුදු සිරිපා පහසින් පවිත්‍ර වූ, ශ්‍රීමත් ලලාට ධාතූන් වහන්සේ වැඩ සිටින සේරුවාවිල මංගල මහා චෛත්‍ය ඓතිහාසික වශයෙන් මෙන්ම පූජනීය වශයෙන් ද ප්‍රමුඛස්ථානයක් හිමි කරගෙන ඇති සිද්ධස්ථානයකි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නැගෙනහිර වෙරළේ, මහවැලි මිටියාවතේ පිහිටි මෙම විහාරස්ථානය වසර දහස් ගණනක සිට දහස් සංඛ්‍යාත බෞද්ධ බැතිමතුන්ගේ වන්දනීයත්වයට හා පූජනීයත්වයට පත් වූහ. කලකට පෙර ගරාවැටී වල් බිහිව තිබූ මෙම චෛත්‍යය නැවත සොයාගෙන තිබුණේ දොඩන්දූවේ නාවිකයන් පිරිසක් විසිනි. ඒ 1922 වසරේ දීය. මහා ඔරුව නමින් හැඳින්වූ රුවල් යාත්‍රාවකින් ලංකාව වටා වෙළෙඳාම් කටයුතු කරගෙන ගිය නාවිකයන් පිරිසකට එම ස්ථානය දැකගන්නට ලැබී තිබුණි. 

 

 

1937 දී දොඩන්දුව ධීවර වරාය   


ඉන් අනතුරුව බොහෝ දෙනා නඩ වශයෙන් දොඩන්දූව වරායේ සිට රුවල් යාත්‍රාව මගින් සේරුවිල වන්දනාමාන කරගෙන එන්නට පිටත්ව ගොස් තිබුණි. එලෙස ගිය වන්දනා ගමනේ දී නාවිකයින් කාන්සිය මකා ගැනීම සඳහා කවි ද ගායනා කළහ. එලෙස ගායනා කළ ජනවහරේ එන එක කවියක් මෙලෙස සඳහන් වේ.   


හම්බන්තොටින් රුවල ඇදලා විගසිනේ   
නියද කපන කොල්ලෑවට තබා ගෙනේ   
වලවේ මෝදරද ඉබ්බාගල නො පෙනේ   
වටගල බල බලා පැද යන්නේ දියඹ පෙනේ   


 වර්තමානයේ පවතින තත්ත්වයට මෙම පූජනීය ස්ථානය ගොඩනැගීමට කටයුතු කළ නැගෙනහිර තමන්කඩු දෙපළාතේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ මහා නායක, දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර මානාහිමියන් මෙම ස්ථානයට වැඩම කර තිබුණේ ද දොඩන්දූව වරායේ සිට රුවල් යාත්‍රාවක ආධාරයෙනි.   


උන්වහන්සේට අලි, කොටි, වලසුන්ගෙන් ගහණ මහ වන මැද පිහිටි ගරා වැටුණු චෛත්‍යය ගොඩනැංවීමට බලවත් වෙහෙසක් දරන්නට සිදුව තිබුණි. ඒ සඳහා ඩී.ඩී. වීරසිංහ මුදලිතුමන් ප්‍රධාන සේරුවිල මංගල මහා චෛත්‍යාවර්ධන සමිතියේ සාමාජික පින්වතුන්ගෙන් ද නොමඳ සහයක් උන්වහන්සේට ලැබී තිබුණි.   

 

1927දී සේරුවිල මංගල මහා චෛත්‍යය පැවති ආකාරය (සේරුවිල මංගල මහා චෛත්‍යය වර්ධන සමිතිය විසින් මෙම සේයාරුව චෛත්‍යය ගොඩනැගීමට ආධාර පිණිස ශත 10කට අලෙවි කර තිබුණි.) 


අනතුරුව දුර බැහැර සිට පැමිණෙන බැතිමතුන් සඳහා විශ්‍රාම ශාලා, සංඝාවාස, ධර්මශාලාව ඇතුළු අවශේෂ අංගයන් ද නිර්මාණය කෙරිණි. සේරුවිල සරණකිත්ති, වත්මන් විහාරාධිපති නැගෙනහිර තමන්කඩු දෙපළාතේ ප්‍රධාන සංඝනායක මුංහේනේ මෙත්තාරාම යන හිමිවරු ද මෙම පූජනීය ස්ථානය අද පවතින තත්ත්වයට ගොඩනැංවීමට බලවත් වෙහෙසක් ගෙන ඇත.   


1979 වසරේ දී රාජ්‍ය අනුග්‍රහයෙන් සේරුවිල පූජා නගරයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු ඇරඹුව ද 1984 සිට දශක තුනක පමණ කාලයක් පැවති ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් එම කටයුතු අතරමග නතර කර දමන්නට ද සිදුව තිබුණි. 


 දොඩන්දූව ගාලු‍ පාරේ පදිංචි ටී.ඩබ්ලිව්. ගාමිණී ජයරත්න මහතා අදහස් පළ කරමින් මෙසේ කීය.   


 17 වන සියවසේ සිටම අග්නිදිග ආසියාවේ ප්‍රකට නාවික වරායක් බවට දොඩන්දූව වරාය පත්ව තිබූ බවට මේ වන විට බොහෝ සාධක ලැබී තිබෙනවා. එවකට විදේශීය නාවිකයින් ‘තොට්ටම් තිව්’ යනුවෙන් මෙම වරාය හඳුන්වා තිබෙනවා. පරවි, තිසර සහ කෝකිල යන සංදේශ කාව්‍යවල ද මුහුදු නැව් ගමනාගමනය සිදු වූ දොඩන්දූව වරාය ගැන විශේෂයෙන් සඳහන් වෙනවා. පරවි සංදේශ කතුවරයා දොඩන්දූව මුහුදේ නැව් ගමනාගමනය බහුලව සිදු වූ බව සඳහන් කර තිබෙනවා.   


 1880 පමණ වන විට මගේ මවගේ පියා වූ ගාල්ලගේ එලියස් ද සිල්වා මහතාත්, ඔහුගේ පියා වූ ගාල්ලගේ උදාරිස් ද සිල්වා මහතාත් මඩකලපුව ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයින් ලෙස කටයුතු කර තිබුණා. ඔවුන් මහ ඔරුව ලෙසින් හැඳින්වුණු අපේම අය හැදූ රුවල් යාත්‍රාවලින් ලංකාව වටේම වෙළෙඳාම් කටයුතු කරගෙන ගොස් තිබුණා. එසේ වෙ​ෙළඳාමේ යන අතරතුර අහම්බෙන් මෙන් කැලෑවෙන් වැසී ගරා වැටී තිබුණු නටබුන් දැක එම ස්ථානයට ළඟා වී තිබුණා.   


පසුව ඒ ගැන කරුණු සොයා බැලීමේ දී එය සේරුවිල මංගල මහා චෛත්‍ය පිහිටි ස්ථානය බවට හඳුනාගෙන තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස විශාල වශයෙන් පිරිස් දොඩන්දූව වරායෙන් නඩ වශයෙන් නැව් නැගි සේරුවාවිල මංගල මහා සෑය වැඳපුදා ගැනීමට යෑමට පුරුදු වුණා.   


 දොඩන්දූවේ නාවිකයන්ගේ සහාය ඇතුව තවත් පිරිසක් ජාත්‍යන්තර වෙළෙඳාමෙහි නිරත වෙමින් රුවල් යාත්‍රාවලින් දකුණු ඉන්දියාව බලා ගොස් ජාඩි හදාගෙන ඇවිත් ඒවා වෙළෙඳාම් කළා. ජාඩි පීප්පයක් හොන්ඩර 12ක් තරම් බරයි. එවැනි ජාඩි පීප්ප 250-300 පමණ එකවර රුවල් යාත්‍රාවකින් දොඩන්දූව වරායට රැගෙන ආවා. එලෙස රැගෙන ආ ජාඩි රට පුරාම වෙළඳාම පිණිස රැගෙන ගියේ කරත්තවලින්. බර කරත්තයකින් වරකට ජාඩි පීප්පයක් හෝ දෙකක් වෙළෙඳාම පිණිස රැගෙන ගියා.   


 මුළු ලෝකයටම ජාඩි නමැති රසවත් හා ගුණවත් ආහාර හඳුන්වා දුන්නේ දොඩන්දූවේ අයයි. ජාඩි හදාගෙන එන්න රුවල් යාත්‍රා ද මගින් දකුණු ඉන්දියාව බලා ගිය ගමනට සතියක පමණ කාලයක් ගතව තිබුණා. ඇතැම් අවස්ථාවල ඒ ගමන සඳහා සති කීපයක කාලයක් ගත කරන්නට ද සිදුව තිබුණා. සුළඟේ හැටියට තමයි ගමන. සුළං පාර වැරදුණොත් යාත්‍රාව කොයි අතක යනවද කියලා හිතාගන්න බැහැ. සුළං නොමැති අවස්ථාවල මහ මුහුද මැද පාවෙමින් සිටින්නටත් සිදු වුණා. මේ ගමන සඳහා තෝරාගෙන තිබුණේ හොඳට හයිය හත්තිය තියෙන මහ මුහුද හොඳට හුරු අයයි. හාල්, පොල් ඇතුළු සති කිහිපයකට අවශ්‍ය කරන සියලුම දෑ අරගෙනයි මේ අය දොඩන්දූව වරායෙන් දකුණු ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබුණේ.

 

 

 

සටහන හා ඡායාරූප
රත්ගම ගාමිණි මහදුර   

 



අදහස් (0)

අවසාන සිංහල නැව හැදූ දොඩන්දූවේ ධීවරයෝ

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10924 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6211 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5932 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5253 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3239 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1707 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site