(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ජයකොඩි)
 
වේයන්ගොඩ කුඹල්ඔළුව ප‍්‍රදේශයේ අවමංගල නිවසක් ආසන්නයේදී අද(20) පුද්ගලයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තියුණු ආයුධයකින් කැපුම් තුවාල ලත් අයෙකු මිය ගොස්, තවෙකකු බරපතල තුවාල ලබා ඇතැයි වේයන්ගොඩ පොලිසිය කියයි.
 
මියගොස් ඇත්තේ වේයන්ගොඩ කොට්ටල ප‍්‍රදේශයේ පදිංචිව සිටි ආර්.ඒ. සත්‍යනාත් ශෂික රණසිංහ  29 නැමැත්තෙකි. තුවාල ලබා ඇත්තේ ගල්ගමුව ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන 37 හැවිරිදි මධුක සුමිත් කුමාර නැමැත්තෙකු බව පොලිසිය කියයි.
 
අවමඟුල් නිවසට පැමිණ සිටියදී ඇතිවූ බහින් බස්වීමකින් පසුව ඒ ආසන්නයේදී මෙම ආරඅවුල ඇතිවී ඇති අතර එහිදී සිදුවූ කැපුම් ප‍්‍රහාරයට ලක්ව තුවාල ලත් දෙදෙනා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කිරීමේදී  එක් අයකු මියගොස් ඇති බව හෙළි වී ඇත. අනෙක් තුවාලකරුගේ තත්ත්වයද බරපතල බව රෝහල් ප‍්‍රකාශකයෙක් කීය.
 
ප‍්‍රහාරය කළ පුද්ගලයා පලාගොස් ඇති අතර ඔහු  හඳුනාගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි. ඔහු සමග තවත් පුද්ගලයින් දෙදෙනෙකු සිටි බවට ලැබී ඇති තොරතුරුවල සත්‍යතාවය සොයා බැලීමට පොලිසිය පියවර ගෙන ඇත.
 
මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය හා මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතය.