(විනීතා එම් ගමගේ)
නීරක්තිය ඇති ගැබිණි මවුවරුන්ගේ මිය යෑමේ අවදානම නිරෝගී ගැබිණි මවුවරුන්ට වඩා දෙගුණයකින් වැඩි බව ලැන්සට් ග්ලෝබල් හෙල්ත් ජාත්‍යන්තර වෛද්‍ය සඟරාව මෙම සතියේ වාර්තා කළේය. 

නියමිත මට්ටමට වඩා අඩුවෙන් රුධිරයේ හිමොග්ලොබින් ප‍්‍රමාණය පැවතීම නිරක්තිය ලෙස සැලකේ. ගර්භණි සමයේ අපේක්ෂිත ප‍්‍රශස්ත රුධිර හිමොග්ලොබින් ප‍්‍රමාණය ලීටරයකට ග‍්‍රෑම් 110 කි.

ලෝක සෞඛ්‍ය සංවිධානය ශ‍්‍රී ලංකාව ඇතුලූ රටවල් 29 ක ගැබිණි මවුවරුන් 312,281 ක් පාදක කරගෙන සිදුකළ පර්යේෂණයක් ආශ‍්‍රයෙන් මෙම නිගමන ඉදිරිපත් කර තිබේ. ඔවුන්ගෙන් දරුණු නිරක්තිය (රුධිරයේ හිමොග්ලොබින් ප‍්‍රමාණය ලීටරයකට ග‍්‍රෑම් 70 ට වඩා අඩු) තිබූ 4189 ක්, නිරක්තිය නොමැති ගැබිණි මවුවරුන් 8,218 ක් සමග සංසන්දනය කර තිබුණි.

මේ සඳහා ශ‍්‍රී ලංකාවෙන් මවුවරුන් 18,115 ක නියැදියකින් නිරක්තිය ඇති ගැබිණි මවුවරුන් 232 ක් තෝරා ගෙන තිබේ.
මෙම අධ්‍යයනයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන පර්යේෂක, ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මේ පිළිබඳව අදහස් දැක්වමින් කියා සිටියේ මෙම පර්යේෂණ ප‍්‍රතිපල ශ‍්‍රී ලාංකීය මාතෘ සත්කාරක සේවා සඳහා ඉතා වැදගත් වන බවයි.


ශ‍්‍රී ලංකාවේ වසරකට වාර්තා වන 360,000 ක් පමණ ගර්භණිතාවයන් අතරින් සෑම 10 දෙනෙකුගෙන් එක් අයෙකු (36300) ටම නිරක්තිය ඇති බවට සොයා ගෙන ඇති බවත්. මින් ගැබිණි මවුවරුන් 1550 (0.4%) කටම දරුණු නිරක්තිය පවතින බවත් හෙතෙම කියා සිටියේය.  

ශ‍්‍රී ලංකාවේ ගුණාත්මක මාතෘ සත්කාරක සේවා නිසා නිරක්තිය සෘජූවම හේතු කරගෙන මාතෘ මරණ වාර්තා නොවන මුත්, නිරක්තිය ආශ‍්‍රිත සංකුලතා ගැබිණි මවට මෙන්ම බිළිදාටද ඇති විය හැකි බවත් පෙන්වා දුන් වෛද්‍ය කපිල ජයරත්න දරුවන් අපේක්ෂා කරන කාන්තාවන් ගැබ් ගැනීමට පෙර සහ ගර්භණි කාලය තුළ ප‍්‍රශස්ත රුධිර හිමොග්ලොබින් ප‍්‍රමාණය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන්නේය.

 ඒ සඳහා යකඩ අඩංගු ප්‍රෝටීන බහුල ආහාර වන කිරි, බිත්තර, කරවල, මාළු, මස්, රනිල කුලයේ බෝග ආහාර වේල්හි අඩංගු කර ගන්නා ලෙස ද හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය.