අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ මහවිලච්චිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙමටමල්ගම, නෙළුම්විල, සඳමල්එලිය, තුප්පිටියාව, නවෝදාගම, මහ ඇහැටුවැව, ඔයාමඩුව යන ගම්මාන තන්තිරිමලේ මුල්කර ගනිමින් පෝෂණය වෙයි.

රිටිගල කන්දෙන් ආරම්භ වන මල්වතු ඔය, මහා කනදරා ඔය, හමුවන තෙක් උතුරු දිසාවට ගලාවිත් ක‍්‍රමයෙන් වයඹ දෙසට හැරිම නිසා නිර්මාණය වී ඇති තැනිතලාවේ පිහිටා ඇති මේ ඓතිහාසික පින්බිම උතුරින් සහ නැගෙනහිරින් මල්වතු ඔයත්, බටහිරින් විල්පත්තු ජාතික වනෝද්‍යානයත් දකුණින් මහවිලච්චිය ප‍්‍රධාන මාර්ගයත් මෙහි මායිම් වෙයි

ශී‍්‍ර ලංකාවේ පැරැණි ජනාවාසයකි. මහින්දා ගමනයට පෙර සිටම මෙහි ජනාවාස තිබූ බවට සක්කි ඇත . අනුරාධපුර රාජධානියෙන් පොෂණය වූ මෙම ප‍්‍රදේශය ආගමික, වාරි කර්මාන්ත, කැටයම්, වාස්තු විද්‍යාත්මක ශිලාලේඛන, සිතුවම් ආදියෙන් හා ආදී මුතුන්මිත්තන් පරිහරණය කළ වෙනත් භාණ්ඩ රාශියකින් තන්තිරිමලේ පුරාවිද්‍යාත්මක වටිනාකමට කදිම සාක්කියකි. ඓතිහාසික මූලාශ‍්‍ර හා ජනප‍්‍රවාද අනුව තන්තිරිමලේ සිට වයඔ දිග මුහුදු වෙරළ දක්වා සශී‍්‍රක ජනාවාස පැවති බව පෙනේ.

චෝල. පාණඩ්‍යය, කේරළ හා මාඝ ආක‍්‍රමණ නිසා අනුරාධපුර රාජධානිය කඩාවැටීමත් සමඟ තන්තිරිමලය වල්බිහිවිය. දීර්ඝ කාලයක් එසේ අඳුරුව පැවැති මෙම පුණ්‍ය භූමිය 1960 වර්ෂයේදී යළි ජනාවාසවන්නට පටන් ගැනුණි. වැවයි දාගැබයි ගමයි පන්සලයි යන සංකල්පය අනුව තන්තිරිමලේ රජමහා විහාරස්ථානය මැදිහත්වීමෙන් ප‍්‍රතිසංස්කරණය කළ වැව් 81 ක් යටතේ පවුල් 2700ක් ජීවත් වෙති.

විජය කුමාරයා ඇතුළු පිරිස මල්වතු ඔය දිගේ පැමිණ අනුරාධපුරය සිය රාජධානිය කර ගත්හ. ඔහුගේ අමාත්‍යවරුනට ද එක් එක් ප‍්‍රදේශවල ජනාවාස ගොඩනැගීමට උපදෙස් දුන්නේය. උපතිස්ස නම් අමාත්‍යවරයා මල්වතු ඔය සහ මහා කනදරා ඔය හමුවන ස්ථානය මුල්කරගෙන ඇති කළ ගම උපතිස්ස ගමයි. අද තන්තිරිමලය වශයෙන් හඳුන්වන්නේ එම ප‍්‍රදේශයයි.

දේවානම්පියතිස්ස රජ සමයේදී තිවක්ඛ නම් බමුණෙක් මෙම ප‍්‍රදේශය පාලනය කළ නිසා තන්තිරිමලේ එකල හැඳින්වූයේ තිවක්ඛ බමුණුගම නම්නි.

දුටුගැමුණු රජ සමයේදී සාලිය හා අශෝකමාලා මෙම ප‍්‍රදේශයේ වාසයකර ඇත. ඔවුන්ගේ අසම්මත විවාහය නිසා පිටුවහල් කරන ලදුව සාලිය අශොකමාලා යුවල තන්තිරිමලේ සිටියදී දුටුගැමුණු රජතුමා සමාවදුන් බව සඳහන්ය. එහිදී තන්තිරි යන විශේෂිත හැඩයේ රන් මාලයක් පරිත්‍යාග කළ බවත් එම මාලය නිදන්කොට චෛත්‍යක් කරවූ බවත් එම නිසා තන්තිරිමාලය වූ බව ජනවහරේ එයි.

තවත් ජනවහරක් වන්නේ පූජනීය පිරිස නවාතැන් ගත් කන්ද තන්ගෙතිරුමලෙයි යන දෙමල වහර තන්තිරිමලේ වූ බවයි.

අනුරාධපුර යුගයේදී මහායානික නිකායට අයත් ත‍්‍රන්ත‍්‍රයානික භික්ෂූන් වහන්සේලා සහ භූතානයේ දැනුදු වෙසෙන ත‍්‍රන්ත‍්‍රික බ‍්‍රාහ්මණයින් වාසය කළ බැවින් තන්තිරිමලේ නම් වු බව ද තවත් ජනවහරක් ගෙන හැර දක්වයි.

අෂ්ඨ ඵල රුහ බොධීන්වහන්සේ

තිවක්ඛ නා මෝප භූජවිහ යෝමතී
පතිට්ඨ පොත්වාන ජලගඝ මුද්ධනී
නමස්සී කොවයංච ඵලට්ඨ නාමිකං
තමග්ඝ බෝධිං සිරසා සදා මහං

දේවානම්පියතිස්ස රජ සමයේදී ලංකාද්වීපයට වැඩම කළ අනුබුදු මිහිදු මහා රහතන් වහන්සේ මෙහි බුදුසසුන පිහිට වූහ. මෙහෙණි සසුන පිහිටුවීමේ අවශ්‍යතාවය ද ඉන්පසුව පැන නැගිණි. දඹදිව ධර්මාශෝක මහා රජතුමාගේ දියණිය, මිහිදු මහා රහතන් වහන්සේගේ නැගණිය ද වන සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේ ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ද සමඟ ලංකාද්වීපයට වැඩම වන ලදහ. ජය ශී‍්‍ර මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ද රැුගෙන සඟමිත් තෙරණියෝ දඹකොළ පටුනේ තොටුපලට ගොඩින් බටහ. දේවානම්පියතිස්ස මහා රජතුමා කරවටක් ජලායේ බැස රන්මුවා පාත‍්‍රයට ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ පිළිගත්තේය.

බෝධීන් වහන්සේ රැුගත් පෙරහර යාපා පටුනේ සිට අනුරපුර දක්වා යන ගමනේ්දී එවකට තිවක්ඛ බමුණුගම සිටි තිවක්ඛ බමුණා තම පිරිස ද කැටුව මල්වතු ඔය දක්වා ගමන් කොට එම ගම්මානයේ අලංකාර උසම සහ සුදුසුම තැන වූ මෙම විශාල ගල්තලාව මතදී පුදපූජා සහ රාජකීය පිරිසට ආගන්තුක සත්කාර දක්වා ඇත. බෝධීන් වහන්සේ එදින රාත‍්‍රී අහසට පැන නැගී බුදුරැුස් විහිදුවමින් පෙළහර පෑ බවත් සඳහන් වෙයි. මිහිදු මහ රහතන් වහන්සේ සහ සඟමිත් රහත් මෙහෙණින් වහන්සේ ඇතුළු රහත් මෙහෙණින් වහන්සේලා 11නමක් සහ දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු රාජකීය පිරිස ද එම අවස්ථාවේ එහි වූ බව සඳහන්ය.

මහත් හරසරින් අනුරාධපුරයට වැඩම වූ ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ මහමෙවුනා උයනෙහි රෝපණය කරන ලදහ. එම අවස්ථාවේදී තවත් බෝ අංකුර 8ක් පැන නැගී ඇත. මෙම මහා උත්සව අවස්ථාවට සෑම ප‍්‍රදේශයක්ම නියොජය කරමින පිරිස් පැමිණි පිරිස අතර තිවක්ඛ බමුණා ද විය.

බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානයක් හා මිහිදු මහා රහතන් වහන්සේගේ තීරණයක් අනුව එක් බෝ අංකුරයක් තිවක්ඛ බමුණුට ද ලැබිණි. එම බෝධි අංකුරය මහත් හරසරින් පිළගත් තිවක්ඛ බමුණා මහා පෙරහැරකින් තිවක්ඛ ගමට වැඩම කෙළේය. ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ වැඩසිටි ගල්තලාව මත්තෙහි කවාකාර පවුරක් කරවා එහි රෝපණය කෙළේය. ඓතිහාසික තන්තිරිමලේ අෂ්ඨ ඵල රුහ බෝධීන් වහන්සේ අද දක්වා වැඩ සිටී.

මෙම ඓතිහාසික සිදුවීමත් සමඟ ප‍්‍රදේශයේ සියළුම ජනයා බෞද්ධයෝ වූහ. තම දිවි දෙවැනිකොට බෝධීන් වහන්සේ ආරක්ෂා කළහ. සිවු දෙසින් මල් ආසන තනවා බෝධින් වහන්සේගේ ආරක්ෂාවට ශිලාමය ප‍්‍රාකාරයක් කැරැුවූහ. හාත්පස විශාල වන රොද අතරින් ගලන සුළං රැුලිවලින් ලබන සිසිල චිත්ත ඒකාග‍්‍රතාවය ඇති කැරගැනීමට බෙහෙවින් උපකාරීවේ.

සමාධි පිළිම වහන්සේ

බෝධීන් වහන්සේට දකුණු පසින් සමාධි පිළිමවහන්සේ වැඩ සිටිති. ගල්කුල හාරා මතුකර අඩි 8ක් පමණ උසට නිමකර ඇති සමාධි පිළිමවහන්සේ උන්නත නිර්මාණයකි. සිවුර සිරුරටම ඇළුණුු ස්වභාවයෙන් පිළිමය නෙළා ඇත. පිිළිමයට පිටුපසින් මකර තොරණයි. රැුස් වළල්ල ද නිර්මාණය කිරීමට සැලසුම්කර තිබී ඇති බව හැඟැවෙයි. වැඩ සිටින ආසනය වාමන රූප වලින් අලංකාර කර ඇත. පිළිම වහන්සේ ආරක්ෂාවට උළු වහලක් වූ බවට සාක්කි ඇත. එහි කණු සහ උළුවහු ආදිය කළුගලින් නිමකර බොරදම් කැටයමින් අලංකාර කර ඇත. පිළිමයේ දෙපස චාමධාරී දෙවිවරුන්ගෙ පිළිම දෙකක් අර්ධ වශයෙන් නෙළා ඇත. පිළිම වහන්සේ ඉදිරිපිට ගල් පඩි පෙළක් ඇත. අනුරාධපුර යුගයේ අගභාගයේදී ඇති වූ සතුරු ආක‍්‍රමණ නිසා සම්පූර්ණව නිම කිරීමට නොහැකි වී ඇත. පොලොන්නරුව ගල් විහාරයේ සමාධි පිළිම වහන්සේට නෑකම් කියන තන්තිරිමලේ සමාධි පිළිම වහන්සේ අනුරාධපුරයෙන් පොලොන්නරුවට මාරුවීම පිළිබඳ කදිම සාක්කියකි.

සැතැපෙන පිළිමවහන්සේ

බෝධීන් වහන්සේට උතුරු දෙසින් සැතැපෙන පිළිම වහන්සේ වැඩ සිටිති. අඩි 45ක් දිගින් යුක්තය. සිවුර සිරුරට අළුණු ස්වභාවයකි. පොලොන්නරුවේ ගල් විහාරයෙ සැතැපෙන පිළිම වහන්සේට සමාන ලක්ෂණ මෙහි ඇත.

1974 වර්ෂයේ දී සිදු කළ කැණීම්වලින් කෙස් වළලූ, නාසය, කන්පෙති, තොල්, කම්මුලේ කොටස් හමුවී ඇත. සිරස ප‍්‍රදේශය හා ගැබ නිදන් හොරුන් විසින් විනාශ කරනු ලැබ ඇත. ප‍්‍රතිමා ගෘහයක් තිබූ බවට නටඹුන් සාක්කි දරයි.

පොත්ගුල

ගල් තලාවෙහි නැගෙනහිර දිසාවේ චතුරශ‍්‍රාකාර ස්මාරකය පොත්ගුල ලෙස හදුනාගෙන ඇත. අලංකාර ලෙස කළුගල් කුට්ටි තබා සියලූම බිත්ති බැඳ ඇත. එක් බිත්තියක දොරටුවකි. වහල ද කළුගලින්ම නිමවා ඇත. මෙහි සෑම ගලකම කි‍්‍රව 8 වැනි සියවසට අයත් අක්ෂර ඇත. ඒ කාලයේ වටිනා පුස්කොළ පොත් මෙහි තිබී ඇත. එම නිසා පොත්ගුල යැයි ව්‍යවහාර කෙරෙයි. එහි ළඟා වීමට පහළ සිට තරප්පු පෙළකි. එම තරප්පු ලීයෙන් හෝ ගඩොලින් සදා තුබූ බවට සොයාගෙන ඇත.

මෙම ගල් කුලෙහි පහළ ඇතුලට හාරා සකස්කරන ලද ගල්ලෙනකි. කළුගලින්ම නෙළු උළුවහු හා වහලක් තිබී ඇත. කටාරම් ද කොටා ඇත.

ප‍්‍රධාන ඝරය

භික්ෂූන් වහන්සේලා භාවනා යෝගීව වැඩ සිටි ප‍්‍රධාන ඝර නම් වූ විශාල ගොඩනැඟිල්ලක නටබුන් ගල්ලෙනට ඉදිරියෙන් ඇත. එහි පාදම හා ගඩොලින් තනා ඇති බිත්ති වල පහළ කොටස් අදටත් දැකිය හැකිය. ප‍්‍රධාන ඝරය වටා ජලය රැුස්කර කළ බවට විශ්වාසයයි. එය අසලට යන ඔබට හෙළ කලා ශිල්පීන්ගේ ඉංජිනේරු තාක්ෂණය මවිතයට පත්කරවනවා නොඅනුමානය.

අක්කර 250 ක් පමණ වන මෙම ගල්තලාවෙහි මෙවැනි ගොඩනැගිලි 12ක නටබුන් සොයාගෙන ඇත. තවත් විශාල ප‍්‍රමාණයක් ඇති බවට අනුමාන කෙරේ. මේවායේ භික්ෂූන් වහන්සේලා භාවනායෝගීව හා නේවාසික විසූ බවට විශ්වාස කෙරේ.

නෙළුම් පොකුණ

ජලය රැුස් කිරීමට ගල්තලාවෙහි තැන්් තැන් වල අලංකාර ලෙස තැනූ පොකණු දක්නට ඇත. මෙම පොකුණු විශාල ප‍්‍රදේශයක් පුරා පැතිරී පවතී. නෙළුම් මල් වලින් සැරැුසුණු එවැනි පොකුණු අද ද දක්නට ඇත. නෙළුම් පොකුණ හා ආශ‍්‍රිත වනාන්තරය ලංකාවට අවේනික හා සංචාරක පක්ෂීන්ගේ වාසස්ථානයක් වෙයි.

ගල්ලෙන්

පොත්ගුල ඇති ගල් පර්වතයේ සිට කැලෑව මැදින් ටික දුරක් ගිය විට මෙහි එක් එක් ප‍්‍රමාණයේ ගල්ලෙන් 5ක් දක්නට ඇත. මෙහි භික්ෂූන් වහන්සේලා වැඩ සිටි බවට එහි ඇති කටාරම් සක්කි දරයි.

ඓතිහාසික චිත‍්‍ර

ප‍්‍රාග් ඓතිහාසික යුගයට අයත් චිත‍්‍ර විශාලතම ගල්ලෙන තුල දැකගත හැකිය. ලෝකයේ හා ලංකාවේ ඉතාමත් ඓතිහාසික වටිනාකමකින් යුත් මෙම දුර්ලභ සිතුවම් වසර 4000ක් පමණ පැරණි විය යුතු යැයි මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා දක්වා ඇත. වැදි චිත‍්‍ර ලෙසින් නම් කර ඇති මෙම සිතුවම් ප‍්‍රාථමික යුගයේ ජීවත් වූ ආදිවාසී ජනතාව විවේක කාලයේදී නිර්මාණය කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. ශාක පත‍්‍ර යුෂ, පාට ගල් වර්ග, අල, අඟුරු, සත්ව ලේ මිශ‍්‍ර කර සාදාගත් සායම් වලින් මෙම නිර්මාණ කර ඇති බවට විශ්වාස කරයි. සතුන්, ඉර හඳ, තාරකා දුනු ඊතල මෙම චිත‍්‍ර අතර වෙයි.

ශිලා ලේඛන

භික්ෂූන් වහන්සේලා උදෙසා කළ පූජාවන් හා නොයෙක් වැදගත් තොරතුරු දැක්වෙන කි‍්‍ර:ව 8 වැනි සියවස දක්වාවූ දීර්ඝ කාලයකට අයත් ශිලා ලේඛණ ද මෙහි පිහිටුවා තිබේ. ගල්ලෙන්, බෝමළුවේ, ගල් පුවරුමත, පොත්ගුලෙහි, ගල්කැබලි මත, පොකුණු හා ගල්කැටයම්වල ද මෙහි එක් එක් යුගවලට අයත් ශිලා ලේඛණ දක්නට ලැබේ.

1. බ ර ත පි ඩ ප ති ස තෙ ර හ
බරත නම් අයට අයත්ව තිබූ තිස්සනම් තෙරුන්ට පූජාකළ පොකුණයි.

2. අ ති අ ජි රි ය බ ති ය ම ත උ ප ශි ක න ග (ය)
ඇතුන් පිළිබඳ ආචාර්ය්‍යවරයාගේ (බිරිය) බතී නම් උපාසිකාව පිළිබඳ මෙයින් කියවේ.

3. බ ත සු ම න හ ත ල ව ඩ
මෙහි සුමන හෝ සහෝදර සුමනගේ ආයුධයක් ගැන කියවේ.

4. අ ඨ ල බො ති ව ක බ ව ණ ග ම

ජීවිත පරිත්ත්‍යාගයෙන් ආරක්ෂා කරගත් මේ පුද බිම පසු කලෙක වල් බිහිවිය. 1960 දී කුඩාකෝන්ගස්කඩ විමලඥන හිමියෝ වයස අවරුදු 20 දී මැදවච්චියේ සිට එහි වැඩම කළහ. වන සතුන්ගෙන් ගහණ වූ වනාත්තරය මැදින් විල්පත්තු බටහිර මායිමේ පිහිටි තන්තිරිමලයට පැමිණි උන්වහන්සේට හරිහැටි දානයක් වත් දීමට දායකයෙක් නොවීය. එහෙත් අද තන්තිරිමලය ජනාවාසයකි. රජ කාලයෙන් පසු තන්තිරිමලය පුද බිමක් කර වැව් අමුණු බඳවා ගොවියන් පදිංචි කරවා පාසල් හා කඩමණ්ඩි තනවා වත්මන් දියුණුව ඇති කිරීමට ඒ හිමියෝ පුරෝගාමී වූහ.

1983 පමණ වන විට කොටි ත‍්‍රස්තවාදයෙන් උවදුරින් මෙම ප‍්‍රදේශය වෙළී ගියේය. කොටි එහි ගම් 20ක් විනාශ කරමින් එහි වැසියන් මරා දැමූහ. තව පිරිසක් පැහැරගෙන ගියහ. ඓතිහාසික බෝධිය වටා සන්නද්ධ හමුදා සෙබළුන්ගෙන් සමන්විත බංකර ඉදි කැරිණි. සිව් කොණෙම වූ බංකරවලින් විසිහතර පැයේම ආරක්ෂාව සැලැසිණි. පන්සල් බිම හමුදා කඳවුරක් විය. ඩෙන්සිල් කොබ්බෑකඩුව විජය විමලරත්න, වැනි හමුදා සේනාධිපති වරු මේ පුද බිම රැුක බලා ගැනීම ඉමහත් වෙහෙසක් ගත්හ. 1992 ජලි 21 දින කුඩාකෝන්ගස්ගඩ විමලඥාන හිමියන් මිලේචයෙකුගේ බොම්බ ප‍්‍රහාරයකට ලකව අපවත් වූහ.

1975 වර්ෂයේදී විහාරස්ථානයට පැමිණි වර්තමාණ විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන නාහිමි, විමලඥාන නාහිමියන්ගෙන් සිදුවූ සේවය නොකඩවාම අඩුවකින් තොරව ඉදිරියට ගෙනයමින් සිටිති.

පරිසරයේ සුන්දරත්වය බුදුන් වහන්සේ හා රහතන් වහන්සේලා මෙසේ දුටු සේක.

අච්ඡොදිකා පුථුසිලා
ගොණංගල මිගායුතා
අමබුසෙවාල සඤජනනා
තෙසෙලා රමයනති මං

පිරිසිදු දියෙන් ද පුළුල් ගල්තලාවලින් ද වඳුරන් හා වෙනත් සිවුපාවුන්ගෙන් ද යුත් දිය සෙවලින් පිරුණු ගල්කුල මා සිත් ගනී.
(වනවජ්ජ රහතන් වහන්සේ)

ලංකාදීප පත‍්‍රය පළකරන සීමාසහිත විජය පුවත්පත් සමාගම හත් වැනි වසරටත් ජූනි 25 - 27 දක්වා තුන් දින පොසොන් ආලෝක පූජාව පවත්වයි.

තන්තිරිමලේ චන්දරතන නාහිමියන් විසින් රචිත තන්තිරිමලේ නම් කෘතිය ඇසුරිණි.

 

වෛත්‍යය

ගල්පඩි පෙළ

ගල්තලාව හා නෙළුම් පොකුණ

ක්කර 250 දුරට විහිදෙන ගල්තලාව

සැතැපෙන පිළිමය

බෝධීන් වහන්සේ සහ ගන්ඨාර කුළුන

ප‍්‍රධාන ඝරය

භික්ෂූන් වහන්සේ වැඩ සිටි ගල්ගුහාවක්

සමිධි පිළිම වහන්සේ

ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයකින් සමාධි පිළිමයට හානි සිදුවිය

කුඩාකෝන්ගස්කඩ විමලඤාණ නාහිමි පිළිරුව

 පොත්ගුල

 අෂ්ඨ ඵල බෝධිය

ගල්ගුහාවල ප‍්‍රාග් ඓතිහාසික චිත‍්‍ර

තන්තිරිමලේ චන්ද‍්‍රරතන නාහිමි