( පුෂ්පකුමාර ජයරත්න )

කුරුණෑගලට ඊයේ (23) රාත්‍රියේ අධික සුළං ,  අකුණු සැර සමග ඇතිවූ අධික වර්ෂාපතනය හේතුවෙන් මෑත කාලයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිදුවූ විශාලම විදුලිය බිඳවැටීම වාර්තා විය .

මෙම විදුලිය බිඳවැටීම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකින්ම වාර්තා වූ අතර දිස්ත්‍රික්කය හරහා හමා ගිය අධික සුළං තත්ත්වය හේතුවෙන් ගස් කඩා වැටීමෙන් විදුලි ට්‍රාන්ස්⁣ෆෝමර රැසකට සහ විදුලි රැහැන් මාර්ග රැසකට හානි සිදුව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය .

කොරෝනා වසංගතය හේතුවෙන් ක්‍රියාත්මක ඇඳිරිනීතිය නිසා විදුලි කාර්මික නිලධාරීන්ගේ පැමිණීමේ යම් අඩුවක් වාර්තා වුවද උපරිම කාර්ය මණ්ඩලයක් යොදවා මෙම නඩත්තු කටයුතු කිරීමට උපදෙස් දී ඇති බවද සභාපතිවරයා පැවසීය .

කුරුණෑගල දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ වලට ඊයේ දහවල වන තුරුද විදුලිය ලැබී නොතිබුණි .

විදුලිය නොතිබීම හේතුවෙන් බොහෝ රජයේ කාර්යාලවල කටයුතු අඩපණව තිබූ අතර බොහෝ ව්‍යාපාරික ස්ථානද වසා දමා තිබුණි .