IMG-LOGO

රතන හාමුදුරුවෝ මාස කීපයකට මන්ත්‍රීධුරය දරලා එය අපට ලබාදේවි

බොදුබල සේනා සංවිධානයේ නායක 
ගලගොඩඅත්තේ ඥානසාර හිමි

මේ මන්ත්‍රීධුරය ලැබුණේ ඥානසාර හාමුදුරුවන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යවන්න කියලයි

  • ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ඇතුළු දේශපාලන කාරණා කීපයක් පිළිබඳව මේ අදහස් පළ කරන ලද්දේ ගලගොඩඅත්තේ  ඥානසාර හිමියන් විසිනි.
  • අපි මේ උත්සාහ කරන්නේ අතීතයෙ සිද්ධවුණු වරදක් නිවැරදි කරන්න මිසක් කාගෙවත් දෙයක් උදුර ගන්න නොවෙයි.
  • අපි පාර්ලිමේන්තු වරමක් අපේක්ෂා කෙරුවෙම අන්කිසිවක් නිසා නෙවෙයි. රට ජාතිය ගැන හිතලා ජාතිය හමුවේ ඇති අභියෝග ජයගන්න තමයි.
  • ගෙවල්වල අඬදබර ඇති වෙන්නෙ නැද්ද?පංසල් ඇතුළෙ අඬදබර නැද්ද? පංසල්වලට නඩුහබ  කියාගන්නෙ නැද්ද? මේ සිවුරු ඇතුළෙ  ඉන්නෙත් මනුස්සයො.
  • මට වගකීමෙන් කියන්න පුළුවන් එක කාරණයක්. මේ තමයි මම පාර්ලිමේන්තු එන එක වැළැක්වීමට පැහැදිලි කුමන්ත්‍රණයක් දියත් වුණා.

 

ඔබ වහන්සේලාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බොහෝ කතාබහට ලක්වුණා පසුගිය කාලේ. ඒක ගාලගෝට්ටියක් දක්වා වර්ධනය වුණු හැටි අපි දැක්කා. කොහොමද අවසන් විසඳුමකට ආවේ.   


වෙන්න ඕන දේ වුණා. මුලින්ම ඒ මන්ත්‍රී ධුරය ලබා ගැනීමට ඇප කැප වුණු සෑම සියලු දෙනාටම ස්තුතිවන්ත වෙන්න ඕනෑ. ජාතික අභිලාශ මුදුන් පමණුවා ගන්න නිස්සරණාධ්‍යාසයෙන් වැඩ කරපු සියලු දෙනාටම ඒකෙ ගෞරවය හිමිවෙනවා. ඒ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා පැවැත්වුණා. සිද්ධ වුණේ මොකක්ද කියලා දැන් කවුරුත් දන්නවා. මන්ත්‍රී ධුරයට වඩා ලේකම් ධුරය පිළිබඳව ඇතිවුණ ගැටලුවක්. ඒ ලේකම් හාමුදුරුවොයි රතන හාමුදුරුවොයි අතරෙ යම් ගිවිසුම්ගතවීමක් තිබිලා තියෙනවා. ඒවා අපි දැනගෙන හිටියෙ නෑ. අපිට මේ සම්බන්ධව කිසිම කම්පනයක් නෑ. රතන හාමුදුරුවො දැන් පාර්ලිමේන්තුවට වැඩලා තියෙනවා. උන්වහන්සේ යම්කිසි කාලයකට ඒ කියන්නෙ මාස තුනකට හෝ හයකට මන්ත්‍රීධුරය දරලා ඊට පස්සෙ මන්ත්‍රීධුරය අපිට ලබාදෙයි කියලා අපි හිතනවා. 

 
ඊට පස්සෙ ඒ මන්ත්‍රී ධුරයට පාර්ලිමේන්තු යන්නේ ඔබද?   


ඔව්. ඒක මට ලැබිච්ච මන්ත්‍රීධුරයක්නේ. මොකද ජාතික ලැයිස්තුවෙන් ඥානසාර හාමුදුරුවො පාර්ලිමේන්තු යවන්න කියලනේ ඒ තීන්දුව ගත්තේ. මට තියෙන්නේ ජාතික අභිලාශයක් විනා පුද්ගලික අභිමතාර්ථ නෙවෙයි. අපි කවුරුත් මේ ජාතික ව්‍යාපාරය ඇතුළෙ වැඩ කරපු අය. වර්තමානයේ මම ඒක වඩාත් උද්දීප්තියට පත් කරලා තියෙනවා.   
අපි පාර්ලිමේන්තු වරමක් අපේක්ෂා කෙරුවෙම අන්කිසිවක් නිසා නෙවෙයි. රට ජාතිය ගැන හිතලා ජාතිය හමුවේ ඇති අභියෝග ජයගන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒ වෙනුවෙන් තමයි අපි හැම විටම ක්‍රියා කළේ. මේ රටේ දරුණු සංස්කෘතික ආක්‍රමණයක් සිද්ධවෙනවා කාලයක් තිස්සේ. අපි අවුරුදු විස්සක් තිස්සේ ඒ ගැන කතා කරනවා. ඒ හෙළිදරව් කිරීම් නිසා අපි නොවිඳපු දුකක් නෑ. පසුගිය කාලේ අපිට ලේබල් වැදුණා. බොරු චෝදනාවලට ලක්වුණා. අපි අරයගෙ මිනිස්සු, මෙයාගෙ මිනිස්සු, අරයගෙ කොන්ත්‍රාත් කරනවා, මෙයාගෙ කොන්ත්‍රාත් එක කරනවා කිය කියා අපිට කොයිතරම් ලේබල් ගැහුවද? අපි ඒ සියල්ල ඉවසා දරාගෙන කටයුතු කළා. 

 
බුදුන්ගේ මාර්ගය අනුව යමින් අපි රට වෙනුවෙන් අපේ භික්ෂු භූමිකාව කළා. අපි පාර්ලිමේන්තු වරමක් ඉල්ලුවෙ කාර් පර්මිට් එක ගන්නවත් පාර්ලිමේන්තුවෙ සැප විඳින්නවත් නොවෙයි. ඒ වරප්‍රසාද පාවිච්චි කරලා රට වෙනුවෙන් කළ යුතු වැඩ කොටස කරන්න ශක්තියක් ලබන්න. අපි හිතනවා තව ටික දවසකින් පස්සේ ඒ මන්ත්‍රීධුරය අපිට ලැබිලා අපි හිතන වැඩ කොටස රට වෙනුවෙන් ඉටු කරන්න ලැබෙයි කියලා.   


මේ මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් ඇතිවුණු හබය සංඝයා වහන්සේලාට තරම් නෑ වගේ නේද?   


ඒවා ස්වභාවික දේවල්. ගෙවල්වල අඬදබර ඇති වෙන්නෙ නැද්ද. පංසල් ඇතුළෙ අඬදබර නැද්ද? පංසල්වලට නඩුහබ කියාගන්නෙ නැද්ද? මේ සිවුරු ඇතුළෙ ඉන්නෙත් මනුස්සයො. තණ්හා දාසයෝ වෙච්ච පෘතග්ජන මිනිස්සු එක්ක වැඩ කරන්න ගියාම ඔය වගේ නොගැළපෙන දේවල් සිද්ධ වෙනවා. ඒක තමයි යථාර්ථය. නමුත් මෙතන සිද්ධ වුණු දේ ඊටත් වඩා වෙනස් ආකාරයට මාධ්‍ය මගින් ප්‍රචාරය වුණා.   


මට වගකීමෙන් කියන්න පුළුවන් එක කාරණයක්. මේ තමයි මම පාර්ලිමේන්තු එන එක වැළැක්වීමට පැහැදිලි කුමන්ත්‍රණයක් දියත් වුණා. ඒකට ආණ්ඩුව පාර්ශ්වයෙ යම් යම් අයත් සම්බන්ධයි. නාමයෝජනා ප්‍රත්තික්ෂේප වීමේ සිට මන්ත්‍රීධුරයේ දිවුරුම් දීම දක්වාම ඒක ක්‍රියාත්මක වුණා. ඒක මට අනාවරණය කරන්න වෙලාවක් එයි. කට කැපුවත් මම එදාට ඒක කියනවා.   


තව මාස තුනකින් හෝ හයකින් මේ මන්ත්‍රීධුරය රතන හාමුදුරුවො ඔබ වහන්සේට ලබා දුන්නෙ නැත්නම් මොකද වෙන්නේ.   


ඒක ඉතින් උන්වහන්සෙගෙ අතේ තියෙන වැඩක්. මොකද මේ ගැන ගිවිසුම් නෑ, ගනුදෙනු නෑ. විශ්වාසය මත තමයි වැඩේ සිද්ධ වෙන්නේ. අපි මේක බේරුමක් කරගන්න බැලුව ප්‍රශ්නයක් නොවී. මේ ගැන ඇත්ත රටට කියන්නත් ඕන. මොකද මේ ගැන නොයෙක් බොරු ප්‍රචාර පළ වුණා.   


ලේකම් උන්නැහේ මේක අරන් අතුරුදන් වුණා. කිසිම සාකච්ඡාවක් කරන්න ආවෙ නෑ. සදාචාරයක් තියෙනව නම් අඩුම තරමෙ මන්ත්‍රීධුරය ලැබිල පක්ෂේ අය එක්ක කතා බහ කරන්නවත් තිබුණනේ. මේ සියලු ප්‍රශ්න ඇති වුණේ එක දුර්ජනයන්ගෙ ක්‍රියා පිළිවෙත නිසා. ඇත්තටම ඔහු හයිජැක් කළා ආණ්ඩුවෙන්. ආණ්‍ඩුවෙ රැකවරණ ඇතුව හිටියා. පස්සෙ පක්ෂෙන් නඩුවක් දැම්මා. ඒකත් ඇදුනා. ඒ අන්තිමට පක්ෂ සභාපති එක්කත් කතා කරලා අපි තීරණයකට ආවා මොකක්ද කරන්නේ කියලා. ඒ අනුව වඩාම හොඳ තීන්දුව තමයි මේ අරගෙන තියෙන්නේ.   


මේක තුන්කොන් සටනක් වෙලා තියෙන මොහොතක තමයි මම මැදිහත් වුණෙ. විමලතිස්සට මේක දෙන්නෙ නෑ කියලා මම පැහැදිලිවම කිව්වා. මොකද මේ දුර්ජනයට මේ මන්ත්‍රී ධුරය නොදිය යුතුයි කාට දුන්නත්. හේතුව ජාතික අභිලාශයට පයින් ගහපු කෙනෙක් ඒ. ඊට පස්සෙ සමනුයි රතන හාමුදුරුවොයි සාකච්ඡා කරලා තීන්දුවක් ගන්ත කියලා කිව්වා. මට පළවෙනි පාරටම මේ මන්ත්‍රීධුරයෙන් පාර්ලි​මේන්තු යන්න බැරි නිසා රතන හාමුදුරුවො ඉස්සෙල්ලා ගිහින් පස්සෙ මට දෙනවා කිව්වා. අපි ගිහියන්ට අත්අරින්න කිය කියා මන්ත්‍රීධුරයකට රණ්ඩු වෙන එක අශෝබනයිනෙ. ඒක නිසා මම කිව්වා මොකක් හරි තීන්දුවකට ඇවිත් මේ ප්‍රශ්නය ඉක්මනින් බේරුමක් කරගමු කියලා. 

 
මට මන්ත්‍රීධුරය ලැබුණත් එකයි නැතත් එකයි. ලැබුණොත් අපි බලාපොරොත්තු වුණු වැඩ කොටස කරනවා. නොලැබුණත් අපි කරගෙන ආපු වැඩ ටික දිගටම කරගෙන යනවා.   


ආණ්ඩුවට අවුරුද්දකුත් වුණා. ඔබ වහන්සේලා මුලදි ගෝඨාභය රාජපක්ෂ ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන කතා කළා. දැන් දැන් දැඩි විවේචන කරනවා. එච්චර විශ්වාසය බිඳුනද?   


ජනාධිපතිගේ හිතේ තියෙන දේ යථාර්ථයක් කරන්න තාම මේ සිස්ටම් එක සූදානම් නෑ කියලා වගෙයි පේන්නේ. සිස්ටම් චේන්ජ් කරනවා කියන එක ලේසි වැඩක් නොවෙයි. ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ සිස්ටම් චේන්ජ් කරනවා කියලා එන නායකයින්ට සිස්ටම් එකට අනුව චේන්ජ් වෙන්න. දැන් ඒ අර්බුදය තමයි අපි මේ දකින්නේ. හැබැයි යම් යම් දේ සම්බන්ධයෙන් හොඳ ප්‍රවේශයක් අරගෙන තියෙනවා. අඩු පාඩුත් තියෙනවා. අපි හොඳ දේට හොඳයි කියන අතරෙ නරක දේ විවේචන කරන්න ඕන.   


කොරෝනා ප්‍රශ්නයේදී පවා ජාතිවාදය ආගම්වාදය ඉස්සරහට එනවා යම් යම් කාරණාවලදි.   


ඕවා පරිපාලනමය කරුණු. කොවිඩ් මරණ පිළිබඳව ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා. මට තේරෙන්නේ නෑ ඇයි මේ ප්‍රශ්නය මේ තරම් දුර ඇදගෙන යන්න ඉඩ දෙන්නෙ කියලා. එක රටක් එක නීතියක් කියලනේ මේ ගොල්ලො ආවෙ. තීන්දුවක් ගත්ත නම් ඒ තීන්දුව වැනෙන්නෙ නැතුව ක්‍රියාත්මක කරන්න ඕන. රාජ්‍ය නායකයො ගත්තු තීන්දු පහළ අය ක්‍රියාත්මක නොකරන්නේනම් ඒ අයට නීතිය ක්‍රියාත්මක කරලා තමයි ඍජු නායකයෝ කියලා ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නන්න ඕනෑ. ඒක වෙන පාටක් පේන්න නෑ. අපි දන්නෙ නෑ මේවට කාගෙන්ද බලපෑම් එන්නෙ කියලා. මේ ගැන පුළුල් සාකච්ඡාවක් හෝ ඇති විය යුතුයි කියලා මං හිතනවා.   


මාවනැල්ලෙ බුදු පිළිමවලට ආපහු ගල් වැදෙනවා.   


අපි ආණ්‍ඩු තුනක් යටතේ තීරණ කීපයයි ඉල්ලුවෙ. මුහුදු මහවිහාරයෙ ප්‍රශ්නය විසඳලා දෙන්න. දෙවනගල ප්‍රශ්නය විසඳලා දෙන්න. කූරගල ප්‍රශ්නය විසඳලා දෙන්න. මානික්කමඩුවෙ ප්‍රශ්නය විසඳලා දෙන්න. වෙහෙරගොඩ යායේ ප්‍රශ්නය විසඳලා දෙන්න කියලා විතරයි අපි ඉල්ලන්නේ. ඇයි ඒක කරන්න නැත්තෙ. පුරාවිද්‍යා නීතිය ක්‍රියාත්මක කරන්න මොකක්ද තියෙන නොහැකියාව. මොකක්ද මේ නොසැලකිල්ල.   


අපි මේ උත්සාහ කරන්නේ අතීතයෙ සිද්ධවුණු වරදක් නිවැරදි කරන්න මිසක් කාගෙවත් දෙයක් උදුර ගන්න නොවෙයි. මේ ප්‍රශ්න විසඳන්න ප්‍රමාදවීම ඇතුළෙ අපිටත් විවිධ සැක සංකා මතුවෙනවා. ඒ තුළ මේ වගේ දේවල් වුණත් බලාපොරොත්තු වෙන්න වෙනවා. ඒවා කවුරු කරනවද කොහෙන් කරනවද දන්නෙ නෑ. ඇයි මේ ගැන නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැත්තෙ හරිහැටි.   


මේ ආණ්‍ඩු කරන්න කර උර දීලා සහයෝගය පළ කරපු ඇල්ලේ ගුණවංශ, මුරුත්තෙට්ටුවෙ ආනන්ද, මැදගොඩ අභයතිස්ස වැනි හාමුදුරුවරු පවා විවිධ කාරණා සම්බන්ධයෙන් අද වෙනකොට ආණ්‍ඩුවට දැඩි ලෙස දෝෂාරෝපණය කරනවා. මේක ව්‍යාජ ආණ්‍ඩු විරෝධයක් කියලත් ඇතැම් දෙනා කියනවා. ඔබේ අදහස මොකක්ද?   


ඒ ගැන අපි කතා නොකර ඉමු.

 

ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

රතන හාමුදුරුවෝ මාස කීපයකට මන්ත්‍රීධුරය දරලා එය අපට ලබාදේවි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 21 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 603 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site