IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


’රජය කරන හොඳ වැඩ පසසන්න නැති තැන විවේචනය කරන්න’

(අංජුල මහික වීරරත්න)

”රජය කරන හොඳ වැඩවලදී ප‍්‍රශංසා කරන්න. එසේ නැති තැන විවේචනය කරන්න” යැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී පුරවැසි බලය සංවිධානයේ සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටියේය.

ගැටලූ සියල්ලට පැලැස්තර නොදමා ස්ථිර විසඳුම් සෙවීම යන පදනමෙහි සිට රජය කටයුතු කරන බව ද අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී අවධාරණය කළේය.

පුරවැසි බලය සංවිධානයේ සාමාජික සාමාජිකාවෝ කොළඹ අරලියගහ මන්දිරයේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවූහ.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

”රටේ යහපාලනය ඇති කරන්න, විශේෂයෙන්ම මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ලෙස පත්කර ගැනීමට සංවිධානය ලෙස ඔබ සියලූ දෙනා එක්ව වැඩ කළා. අප සාකච්ඡා කර එකඟ වූ කරුණු සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වෙන්නේ කෙසේදැයි ඔබ දැන් මගෙන් විමසනවා.

කරුණු ක‍්‍රියාවට නැංවීම වේගවත් මදි බව ඇතැම් ස්ථානවල ඔබ පවසා තිබෙනවා. අද නිදහසේ සමාජය ස්ථාපිත වෙලා. ඒ නිසා අද මාධ්‍යයෙන් කොතරම් පහර ගසනවා ද? එසේ වූවත් කවුරුවත් මාධ්‍යවේදීන් පැහැර ගෙන ගොස් නැහැ.

එදා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන පැවැසූ පුද්ගලයන් අද අපට දොස් කියනවා. නමුත් මෙයයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය.

 ඕනෑම අයකුට  ඕනෑම දෙයක් කිව හැකියි. ඒවාට අපට පිළිතුරු දෙන්නත් පුළුවනි. අප ගහන්න යන්නේ නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස් වාතාවරණය ඉදිරියට ගෙන යා යුතුයි. අප මේ වනවිට රටේ පවතින මූලික ගැටලූ විසඳීම ආරම්භ කර තිබෙනවා.

ඔබ මතක තබා ගන්න. අපට ලැබුණේ ණය බර සහිත මඩවගුරයි. එක් පැත්තකින් මඩවගුර ලැබුණා. අනෙක් පැත්තෙන් කුණු කන්දක් ලැබුණා. තවත් පැත්තකින් හොර ගුහාව ලැබුණා. මේ සියල්ලම පාලනය කරමින් අප ඉදිරියට යන්නේ කෙසේ ද?

සෑම ගැටලූවක් සඳහාම අපි පියවර ගෙන තිබෙනවා. ණය උගුලට මුහුණ දෙනවා. ඒ වගේම නියඟය, ගංවතුර ආදී ආපදා තත්ත්වයන්ටත් මුහුණ දුන්නා. මේ ගැටලූ සියල්ලට තාවකාලික පැලැස්තර නොදමා ස්ථිර විසඳුම් සෙවිය යුතුයි.

කසළ එකතුවීමේ ගැටලූව විසඳීමට නම් කසළ කළමනාකරණය කිරීමේ වැඩසටහනක් තිබිය යුතුයි.

දුෂණය, වංචා පිළිබඳව ඔබ මගෙන් විමසුවා. ඒ පිළිබඳව විභාග කිරීම් ගණනාවක් මේ වනවිට වනවා. ඒ වගේම පොලිසියෙන් විමර්ශනය කර අවසන් කරන ලද ඇතැම් විභාග කිරීම් නීතිපති දෙපාර්තමේන්තුවටත් යවා තිබෙනවා. ඉන් කොටසක් මේ වනවිට අධිකරණයටත් භාර දී අවසානයි. අප කරන විශාල වැඩ කොටස ජනතාවට පවසන්නේ නැතැයි බොහෝ අය දොස් කිව්වා. ඒ නිසා ඉදිරියේදී සියලූ කරුණු ජනතාවට හෙළි කරනවා.

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යමින් රැකියා අවස්ථා බිහි කිරීම මගේ කාර්ය භාරයයි. අධ්‍යාපනය දියුණු කරමින් ජනතාවට සහන සැලසිය යුතුයි. මේ කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් සිටිනවා.

විශේෂයෙන්ම ජනතාවට සහන සැලසීම, ඔවුන්ගේ ආර්ථිකය දියුණු කිරීමේ වැඩපිළිවෙළ ආදියට අපේ අවධානය යොමු වී තිබෙනවා.

සියලූ දෙනාගේ අදහස් සලකා බලමින් රටේ නව ව්‍යවස්ථාවේ මූලික වර්තාව සැකසීමට බලාපොරොත්තු වෙනවා. එක් මසක් තුළ සති දෙකක කාලයකදී දේශපාලන පක්‍ෂවල සියලූ නියෝජිතයන් පාර්ලිමේන්තුවේදී මා මුණ ගැසෙනවා. නව ව්‍යවස්ථාව සැකසීමේදී විශාල වෙනස්කම් කිරීමට ඇති නිසා එහිදී සියලූ දෙනා සමඟ විශාල වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව මූලධර්ම ගණනාවකට එකඟවීමට හැකියාව ලැබුණා.

මේ වැඩ කටයුතු කරන විට ඇතැම් අය පවසන්නේ රටේ ඒකීයභාවය, බුදු දහම අනතුරට පත්වන බවයි. එසේ වන්නේ නැහැ. බුදු දහමට ප‍්‍රමුඛස්ථානය දෙන අතරම, රටේ අනෙකුත් කිසිදු ආගමකට මදි පුංචිකමක් නොකරන බවට ජනාධිපතිතුමාත්, මමත් අනෙක් පක්‍ෂ සියල්ලමත් එකඟ වූවා.

අස්ගිරි - මල්වතු පාර්ශ්ව අතර ගැටුම ඇති කර නිකායන් අතර සමගිය කැඞීමටත් ඇතැමුන් එදා උත්සාහ කළා. සංඝ භේදය ඇති කිරීමට උත්සාහ ගත්තා. ඒවා ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ.

බුදු දහම අනතුරේ යයි පවසන පිරිස් මල්වතු පාර්ශ්වයට කළ තර්ජනය හෙළා දකිනවා ද නැද්ද?

පක්‍ෂ ගණනාවක් දේශපාලනිකව එකතු වුණේ මේ ගැටලූ නිසයි. එසේ නැතිනම් අප දේශපාලන වශයෙන් විරුද්ධවාදී පක්‍ෂයි. විශේෂයෙන්ම ප‍්‍රධාන පක්‍ෂ දෙකක්, සුළු පක්‍ෂත් එකතු වුණා. එහිදී සම්පන්දන් මැතිතුමාත් අපේ උදව්වට පැමිණි බව කිව යුතුයි. ඒ නිසා ආගම්වාදයට හෝ ජාතිවාදයට හෝ ඉඩ නොදී ඔබතුමන්ලා වැඩකටයුතු ඉදිරියට කරන්න. එය අපට ප‍්‍රශ්නයක් නොවෙයි.

ඒ වගේම උතුරේ ජනතාවට සහන දීමට තිබෙනවා. අප උතුරේ ජනතාව සමඟ සංහිඳියාව ඇති කරගත යුතුයි. ඉතා ඉවසීමෙන් අප ඔවුන් සමඟ වැඩ කරනවා. එසේම වේගය වැඩි කරමින් අපත් ඉදිරියට යා යුතුයි. දේශපාලන වාතාවරණය අනුවයි අප වැඩ කටයුතු කරන්නේ.

මේ සම්බන්ධයෙන් අපට දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබුණා. ඔබේ අදහස ප‍්‍රකාශ කිරීමේ අයිතිය ඔබට තිබෙනවා. ඊට අපෙන් බාධාවක් නැහැ. අද තිබෙන්නේ නිදහස් සමාජයයි. වෙන කාටවත් ඔබට හිරිහැර කිරීමට අවස්ථාවක් දෙන්නේ නැහැ.

ඔබ අපත් සමඟ එක්ව සටන් කළේ නිදහස් සමාජය බිහි කිරීමටයි. අප කරන හොඳ වැඩවලදී ප‍්‍රශංසා කරන්න. එසේ නැති තැන විවේචනය කරන්න. ඒ වගේම මීට පෙරත් මා පවසා ඇති පරිදි ඇතැම් කාර්යයන් කිරීමට යම් කාලයක් ගත වනවා. නමුත් මූලික වැඩ කටයුතු සියල්ල මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ජනාධිපතිවරණ ව්‍යාපාරයේ අපත් සමඟ එක්ව වැඩ කටයුතු කළ රටේ නිදහස සහ ජාතික එකමුතුව තහවුරු කිරීමට කටයුතු කරන ඔබ සියලූ දෙනාටත් පුරවැසිබලයටත් මා ස්තුති කරනවා” යයි ද රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (3)

’රජය කරන හොඳ වැඩ පසසන්න නැති තැන විවේචනය කරන්න’

sarath Thursday, 27 July 2017 03:06 AM

හා මේ ඉන්නේ ඩොලර් කාක්කෝ ටික ඔක්කොම එක තැනට වෙලා.අමල්ක කොටි දෙනාත් ඉන්නවා .මුන් ඔක්කොම උපන් රටට ,තමන්ගේ ජාතියට වයිර කරන පිටරටින් එන ඩොලර් වලින් යැපෙන පිළිල

:       833       652

asadThursday, 27 July 2017 06:57 AM

සරත් සහෝදරයා, කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. හැබැයි වැඩක් වෙන එකක් නැහැ. කිව්වොත් කියයි ඔන්න මුස්ලිම් අය රටට ආදරේ නැහැයි කියලා. සිංහල ජාතිය විනාශ කරන්න හදනවා වගේ අනුවණ කතා. තේරුම් ගන්න මොලයක් නැති නම් තේරුම් කරන කාලය අපතේ....

:       151       105

TILAK Thursday, 27 July 2017 02:36 PM

මේ අය දියුණුව ගැන කියනවා. තම තමන්ගේ ප්‍රොජෙට් වල...

:       139       64

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1072 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 414 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site