IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘මම උතුරට එකක් කියලා දකුණට තව එකක් කියන නායකයෙක් නෙමේ‘

සජිත් ප්‍රේමදාස මහතා උතුරට එකක් කියා දකුණට තවත් දෙයක් කියන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හෝමාගමදී පෙරේදා (22) පැවැසීය.

එහෙත් තමන් උතුරට එකක් කියා දකුණට තවත් එකක් කියන නායකයකු නොවන බවද ඔහු කීවේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් මහ මැතිවරණයට තරඟ කරන අපේක්‍ෂකයන්ට සහාය පළකරමින් කොළඹ දිස්ත්‍රික්කයේ සංවිධානය කර තිබූ ජනහමු කිහිපයකට එක්වෙමින් පෙරේදා 22 වැනිදා හෙතෙම මේ බව සඳහන් කළේය.

හෝමාගම, මාලබේ, කොලොන්නාව කොටිකාවත්ත බත්තරමුල්ල හා තලවතුගෙඩ ප්‍රදේශවල මෙම ජනහමු පැවැත්විණි.

අගමැතිවරයා මෙසේද පැවැසීය.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිදු වෙනසක් නොකරමින් ආරක්‍ෂා කරන බව විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනකදී උතුරු පළාතේ ජනහමුවකදී පවසා තිබුණා. එහෙත් ඔහු දකුණේදී තමන්ගේ ඇත්තේ ප්‍රතිපත්තිය වෙනස් කරමින් කතා කරනවා. එක්සත් ජාතික පක්‍ෂය දෙකඩ වීමට මෙවැනි දෙබිඩි පුද්ගලයන් හේතුවක් වුණා. ඔවුන් කිසිසේත්ම විශ්වාස කරන්න බැහැ.  

2015 දි එක්සත් ජාතික පක්‍ෂය බලයට පත්වුණාම රටට වෙච්ච වින්නැහිය ජනතාව දන්නවා. අපි යුද්ධය ඉවර කරලා අධිවේගයෙන් රට සංවර්ධනය කළා. එහෙත් යහපාලන ආණ්ඩුව කාලේ ඒ වැඩපිළිවෙළ නතර වුණා. කිසිම සංවර්ධන කටයුත්තක් සිදුවුණේ නැහැ. අපි හදපු වරාය යහපාලන ආණ්ඩුව විකුණලා දැම්මා. ගුවන්තොටුපොළ විකුණන්න පනත් සම්මත කරගන්න බැරිවුණ නිසා ඒක විකුණගන්න බැරිවුණා.

එක්සත් ජාතික පක්‍ෂය හැමදාම කළේ රටේ ජාතික සම්පත් විකුණපු එකයි. මුහුද ගොඩකරලා වරාය නගරයක් හැදුවේ අපියි. ඒත් යහපාලන ආණ්ඩුව අවුරුදු දෙකක් ඒ වැඩපිළිවෙළ නතර කරලා තිබුණා. අපි නැවත ඒ වැඩ පටන් ගත්තා. අපි වරායෙන් ඉඩම් කොටසක් වෙන්කරගෙන තිබුණා. යහපාලන ආණ්ඩුව අවුරුදු 99 ඒවා දෙකකට ඒ ඉඩම් විකුණලා දැම්මා.

යහපාලන යැයි කියූ ආණ්ඩුව ප්‍රාදේශීය සභා මැතිවරණය අවුරුදු දෙකක් කල් දැම්මා. පළාත් සභා මැතිවරණය තිබ්බෙම නැහැ. ඒත් රටේ වාසනාවට ජනාධිපතිවරණය කල් දමන්න ඔවුන්ට බැරිවුණා. දැන් අපට අවශ්‍ය ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ හැකි පාර්ලිමේන්තුවක් බලයට පත්කර ගැනීමයි.

කෙලෙගුණ දන්නා හෝමාගම ජනතාව විතරක් නෙවෙයි මම හිතන්නේ අපි සියලු දෙනාම කෙලෙහි ගුණ දන්නා බන්දුල ගුණවර්ධනට එක මනාපයක් දීලා තමයි අනිත් ඒවා ගැන මුලින්ම හිතන්න ඕනේ කියලා මම විශ්වාස කරන්නෙ.

රට වෙනුවෙන් අපි වෙනුවෙන් කතා කළ විමල් වෙනුවෙන් කතා කිරීම අපේ යුතුකමක්

ඒවගේම අයුක්තියට අසාධාරණයට එරෙහි උදය හැමදාම අපිත් එක්ක නිවැරදි පිලේ හිටියා. ඔහු උඩින්ම පාර්ලිමේන්තු එවිය යුතුයි.

මහ මැතිවරණය ජයගෙන රට හරි මාවතක ගෙනියන්න ඕනෑ. ඒ සඳහා ජනතාවගේ සහාය බලාපොරොත්තුවන බවද ඔහු සඳහන් කළේය.


උසස් අධ්‍යාපන නවෝත්පාදන හා සන්නිවේදන තාක්‍ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේ පැවැසීය.

යුද්ධයෙන් පසු කඩිගුලක් වගේ ඇවිස්සුණ රට වැඩ බිමක් බවට පත්කරලා ලංකා ආර්ථිකයේ ස්වර්ණමය යුගයක් උදාකළේ මහින්ද රාජපක්‍ෂ රජයයි. ඒත් 2015 වසරෙදී කුමන්ත්‍රණයක් මගින් මහින්ද රාජපක්‍ෂ කියන ජාතික වීරවය පරාද කරලා දැම්මා. යහපාලන ආණ්ඩුව වයිරයෙන් මුසපත්ව රාජපක්‍ෂවරුන්ට හා රණවිරුවන්ට පහර දෙනකොට මම ඇතුළු මන්ත්‍රීවරුන් 58 දෙනෙක් මහින්ද රාජපක්‍ෂ කියන ජාතික වීරයව ආරක්‍ෂා කරගන්න කටයුතු කළා.

දූෂණයෙන්, අක්‍රමිකතාවයෙන් තොරව මේ රට පාලනය කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රතිඥා දීලා තියෙනවා. මේ රට හදන්න ලැබෙන අවසන් අවස්ථාව මේකයි. මහින්ද - ගෝඨා සුසංයෝගයට මේ රට හදන්න බැරිනම් ආයේ කවදාවත් මේ රට හදන්න නොහැකි යැයිද ඔහු සඳහන් කළේය.


කොලොන්නාව සිසිලියන් ක්‍රීඩාංගණයේදී පැවැති ජනහමුවේදී පිවිතුරු හෙළ උරුමය පක්‍ෂයේ නායක උදය ගම්මන්පිල මහතා මෙසේ පැවැසීය.
ඔබතුමාගේ ගමනට දායකවීමට ලැබීම සම්බන්ධයෙන් මම සතුටට පත්වෙනවා.

මම මුලින්ම 2015 ජනවාරි 13 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අපේ අගමැති අපේක්ෂකයා කරගන්නවා කියලා කිව්වම ඒක රාත්‍රී ප්‍රවෘත්ති මගින් ප්‍රචාරය වුණා  මෙතුමා ‘රෑ දහයට විතර’ මට කතා කළා. උදය ඔයා මම මේ අගමැති අපේක්ෂකයා විදියට ගේනවා කියලා තියෙනවා මගේ නම් අදහසක් නෑ ආයෙ දේශපාලනයට එන්න. ආයෙත් නම් ඔය කතාව කියන්න එපා කියලා කිව්වා. මම එතකොට පුංචි නීති ගැටයක් ගහලා කිව්වා ජනාධිපතිතුමනි මම කිව්වේ නෑ ඔබතුමාගේ අදහසක් තියෙනවා කියලා මං කිව්වේ මගේ අදහසක් තියෙනවා කියලා. මං මගේ අදහස දිගටම කියාගෙන යන්නම්, ඔබතුමා එන්නෙ නෑ කියන අදහස ඔබතුමා දිගටම කියාගෙන යන්න ඡන්ද ආවහම දෙකෙන් එකක් වෙයිනෙ කියලා. අගමැතිතුමනි  වරක් නොව අපට පුළුවන් වුණා ජාතියේ අපේක්ෂාව ඉටු කරන්නට ඔබතුමා තුන් වරක්ම මේ දේශයේ  අග්‍රාමාත්‍යධූරයට පත් කරන්න.

දහනවවැනි සංශෝධනය ගෙනාපු මෛත්‍රීපාල සිරිසේන මහතා කියනවා 19 සංශෝධනය නිසා ජනාධිපති අගමැති අතර ගැටුමක් මිසක් රට ඉදිරියට යන්නේ නෑ කියලා. දහනව වැනි සංශෝධනය කෙටුම්පත් කරපු එම්.ඒ. සුමන්දිරන් ජනාධිපති නීතිඥවරයා කියනවා 19 සංශෝධනය අසම්පූර්ණ වැඩක්. ඒකෙ ප්‍රශ්න ගොඩක් ඇතිවෙලා තියෙනවා කියලා. 19 පීතෘවරුන්ටම අද 19 ප්‍රශ්නයක් වෙලා යැයිද ඔහු සඳහන් කළේය.


මාලබේ නගරයේ පැවැති ජනහමුවේදී අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙසේ පැවැසීය.
2015 වසරේදි කුමණ්ත්‍රණකාරයන් ඔබ පරාජයට පත්කළා. ඔබගේ පරිණත බව දැක්කේ ඒ පරාජයත් සමගයි. ජනාධිපතිවරණයේ පරාජය දැනගත් වහාම ඔබ සිනාමුසු මුහුණින් නික්ම ගියා. එහෙම නායකයෙක් කිසිම දවසක හිටියේ නැහැ. පරාජය පිළිඅරගෙන ඔබ ගෙදරට වෙලා හිටියනම් අර පරගැති ආණ්ඩුව තව තවත් මේ රට විනාශ කරනවා යැයිද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස්, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණි ලොකුගේ, ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්‍ෂ, හිටපු පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර යන මහත්වරුන් ඇතුළු අපේක්‍ෂක අපේක්‍ෂිකාවෝද මෙම ජනහමුවලදී අදහස් දැක්වූහ.


(*** නාලක සංජීව දහනායක, *** හෝමාගම ප්‍රියන්ත ජයලත් සහ *** මොරගහහේන බුද්ධික කුමාරසිරි, *** අතුරුගිරිය ගුණවතී ඉලංකෝන් මැණිකේ)



අදහස් (0)

‘මම උතුරට එකක් කියලා දකුණට තව එකක් කියන නායකයෙක් නෙමේ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31319 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13529 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 116 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site