(අංජුල මහික වීරරත්න)
“ශීඝ්‍රයෙන් දියුණු වන ඉන්දියන් සාගර කලාපයේ තරගකාරී අගය වැඩිකිරීම සඳහා ශ්‍රී ලංකාව වේදිකාවක් බවට පත් කරන්නේ” යයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සෙනසුරාදා (4) හම්බන්තොට දී පැවැසීය.

“ලෝකය සමග එක්ව ශ්‍රී ලංකාවට බොහෝ දුර ගමන යාමට තිබෙන බව කී අග්‍රාමාත්‍යවරයා අතීතයේ නොදියුණු චීන නගර දියුණු වූ ආකාරය ආදර්ශයට ගෙන ශ්‍රී ලංකාවේ නොදියුණු ප්‍රදේශ දියුණු කරන බවද” කීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුයේ ශ්‍රී ලංකා-චීන මහා සංවිධාන හා කර්මාන්ත කලාප කාර්යාලය ආරම්භ කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගි වෙමිනි.

“යහපත් ඇරැඹුමක සැමරුම” තේමාවෙන් කර්මාන්ත කලාප කාර්යාලය ක්‍රියාත්මක කෙරෙයි.

රුහුණු-මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී කාර්යාලය ස්ථාපිත කර පවතී. උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.

“ශ්‍රී ලංකා චීන මහා සංවිධාන කලාප කාර්යාලය විවෘත කිරීමෙන් රුහුණු ආර්ථික සංවර්ධනය ආරම්භ කරනවා. මෙතෙක් කල් මේ කටයුතු සාකච්ඡා කළේ කොළඹ සහ බීජිං නගරයේයි. දැන් හම්බන්තොට සිටම වැඩට බහින කාලය පැමිණිලා.

 මහජන චීනයත්, ලංකාවත් අතර තානාපති සබඳතා ස්ථාපිත කර වසර 60 ක් පිරෙන අවස්ථාවේදී මේ වැඩසටහන ආරම්භ කරනවා. එමෙන්ම මහජන චීනයේත්, ලංකාවේත් සංවර්ධනය ආරම්භ කර වසර 40 ක් පිරෙනවා.

 1977 ජූලි මාසයේදී ජේ.ආර්. ජයවර්ධන මහතා මෙරට අගමැති වී නොවැම්බර් මාසයේදී විවෘත ආර්ථිකය ආරම්භ කළා. 1977 ජූලි මාසයේදී ඩෙන් ෂෙන් ජින් චීන නායකතුමා චීනයේ නියෝජ්‍ය අගමැති වී 1978 දී විවෘත ආර්ථිකයේ මූලික පියවර මහජන චීනයේ ක්‍රියාත්මක කළා.

මේ කාර්යාලය ආරම්භ කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනපති ප්‍රමුඛ රජය වසර දෙකක් අවසන් කර ජාතික රජයේ 2025 දර්ශනය නිකුත් කිරීමත් සමගයි.

අප රැස්වන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ 15 වැනි සම්මේලනයෙන් පසුව “එක් මාවතක්-එක් තීරයක්” වැඩසටහනට පක්ෂයේ දේශපාලන අනුමැතිය දීමෙන්ද පසුවයි. එසේ නම් අද කරන්නේ ඉතා වැදගත් කාර්යයක් බව කිව යුතුයි.

වෙනත් කරුණු ගැන කීමට පෙර මෙහි අතීතය සිහිපත් කරන්න කැමැතියි. මා අග්‍රාමාත්‍ය ලෙස මීට පෙර කටයුතු කරන අවස්ථාවේදී එදා දකුණු සංවර්ධන අමාත්‍යාංශයෙන් ආනන්ද කුලරත්න මහතා රුහුණේ වරාය, ගුවන් තොටුපොළ ඉදිකිරීම පිළිබඳව යෝජනා කළා.

 වර්තමාන වරායත්, ගුවන් තොටුපොළත් ඉදිකළේ මහින්ද රාජපක්ෂ ජනාධිපති යටතේයි. නමුත් ඒ සමග විසඳුවේ නැති ආර්ථික ප්‍රශ්න ගණනාවක් තිබුණා. ව්‍යාපෘති සඳහා ණය ගෙන තිබුණත් ණය ගෙවීමට ක්‍රියාත්මක වන වරාය හෝ ගුවන් තොටුපොළ හෝ තිබුණේ නැහැ.

 එමෙන්ම ප්‍රදේශ එකතු කරන මාර්ග පද්ධතිය ඉදිවී තිබුණේද නැත. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වී මා අගමැති වී 2015 මාර්තු මාසයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා චීනයට ගියේ මේ ප්‍රශ්න මධ්‍යයේයි. එහිදී මූලික කාරණා පිළිබඳව චීන නායකත්වය සමග සාකච්ඡා කළා.

 ජාතික ආණ්ඩුවක් බිහි කළ පසුව පක්ෂ දෙකෙහිම නියෝජිතයින් සමග මාත් චීනයට ගියා. චීනයේදී හමුවී චීන නායකත්වය සමග මා සාකච්ඡා කළා.

අපට තිබූ ප්‍රශ්න ගැන සාකච්ඡා කළා. මා පළමුවෙන්ම ඒ පිළිබඳව චීන ජනාධිපතිවරයාට දැනුම් දුන්නා. විශාල ණයක් ඇති බවත් ඒ ණය ගෙවීමට ශක්තිය නැති බවත් මා දැනුම් දුන්නා. රට විශාල අර්බුදයකට මැදිවී සිටින බැවින් ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න හැකි වේවිදැයි නොදන්නා බවත් මා පැවසුවා.

මේ පිළිබඳව චීන අග්‍රාමාත්‍යවරයා සමග මා දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. කරුණු පැහැදිලි කළා. ඉන් පසුව චීන ජනපති සමග සාකච්ඡා කළා. අපගේ ප්‍රශ්න ඉදිරිපත් කළ චීන ජනපතිට යම් විසඳුමක් තිබුණා.

චීනය සහ ලංකාව අතර හවුල් ව්‍යාපාරය ඇතිකර හවුල් ව්‍යාපාරය යටතේ වරාය කුලියට ගෙන ඒ සඳහා වන මුදල් සියල්ල වේලාසනින් ගන්නවා නම් අපට ණය ගෙවීමට ශක්තිය ලැබෙනු ඇතැයි ඔහු පැවැසුවා. එමෙන්ම වරායත් සමග මේ ප්‍රදේශවල කර්මාන්තකරණය ඇති කළ යුතු බවද චීන ජනපති මා සමග පැවැසුවා.

මමත් කාලයක් කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යුගයේ මෙරට කර්මාන්තකරණය ආරම්භ කළා. චීන ජනපතිවරයාගේ අදහස ඉතා හොඳ බව අපට වැටහුණා. ඒ කාරණයට අප එකඟ වුණා.

ලංකාවේදී සහ චීනයේදී මේ පිළිබඳව සාකච්ඡා කර අවසානයේදී වරාය අධිකාරියත් චයිනා මාර්චන්ට් සමාගමත් සමග ඒකාබද්ධ වැඩසටහන ක්‍රියාත්මක කළා. ඒ අනුව හම්බන්තොට වරාය ලබන මාසයේදී ඒ සමාගම බාර ගැනීමට බලාපොරොත්තු වෙනවා.

 ඒ සමගම ගෙවිය යුතු කුලී මුදල චීනය විසින් ගෙවා දමන නිසා අපේ ණය බර ප්‍රශ්නය විසැඳෙනවා. මේ සමාගම වරායේ වැඩකටයුතු ඉදිරියට ගෙන යාම සඳහා තවත් ඩොලර් කෝටි හැටක් ආයෝජනය කරනවා. මේ සඳහා ඔවුන් වියදම් කළ ඩොලර් 110 ට අමතරව තවත් ඩොලර් කෝටි 60 ක් ශ්‍රී ලංකාවට වියදම් කරනවා.

 වරායකින් පමණක් කර්මාන්තකරණය ළඟාකර ගැනීමට හැකියාව නැහැ. සමහර බලශක්ති පහසුකම් අවශ්‍යයි. ඒ නිසා තෙල් පිරිපහදුව, එල්.එන්.ජී. විදුලිය බලාගාරය ඉදිකිරීම පිළිබඳව සාකච්ඡා කරනවා. අපට වානේ කර්මාන්ත ශාලාවක්, සිමෙන්ති කර්මාන්ත ශාලාවක් අවශ්‍යයි. නැව් තටාක පිළිබඳවත් සාකච්ඡා කරනවා. සාකච්ඡා පවත්වන්නේ මූලික අදියර හැටියටයි. මේ සාකච්ඡා එතැනින් නතර වන්නේ නැහැ.

රුහුණු ආර්ථික කලාපය යනු විශාල කර්මාන්ත පුරයයි. හම්බන්තොට-මොනරාගල ප්‍රදේශ දෙකේම කර්මාන්ත ඉදිවෙනවා. කර්මාන්ත කලාප ගණනාවක් තිබෙනවා. කර්මාන්ත කලාපයෙන් කොටසක් හම්බන්තොටත් කොටසක් මොනරාගලත් තිබෙනවා.

මේ ප්‍රදේශවල රජයේ ඉඩම් විටින් විට කර්මාන්ත කලාප සඳහා අදාළ සමාගම්වලට දීර්ඝ කාලීන පදනම යටතේ බදු දෙනවා. එලෙස බිහිවන කර්මාන්ත ශාලා තුළින් රැකියා උත්පාදනය වෙනවා. ඊට අදාළ නිවාස සංකීර්ණ, වෙළෙඳ සංකීර්ණ, රෝහල්, උසස් අධ්‍යාපන ආයතන ගණනාවක් මෙහි ඉදිකිරීම අපේ බලාපොරොත්තුවයි.

චීන සමාගම් පමණක් නොව වෙනත් රටවල්වල සමාගම්ද මෙහි ක්‍රියාත්මක කිරීම මගේ අරමුණයි. සියලුම කටයුතු මේ නව කාර්යාලයේ සිට මෙහෙයවීමට හැකියි. අප මෙතැන් සිට වැඩ ආරම්භ කරමු. මෙහි වැදගත්කම එයයි.

අද තබන්නේ අප රටේ සංවර්ධනයට වැදගත් පියවරයි. ජාතික රජයේ වැඩසටහන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, එක්සත් ජාතික පක්‍ෂය ඇතුළු පක්ෂ ගණනාවක්  එක්ව මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ රටේ අනාගතය ගොඩනැගීම සඳහායි. සංවර්ධන කටයුතු මහවැලි ව්‍යාපාරය ලෙසින්ම හැමදාම තිබෙනවා. එහි වියදම මහවැලි ව්‍යාපාරටත් වඩා වැඩියි. විශාල ආර්ථිකයක් ඇති වෙනවා.

ජාතික ආණ්ඩුව ලෙස පළමු වරට මහනුවර සිට හම්බන්තොට දක්වා විශාල දියුණු කලාපය ඇති කිරීමට ක්‍රියා කරනවා.

මේ ප්‍රදේශවල රටේ ජනගහණයෙන් තුනෙන් දෙකක පිරිස ඉන්නවා. පැය - දෙක තුනකින් මහනුවර සිට හම්බන්තොටට එන්න හැකියාව ලැබේවි. කොළඹ සිට මහනුවරට යාමට පැය අටක් ගත වූ බව මට හමුවූ පුද්ගලයකු පැවැසුවා. අපගේ අලුත් වැඩසටහන ඇති කළ පසුව පැය අටකින් නුවර සිට හම්බන්තොට පැමිණ නැවත නුවරට යාමට හැකියාව ලැබෙන බව මා පැවැසුවා.
මහනුවර කේන්ද්‍ර කරගනිමින් සංචාරක කලාප ඉදි කෙරෙනවා. කර්මාන්ත කලාප තිබෙනවා. තාක්ෂණ කලාප තිබෙනවා. හම්බන්තොට ප්‍රදේශය විශාල ආර්ථික කලාපයක් බවට පත් වෙනවා.

එසේ නම් ලංකාවේ නොදියුණුම ප්‍රදේශයක විශාල දියුණුව ඇති කිරීමට අපට හැකිවූවා. කළ යුත්තේ ඒ දියුණුව ඉදිරියට ගෙන යාමයි.
ශ්‍රී ලංකාවේ දියුණුව ලංකාවට පමණක් නොව ඉන්දියන් සාගර කලාපයට වැදගත් බව කිව යුතුයි. මහජන චීනයෙන් ඇරැඹූ “එක් මාවතක් එක් තීරයක්” වැඩසටහන යටතේ මුහුදු මාර්ග අතුරින් චීනයත්-යුරෝපයත් සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වෙනවා.
ඉන්දියන් සාගරය සමග ශ්‍රී ලංකාව මේ වැඩසටහනේ මධ්‍යස්ථානය බවට පත් කරනවා.

එමෙන්ම අපට කොළඹ මුල්‍ය නගරය තිබෙනවා. මුල්‍ය වැඩකටයුතු එහි කර සෙසු කටයුතු මේ ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීම මගේ අරමුණයි.

මුදල් ශක්තිය මුල්‍ය නගරයෙන් ලැබෙනවා. කර්මාන්තකරණය මෙන්ම සේවා අංශයේ කටයුතු මෙහි වෙනවා. මේ කටයුතු නිසා සංචාරක කර්මාන්තය ඉබේම දියුණු වීමට නියමිතයි.

උදාවන දියුණුවත් සමග මෙහි සිටින ජනතාවට ආහාර නිෂ්පාදනය කළ යුතුයි. හම්බන්තොට නොයෙක් වෙළෙඳ ව්‍යාපාර බිහිවේවි. මේ ප්‍රදේශවල ඉඩම් මිල දෙගුණයකින් සිව් ගුණයකින් ඇතැම් විට ඊට වඩා ඉහළින් යයි. ඒ දියුණුව මෙහි ගෙනැවිත් දැන් ආරම්භ කළ යුතුව ඇත්තේ මොනරාගල, හම්බන්තොට, මාතර, ඇඹිලිපිටිය තරුණ-තරුණියන් රැකියා සඳහා පුහුණු කිරීමයි.

“එක මාවතක් - එක් තීරයක්” වැඩසටහන යටතේ වරාය දියුණු වීමට අමතරව එක් වෙළඳ ක්‍රමයක් ඇති වෙනවා. ඒ වෙළඳ ක්‍රමය ඉතා වැදගත් බව කිව යුතුයි. එය අපේ ප්‍රතිපත්තිවලටත් වැදගත් වෙනවා.

තවත් වෙළෙඳ ක්‍රම ඇතිවේවි. ඕනෑම වෙළෙඳ ක්‍රමයකට ඇතුළු වී වැඩ කිරීමේ හැකියාව අපට තිබෙනවා. තරඟකාරී වාණිජ වැඩසටහන් සඳහා අප එක්විය යුතුයි.

මගේ බලාපොරොත්තුව වන්නේ ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍ර ස්ථානය බවට පත් කිරීමයි. දැනට කොළඹ වරාය දියුණු කරගෙන යනවා. හම්බන්තොට වරාය දියුණු කරගෙන යනවා. ඉන් පසුව ත්‍රිකුණාමලය වරාය දියුණු කරනවා.
ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂියැං ලියොං මහතා-

“අද අප දෙරටටම සතුටුදායක දවසක් වනවා. රටවල් දෙක අතර කර්මාන්තකරණය ඉදිරියට ගෙනයාම සඳහා මෙහෙයුම් කමිටුව ඇරැඹීමට කාලය අවශ්‍යයි. කර්මාන්ත කලාපයේ ආයෝජන අවස්ථා ගැනීම සඳහා රටවල් ගණනාවක තානාපතිවරුන් අප සමග සාකච්ඡා කරනවා. නව කාර්යාලය විවෘත කිරීමත් සමග ආයෝජන ගැනීම සඳහා සාකච්ඡා කිරීම මේ කාර්යාලය මගින් ඍජුවම කිරීමට හැකියි.

මෙහි කර්මාන්තකරණය පිළිබඳව අප ජනපති - අගමැති සමග සාකච්ඡා කළා.
චීනය - ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා හැමවිටම ඉදිරිපත් වී සිටිනවා. මෙය රටවල් දෙක අතර මිත්‍රත්වය තහවුරු කෙරෙන තවත් සංකේතයක් බව කිව යුතුයි”

මේ අවස්ථාව සඳහා නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, නීතිය හා සාමය දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, එක්සත් ජනතා නිදහස් සංධානයේ මහ ලේකම් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා, දිලිප් වෙදආරච්චි යන මහත්වරු ප්‍රමුඛ මැති - ඇමැතිවරු රැසක්ද සහභාගි වූහ.