IMG-LOGO

2024 පෙබරවාරි මස 29 වන බ්‍රහස්පතින්දා


ජනතාවගේ මතවාදී බලාපොරොත්තු ඉටුකරගන්න බැරිවුණා කියලා අපි අවංකව පිළිගන්නවා

යහපාලනයේ නිර්මාතෘවරැන් අතර එක්සත් ජාතික පෙරමුණේ පත්කළ මන්ත්‍රී අතුරළියේ රතන හිමියන්ට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. එහෙත් දෙවසරක් ඇවෑමෙන් උන්වහන්සේ කරන ප්‍රකාශ ඉමහත් ආන්දෝලනයට තුඩු දෙමින් තිබේ. මේ ඒ සම්බන්ධයෙන් උන්වහන්සේ සමග කළ සාකච්ඡාවකි.   

 

 


ප්‍රශ්නය- රටට වෙනසක් ගේන්න ‘ගල්ලෙන බිඳලා ලෙන්දොර ඇරපු’ රතන හාමදුරැවන්ට අන්තිමට වෙනසත් නෑ. හෙළ උරැමයත් නෑ නේද?  
පිළිතුර-
මං හිතන්නේ සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව අපි ඇරපු ලෙන්දොර නිසා මම පොඩ්ඩක්වත් කම්පාවට පත් වෙන්නේ නෑ. මේකේ යම් ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. පරස්පර විරෝධී බවක් තිබෙනවා. අපි අවංකවම පිළිගන්නවා ජනතාවගේ මතවාදී බලාපොරොත්තු ඉටු කරන්න බැරි වෙලා තියෙනවා. නමුත් බෞද්ධ භික්ෂුවක් හැටියට මම කල්පනා කරන්නේ මේ නරකම අවස්ථාව ඉතාම හොඳ තත්ත්වයක් නිර්මාණය කිරීමට අවශ්‍ය හොඳම තත්ත්වය කියල.  

 


ප්‍රශ්නය- මේක හොඳම තත්ත්වය කියලා කියන්නේ කොහොමද? කැබිනට් මණ්ඩලයේ විෂයන් බෙදීම ඇමැතිවරැන්ම විහිළුවට ලක් කරනවානේ.  
පිළිතුර-
ඒක මේ සාම්ප්‍රදායික පක්ෂ දෙකට පිටින් හින්දා මේ එකක්වත් නරක දේවල් හැටියට මම දකින්නේ නෑ. මේ දේවල් අලුත් දේවල් නිර්මාණය කරන්න හොඳ අවස්ථාවල් හැටියටයි මම දකින්නේ.   

 


ප්‍රශ්නය- ඔබ වහන්සේ මේවා අලුත් දේවල් හැටියට දැක්කට ජනතාව නම් කියන්නේ මේවා අමුම අමු විහිළු කියලයි?  
පිළිතුර-
නැ. අපි බලන්න ඕනැ ඕනෑම අර්බුදයක් තුළ හොඳම දේ නිර්මාණය කර ගන්න. සමහරවිට මේ පක්ෂ දෙක ඇතුළේ හොඳම නායකත්වයන් බිහිවෙන්න පුළුවන්. හොඳම සමාජ බලවේගයක් හැදෙන්න පුළුවන්. හොඳම ජාතික ආණ්ඩුවක් හැදෙන්න පුළුවන්. එහෙම ඕනෑම දෙයක් හැදෙන්න පුළුවන්. අපි ප්‍රඥාවන්තනම් ඕනෑම නරක තත්ත්වයක් ඕනෑම අවාසියක් අපට වාසියක් බවට පෙරළන්න පුළුවන්. ඒ නිසයි මම සාපේක්ෂව කියන්නේ, ගිය ආණ්ඩුව ගත්තොත් බොහොම ශක්තිමත් ආණ්ඩුවක්. හැබැයි ඒක ඉවර වෙන්න තිබුණේ විශාල සමාජ කැරැල්ලකින් වෙන්න තිබුණා. දැන් සමාජය විවෘත වෙලා තියෙනවා. ඒ නිසා මම මුලින් කිව්වා වගේ අවාසිසහගත කොන්දේසි තියෙනවා. හැබැයි අපට පුළුවන් වෙන්න ඕනෑ වාසිදායක තත්ත්වයට පෙරළන්න.  

 


ප්‍රශ්නය- දැන් මේ ආණ්ඩුව ඇවිත් අවුරැදු දෙක හමාරක් විතර ගතවෙලා. ඔය කියන දේවල් ඇයි තාමත් කරගන්න බැරිවුණේ?  
පිළිතුර-
මගේ පැත්තෙන් කල්පනා කරලා බැලුවොත් අනාගතයේ අපි කරන්න යන දේට මතවාදී හයියක් හදා ගැනීම තමයි ඉතාම වැදගත්. රට කොතැනටද ගෙන යා යුත්තේ? ඊළඟට ඊට අවශ්‍ය මතයක් හදන්න ඕනෑ. මේ අර්බුදය තුළ තමයි මනිස්සු මතවාද හොයන්නේ. මම දකින්නේ දේශපාලනය තුළ මතවාදය කියන එක ඉතා වැදගත්.   


සරළ උදාහරණයක් කිව්වොත් යුද්ධය තිබුණ කාලයේ ත්‍රස්තවාදය සාමයෙන් විසඳගන්න ඕනැ කියන එක තමයි රාජ්‍ය ප්‍රතිපත්තිය වෙලා තිබුණේ. අපට හරිම අමාරු වුණා ත්‍රස්තවාදය යුද්ධයෙන් පරාජය කළ යුතුයි කියන මතය තහවුරැ කරගන්න. නමුත් ඒ මතවාදය අපි ගොඩනැඟුවා. ඒ මතවාදය තහවුරු කළා. ඒකට අදාළව නායකයෝ බිහිවුණා. ඒ නිසා අපි දකින්නේ මේ වෙලාවෙත් ආර්ථික, දේශපාලන හා සමාජයීය සංවර්ධනය සඳහා මතයක් අපි හදන්න ඕනෑ. ඒක අනාගතය ජයග්‍රහණය කිරීමට ඉතා වැදගත්. ඒක මේ ආණ්ඩුව යටතේ අපි කරනවා.   

 


ප්‍රශ්නය- මතවාද පමණක් වැඩක් වෙනවද? දැන් යහපාලනය කියන එකත් එහෙම ගොඩනගපු මතවාදයක්?  
පිළිතුර-
ඔබ හරි. මතවාද පමණක් ගොඩනගලා හරියන්නේ නෑ තමයි. අපි හිතන දේ ආණ්ඩුවත් එක්ක ප්‍රායෝගිකව කරන්න මහන්සි ගන්න ඕනෑ. මේ ආණ්ඩුවේ කොයි තරම් අර්බුද තිබුණත් අපට ඉඩක් තියෙනවා යම්කිසි දෙයක් කරන්න. උදාහරණයක් ගත්තොත් වස විසෙන් තොර ගොවිතැන ගන්න.  


මං හිතන්නේ නෑ ගිය ආණ්ඩුව තුළ මට මේ ඉඩ ගන්න පුළුවන් කියලා. මට ඒ ඉඩ ගන්න බැරි වුණා සත්තවශයෙන්ම. මේ ආණ්ඩුව තුළ මට ඒකට ඉඩ ලැබිලා තියෙනවා. නමුත් බැලූ බැල්මට ඒකේ කිසිම වාසිදායක තත්ත්වයක් නෑ වගෙයි. කිසිම ප්‍රචාරයක් නෑ වගෙයි. නමුත් අපි සාම්පල් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළා. ත්‍රිකුණාමලයෙන් අපි ඒක පටන් ගත්තා. හමුදාවේ ශක්තියත් ඒකට යොදා ගත්තා. සම්පූර්ණයෙන්ම වැව් ටික හදන්න පටන් ගත්තා.   


පහුගිය කිසිම ආණ්ඩුවක් හැදුවට වඩා මේ ආණ්ඩුව යටතේ අපි වැව් හදලා තියෙනවා. වෙන කිසිම ආණ්ඩුවකට වඩා අපි මේ ආණ්ඩුව යටතේ වස විසෙන් තොර ගොවිතැන ඉස්සරහට අරගෙන ඇවිත් තියෙනවා. හැබැයි ඒවයේ ප්‍රතිඵල ලැබෙන්නේ අනාගතයේදී. ඕකට ඔයිට වැඩිය පිම්මක් අපට ගන්න පුළුවන්. හැබැයි මේ ආණ්ඩුව යටතේ මේවට අවශ්‍ය ඉඩ දුන්නට අවශ්‍ය ප්‍රචාරය ලැබෙන්නේ නෑ.  

 


ප්‍රශ්නය- ඔබ වහන්සේ කිව්වා යුද මතය හදලා යුද්ධය ජය ගන්න පුළුවන් නායකයන් බිහි කළා කියලා. ඒ නායකයන්ට යුද ජයග්‍රහණය නිසාම නොයෙක් අවලාදවලට, අභියෝගවලට මුහුණ දෙන්න වෙනකොට ඔබ වහන්සේ ලෙන්දොර ඇරලා එළියට වඩිනවා  
පිළිතුර-
ඉතින් අපි ඒ නායකයන්ගෙන් කරගන්න ඕනැ වැඩේ කරගත්තනේ. එතුමාගෙන් අපි බලාපොරොත්තු වෙන්න හොඳ නෑ ආර්ථික සංවර්ධනයක්. එතුමගෙන් අපි බලාපොරොත්තු වුණේ යුද්ධය අවසාන කර ගැනීමයි. පළමු වැනි අදියර සම්පූර්ණයෙන්ම සාර්ථකයි. අපි එතැනදි ජයග්‍රහණය කළා. අවුරුදු ගණනාවක් මේ රටේ ප්‍රශ්නයක් වෙලා තිබිච්ච මිනිස්සු මරණ බයෙන් ජීවත් වෙච්ච යුගය වෙනස් කළා. එතැනදි අපේ මතවාදය ජයග්‍රහණය කළා. ඒ නිසාම අද අපි ඉන්නේ පරාජිත තැනක නොවෙයි. ජයග්‍රාහී තැනක. අපේ මතය දිනලා තියෙන්නේ. පරාජිත මිනිස්සු එක එක දේවල් කියන්න හදනවා. එහෙම කිව්වට වැඩක් වෙන්නේ නෑ.  

 


ප්‍රශ්නය- ඔබ වහන්සේ අද නියෝජනය කරන කඳවුරේ නායකයන් කියන්නේ මේ රට ජාත්‍යන්තරය තුළ හුදකලා වුණේ මහින්ද රාජපක්ෂ නිසා කියලයි. යුද අපරාධ චෝදනාවලින් රට ගලවා ගත්තේ ඔවුන් බවයි.  
පිළිතුර-
මම කියන්නේ නෑ යුද්ධය ජයග්‍රහණය කිරීම ජාත්‍යන්තරයෙන් දඬුවම් ලබන්න තරම් වරදක් කියල. අපි ඒකට ඉඩ දෙන්නෙත් නෑ. එහෙම දඬුවම් දෙන්නත් බෑ. මේ ආණ්ඩුව තුළ හිටියත් අපේ ඒ මතය වෙනස්වෙලා නෑ. එහෙම ජාත්‍යන්තර අධිකරණ පිහිටුවන්න අපි ඉඩ දෙන්නෙත් නෑ. ඒක මම ජනාධිපතිතුමාටත් කියලා තියෙනවා. අගමැතිතුමාටත් කියලා තියෙනවා.   

 


ප්‍රශ්නය- අද ලොකුම කතාබහ කැබිනට් මණ්ඩලයේ විෂයන් බෙදීමයි. යහපාලනය වෙනුවෙන් පෙනී ඉන්න ඔබ වහන්සේත් ඉන්න ආණ්ඩුවක?  
පිළිතුර-
පොඩ්ඩක් ඉන්න. ඇත්ත වශයෙන්ම අපි බලාපොරොත්තු වුණේ මේ ආණ්ඩුව යටතේ කැබිනට් එක තිහකට සීමා කරන්න. නමුත් පක්ෂ දෙක එකතු කරන්න වුණා. ඒක තුළ ස්වාභාවිකව කැබිනට් එක පළල් වුණා. එහෙම වුණත් ඒකට විද්‍යාත්මක ක්‍රමයක් ගෙන එන්න තිබුණා. අපි ඒක කළේ නෑ. ඒක ලොකු වරදක් හැටියටයි අපි දකින්නේ. ඒක අනාගතයට අපේ නායකයෝ විසින් විශේෂයෙන්ම අග්‍රාමාත්‍යතුමා වගේ කෘතහස්ත, පරිණත දේශපාලන නායකයෙක් විසින් මීට වැඩිය පුළුල් ලෙස කල්පනා කළ යුතුව තිබුණා.   


මම හිතන හැටියට අපට ආදර්ශයක් දෙන්න තිබුණා කැබිනට් එක හදන විදියෙන්. ඉතින් ඒ ගැන කිසිම වග විභාගයක්, සාකච්ඡාවක් මුකුත් නෑ. ඔහේ හදාගෙන ආවා. බෙදලා දැම්මා. මම ඒ වෙලාවෙම ඒක හදපු වෙලාවෙම මගේ වි​ෙරා්ධය මම ප්‍රකාශ කළා.

 

  
ප්‍රශ්නය- කාටද විරෝධය පළ කළේ?  
පිළිතුර-
අගමැතිතුමාටත් කිව්වා. ජනාධිපතිතුමාටත් කිව්වා. ඕක හදපු වෙලාවෙම මම කිව්වා.  

 


ප්‍රශ්නය- ඔබ වහන්සේ කොහොමද විරෝධය පළ කළේ?   
පිළිතුර-
මම බොහොම පැහැදිලිව කිව්වා අපි මේක නොවෙයි බලාපොරොත්තු වුණේ කියලා.   


ප්‍රශ්නය- විරෝධය පළ කළාට වැඩක් නෑනේ. වැඩේ කෙරිලනේ.  
පිළිතුර-
ඇත්තටම අපිට කරන්න පුළුවන් දේ ඒක විතරනේ. මම ජනාධිපතිත් නොවෙයි. මම අගමැතිත් නොවෙයි. මට පුළුවන් මේ ර​ෙට් ජනතාව නියෝජනය කරන මහජන නියෝජිතයෙක් හැටියටත් භික්ෂුන් වහන්සේ නමක් හැටියටත් යම්කිසි ස්ථාවරත්වයක් දරන්නයි. ඒ ස්ථාවරය ආණ්ඩුව නියෝජනය කරන්නේ නැතිවුණාට ආණ්ඩුවේ ආධිපත්‍යය බිඳ වැටෙනවා. අද ඒක වෙලා තියෙනවා. මේ ආණ්ඩුවේ අාධිපත්‍යය බිඳ වැටෙන්නේ කිසිම තැනක අපි පෙන්වන්නේ නෑ. පරිනතව දිගු කාලීනව රට ගැන හිතලා තීන්දු තීරණ ගන්නවා කියලා. එහෙම තීරණ අරගෙන තිබුණත් ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙලා නෑ. මිනිසුන්ට පේන්නේ නෑ. පේන්න තිබෙන්නේ මේක විකාරයක් හැටියටයි.  

 


ප්‍රශ්නය- මේ පරිසරය තුළ ඔබ වහන්සේගේ භූමිකාව?  
පිළිතුර-
දැන් ඕවා කතා කරලා වැඩක් නෑ.  

 


ප්‍රශ්නය- එහෙමනම්?  
පිළිතුර-
දැන් අපි බලන්න ඕනෑ මේ ආණ්ඩුව තුළ මම උනන්දුවෙන කරුණු තුනක් තියෙනවා. ඒකට බර දාලා ඒක සාර්ථක කරගන්න. ඒකට අපිට තව අවුරුදු දෙක හමාරක් විතර තියෙනවා. ඒ කාලය තුළ අපි සාර්ථක වෙන්නත් පුළුවන්. කොහොම වුණත් අපි අද කරන දේ ඉදිරියට ආයෝජනයක් වෙන්නත් පුළුවන්.  

 


ප්‍රශ්නය- මොනවද ඔබ වහන්සේ බර දාලා කරන්න හිතාගෙන ඉන්න වැඩ?  
පිළිතුර-
මම හිතනවා අපි මතවාදී වශයෙන් රට ස්ථානගත කරන්න ඕන. තාම කිසි කෙනෙක් ඒකට අත තියලා නෑ. ඒක තමයි තිරසාර සංවර්ධනය තමයි අපේ මඟ කියන එක. අපි එතැනට එන්න ඕනෑ.  

 


ප්‍රශ්නය- ගොඩාක් සංකල්පනම් පහුගිය කාලයේ ආවා. ඕකත් ඒ වගේම එකක්?  
පිළිතුර-
මෙහෙමයි. තිරසර සංවර්ධනය තමයි රටක් හැටියට අපි ගත යුත්තේ. අග්‍රාමාත්‍යතුමත් වරින්වර ඕක කියනවා. ජනාධිපතිතුමත් කියනවා. එහෙම කිව්වට අපි ඒක තුළ හරියට කකුල් දෙක තියාගෙන නෑ. හිටිගමන් යෝධ ‘හයිවේ’ සඳහා සැලසුම් හදනවා. මහා නගර පිළිබඳ මායාවල් හදනවා.  

 


ප්‍රශ්නය- මහා නගර පිළිබඳ මායාවල්?  
පිළිතුර-
ඔව්. එහෙම මායාවල් හදනවා. ඊළඟට වස විසෙන් තොර ගොවිතැන් කිව්වම අපි ඉඩම් දෙනවා කොම්පැණිවලට. උක් වගාව වගේ ඒක බෝග වගාවන්ට. ඒවට ප්‍රමුඛතාව දෙනවා. හැබැයි ඒ වගේම අපිත් අපේ මට්ටමින් ජනාධිපතිතුමා ඒකට ඉඩ දීලා තියෙනවා. අවංකව කියන්න ඕනෑ ඒක. අපිට ඉඩදීලා තියෙනවා අපේ වැඩ කරගෙන යන්න.  

 


ප්‍රශ්නය- මොන වගේ වැඩවලටද?  
පිළිතුර-
පළමු එක තමයි තිරසර සංවර්ධනය කියන ප්‍රතිපත්තිය තහවුරු කිරීම. මම හිතනවා ඒක සාරාංශගත කළොත් කරුණු තුනකට කඩන්න පුළුවන්. පළමුවැනි එක තමයි වස විසෙන් තොර ගොවිතැන. දෙවැනි එක පුනර්ජනනීය බලශක්තිය. තුන්වැනි එක තමයි ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම.  


මෙන්න මේ කාරණා තුන අපි තහවුරු කර ගැනීම ඉතා වැදගත්. වස විසෙන් තොර ගොවිතැන ගත්තොත් ඒක මේ රටේ කරන විප්ලවයක්. අපි ඍජුව පොහොර දෙන එක නවත්ත ගත්තා. මේ සංවිධානාත්මකව ගොවියන් පුහුණු කරන්න මුදල් දුන්නා මුදල් අමාත්‍යංශයෙන්. ඒ සඳහා නියාමන ව්‍යාපෘති කරලා සාර්ථක වුණා. වැව් ටික හදන්න පටන් ගත්තා. වෙන ආණ්ඩුවක් නම් අපි මේ කරපු වැඩේ හොඳට ප්‍රචාරය කරනවනේ. මේ ආණ්ඩුව එහෙම කර ගන්නෙත් නෑ.   


හොඳ වැඩ කරනවා. ඒත් ප්‍රචාරය කරන්නේ නෑ. අපි උස්සලා දෙනවා. ඒක අතට ගන්නේ නෑ. ඒක තමයි තියෙන ලොකුම අඩුව. වස විසෙන් තොර ගොවිතැනෙහි ට්‍රයල් එක සාර්ථක වුණා නම් ඒක ආණ්ඩුවට තිබුණා උස්සලා පෙන්වන්න ආණ්ඩුවට. ආණ්ඩුව ඒක කළේ නෑ. වැව් ටික හදනවා. ප්‍රචාරය ගන්නේ නෑ.   

 


ප්‍රශ්නය- වස විසෙන් තොර ගොවිතැන සාර්ථකද කියන ප්‍රශ්නය සමහරැ මතු කරනවා?  
පිළිතුර-
ඒක මේ කෑල්ලක දෙකක කරලා සාර්ථක කරගන්න පුළුවන් දෙයක් නොවෙයි. අපේ රාජ්‍ය නායකයෝ, පාර්ලිමේන්තුව, ඇමැතිවරු මේක සමස්තයක් විදියට අරගෙන සියලු බුද්ධිමතුන් ඒකාබද්ධ වෙලා ජාතික මණ්ඩලයකින් සැලසුම් කරන්න ඕනැ දෙයක්. ඒක කරගන්න බැරි හින්දා අපි වටින් පිටින් ගිහිල්ලා වැඩ කරනවා.  


ඊළඟට පුනර්ජනනීය බලශක්තිය. ඒක කතා කරන ගමන් අපි ජපානයෙන් ගල් අඟුරු ගෙන්වන්න හදනවා අපේම ඇමැතිවරු. පහුගිය සතියෙ යන්තම් ඒක ප්‍රතික්ෂේප වුණා. මෙන්න මේ වගේ දේවල් වෙනවා.   


ලෝකයේ ගල් අඟුරු බලාගාර හැමතැනම වැහිලා යනවා. ගල් අඟුරුවල හොඳ ගල් අඟුරු කියලා ජාතියක් නෑ, ඉතින් සමහර නිලධාරින් ඇමැතිවරු ගිහිල්ලා ජනාධිපතිතුමාව ගොනාට අන්දන්න හදනවා. හොඳ ගල් අඟුරු කියලා ජාතියක් තියෙනවා කියලා.  

 


ප්‍රශ්නය- ජනාධිපතිතුමාව ගොනාට අන්දන්න හදනවා?  
පිළිතුර-
ඔව්. හොඳ ගල් අඟු කියලා ජාතියක් ලෝකයේ තියෙනවා කියලා දේශන පවත්වනවා. ගල් අඟුරු බලාගාරයක් හැදුවොත් ඒකේ ප්‍රතිඵල ගන්න අවුරුදු දෙකක්වත් යනවා. සෝලා ගෙනත් හයි කළොත් ඒ වෙලාවෙම විදුලිය ගන්න පුළුවන්. ඊළඟට මේ කඳු නායයාම්, ගංවතුර මේ සියල්ල ගත්තොත් පස් කඩාගෙන ගිහින් මිනිස්සු ඒවට යට වෙනවා. ඒ තැන්වලට මම ගියා. මොනවද වෙලා තියෙන්නේ.  


මෙහෙම බෑවුම තියෙනවා, කන්ද කපලා තේ වත්තක් දානවා. කන්ද කපලා යට ගෙවල් හදනවා. ඉතින් ඒ මිනිසුන්ගෙ ඔළුවට කන්ද කඩා වැටෙනවා තමයි. තේ වගාව තව දුරටත් කඳුකරයට ව්‍යාප්ත කරන්න හොඳ නෑ. බෑවුමේ විතරයි ඒක කරන්න ඕනෑ. කඳුකරයේ තේ වගාව සම්පූර්ණයෙන්ම නවත්වන්න ඕනෑ. වවලා අසාර්ථක වෙලා ආදායමක් නැති තේ වතු තියෙනවා. ඒවා වනවියන් කරන්න ඕනෑ. ඵලදායි වනවියන් කරන්න ඕනෑ. ඒ කියන්නේ සාදික්කා, කරාබු නැටි, කොකෝවා, අලිගැට පේර වවන්න ඕනෑ. මේවායින් කඳු හෝදගෙන එන්නේ නැ. එහෙම තැන්වල ජනාවාස හදන්නත් පුළුවන්. ඕවට සැළසුම් හදන්න ඕනැ  


අනතුරුදායක දිස්ත්‍රික්ක පහයි තියෙන්නේ. ඒ දිස්ත්‍රික්කවල ජනපදවීම වළක්වලා වෙන තැනකට ඒ ජනපද ගෙනියන්න ඕනෑ. එහෙම කරන්නනම් අපි යටිතල පහසුකම් හදන්න ඕනැ. ඒ වෙනුවෙන් වැව් ටික හදන්න ඕනැ. මේ රට දියුණු කිරීමේ අංක එක මම දන්නෑ ඇයි මේක කරන්නේ නැත්තේ ඇයි කියලා. අපේ රට හදන්න අපේ මුතුන් මිත්තන්ගේ අත්දැකීම් ඕනෑවටත් වඩා වැඩියි.   


තිරසාර සංවර්ධනය යටතේ ලෝකෙම හොයාගෙන තියෙන්නෙත් ඒකම විතරයි. ඒ තමයි වැටෙන වතුර ටික ගබඩා කිරීම. කටු පඳුරු සහිත අනුරාධපුරය අද මහා ගස් තියෙන තැනක් වුණේ වැව් නිසා. පොළොන්නරුවෙත් එහෙමයි. අම්පාරෙත් එහෙමයි. වැව් ටික අයින් කරලා බලන්න මොකද වෙන්නේ කියලා. වතුර ගබඩා කිරීමෙන් තමයි පස් වෙනස් වුණේ. ඒක තමයි අද කරන්න ඕනැ. මන්නාරම ගත්තොත් මන්නාරම ඉඳලා අනුරාධපුරයට ගත්තොත් විශාල වන වියනක් තියෙනවා. මේවා අපි ආරක්ෂා කරගන්නවද? නැද්ද? ප්‍රශ්නය එතැනයි තියෙන්නේ.  

 


ප්‍රශ්නය- ඇමැතිවරැන්ම තමයි ඒවට වැඩේ දෙන්නේ?  
පිළිතුර-
විල්පත්තුව ගත්තොත් ඒ ඉඩම් ටික දුන්නෙ නම් කලින් ආණ්ඩුව. මේ ආණ්ඩුවට දොස් කියලා හරියන්නේ නෑ ඒකට. බැසිල් රාජපක්ෂ මහත්තයා තමයි ඕවා දුන්නේ රිෂාඩ් බදුර්දීන් ආණ්ඩුවේ තියාගන්න. ඉඩම් ටික තියාගෙන එයා මේ පැත්තට පැන්නා. ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කල්පනා කළේ හකීම්ට විරැද්ධව රිෂාද්ව මෙහෙයවන්න. හකීම් විශ්වාස නෑ. මේ මිනිහා විශ්වාසයි කියලා හිතුවා. නමුත් හකීම්ටත් කලින් මේ මිනිහා මේ පැත්තට ආවා. පහුගිය ආණ්ඩුවෙන් හදපු මිනිහෙක් රිෂාද් බදුර්දීන් කියන්නේ. කලින් හිටපු දේශපාලනඥයෙක් නොවෙයි මෙයා. ගිය ආණ්ඩුවෙන් හැදුවේ. ඔක්කොම දීලා හැදුවේ.  


අන්තිමට ගැසට් එකකින් ඒ ඉඩම් ටික දුන්නා. සමහර කැලෑ ඉඩම් අපිට ගන්න වෙනවා. වන සංරක්ෂණ, වන සංරක්ෂණ විදියටම තියෙන්න ඕනෑ කියලා මම කියන්නේ නෑ. හැබැයි අපි අක්කර දාහ දෙදාහ නොවෙයි ගන්න ඕන. අපි ඉස්සෙල්ලා ජාතික සැලැස්ම හදන්න ඕනැ වනය ​ෙකාච්චරක් ලංකාවේ තිබිය යුතුද කියලා. 


අපි මෙතැන වනවියන අඩු කරනවා නම් තව තැනක වැඩ කරන්න ඕනැ. වැඩි කළ යුත්තේ කඳුකරයේ. ජනපද තැන්නට ගේන්න ඕනෑ. ඒවයි අපේ ප්‍රතිපත්තිය විය යුත්තේ.   


ප්‍රශ්නය- ආණ්ඩුවේ ඇමැතිවරැන් කියනවා. “මේක එළ හරකයි. මී හරකයි” ආණ්ඩුවක් කියලා. එහෙම ආණ්ඩුවක ඉඳගෙන ඔය වගේ දේවල් කරන්න පුළුවන්ද?  
පිළිතුර-
අපි මේකට මතය හදලා මේක කරන්න උත්සාහ කරන්න ඕනැ. මම මේ පත්තරය හරහා මෙහෙම කතා කරලා උත්සාහ කරන්නේ මේකට මතයක් හදාගන්න එක. මේ මතයට ජනමතයක් හැදුණම හරි ලේසියි පරිවර්තනයකට යන්න. අපි මේ ආණුඩුව හැදුවේ නිකම් ප්‍රජාතන්ත්‍රවාදයට අයත් සුළු කාරණා පදනම් කරගෙනනේ. අපි නමුත් ප්‍රතිපත්තියක් ලිව්වා. නමුත් ඒවා සමාජයට අවධාරණය වුණේ නෑ. මේවා ඔක්කොම මෛත්‍රී පාලනයේ තියෙනවා. ඒ පොත ගත්තොත් මේවා ඔක්කොම තියෙනවා.  

 


ප්‍රශ්නය- මෙහෙම ගිහින් ඊළඟ මැතිවරණයකදී ඔබ වහන්සේට නගින්න වෙන්නේ මොන වේදිකාවටද?  
පිළිතුර
- මට නම් සාදා නිමකළ කිසිම සැලසුමක් නෑ. මට කවදාවත් එහෙම සැලසුම් තිබුණෙත් නැ. මට එහෙම සිහිනත් නෑ. ජනාධිපති වෙන්න වගේ සිහින මට නෑ. මට රට ගැන අදහසක් තියෙනවා. ඒ අදහසට අනුව වැඩ කරනවා. ජනතා බලවේග පෙළ ගැහෙන විදියට මම ඕනෑම තීරණයක් ගන්නවා.  

 


ප්‍රශ්නය- ඔබ වහන්සේ කිව්වා “ජනාධිපතිවීමේ සිහින නෑ” කියලා. ඒ කියන්නේ එහෙම සිහින තියෙන අයත් ඉන්නවද?  
පිළිතුර-
ඔව් ඉතින් හැමෝටම සිහින තියෙනවනේ.  

 


ප්‍රශ්නය- මගේ මුල්ම ප්‍රශ්නය තුළ ප්‍රශ්න දෙකක් තිබුණා. ඔබ වහන්සේ උත්තර දුන්නේ එක ප්‍රශ්නයකටයි. වෙනසකට ආපු ඔබ වහන්සේට අන්තිමට ජාතික හෙළ උරැමයත් නැති වුණා?  
පිළිතුර-
මට පක්ෂයක් කවදාවත් තිබුණේ නෑ.  

 


ප්‍රශ්නය- නමුත් අතීතය ගත්තොත් ඔබ වහන්සේ හා ඇමැති චම්පික කියන්නේ දේශපාලනික ගජ මිතුරන්. හෙළ උරැමයෙ හඬ ප්‍රකාශක වුණෙත් ඔබ වහන්සේයි?  
පිළිතුර-
හෙළ උරුමය කියන්නේ භික්ෂුන් වහන්සේලාගේ ව්‍යාපාරයක්නේ. ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ. ඒක මම පිළිගන්නවා. මම ඒකෙ නායකයෙක් වුණා. නමුත් එදා ඉඳලම මම හිතපු ක්‍රමයක් තිබුණා. ඒක රට දන්නේ නෑ. රට හිතුවේ මමයි, චම්පිකයි තුන්වැනි පක්ෂයක් ලෙසට බලය අල්ලන්න යනවා කියලනේ. නමුත් අපි හැදුවේ ජාතික බලවේගයක්. ඒක දේශපාලනික වූයේ ඉ​ෙබ්. අපි දැන් හදන්න යන්නේත් ජාතික ව්‍යාපාරයක්.  


ප්‍රශ්නය- මට ඇත්තම කියන්න ඇයි ඇමැති චම්පිකගෙන් බිඳෙන්නේ?  
පිළිතුර-
මම හිතන්නේ බිඳෙන්න දෙයකුත් නෑ. එකතු වෙන්න දෙයකුත් නෑ. ඒ ඇති නේද?  

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්  



අදහස් (0)

ජනතාවගේ මතවාදී බලාපොරොත්තු ඉටුකරගන්න බැරිවුණා කියලා අපි අවංකව පිළිගන්නවා

ඔබේ අදහස් එවන්න

දේශපාලන

මහ බැංකුව වැටුප් වැඩිකර නොගත්තා නම් හොඳයි
2024 පෙබරවාරි මස 26 32 0

මහ බැංකු නිලධාරීන් සිය වැටුප සියයට 70 කින් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේත් සමාජයෙත් දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. මේ ඒ ගැනත් නව දේශපාලන


ජනාධිපති වෙන්න මට තියෙන නුසුදුසුකම මොකද්ද ?
2024 පෙබරවාරි මස 19 59 0

සාමාන්‍යයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයකුට කැපිලි කෙටිලි දමන්නේ ආණ්ඩු පක්ෂය වේ. එහෙත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ම


අපේ සටන අවසන් නෑ
2024 පෙබරවාරි මස 12 65 0

සිවිල් සංවිධාන සතුව විශාල බලයක් ගොඩ නැඟී තිබේ. එකී සිවිල් සංවිධාන නියෝජිතයෝ ‘ජාතික සිවිල් සංවිධාන පෙරමුණ’ නමින් නව පෙරමුණක් ඉකුත්දා 2 පිහිටුවා ගත්හ. එ


අනුර සහෝදරයාට ඉන්දියාවේ යන්න බැරිද ?
2024 පෙබරවාරි මස 12 69 0

ජනතා විමුක්ති ⁣පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරය ගැන සමාජයේ කතාබහක් ඇතිවී තිබෙන මොහොතක ඒ පිළිබඳව මේ අදහස් දැක්වීම ජ.වි.පෙ. හිටපු පා


රනිල් වික්‍රමසිංහ එක්ක කරන සටන අපි හරියට කරන්නම්
2024 පෙබරවාරි මස 06 54 0

රටේ අලුත් දේශපාලන තත්ත්වය හා ඉදිරි ක්‍රියා මාර්ග විමසමින් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සමග කළ සාකච


ගණිකා වෘර්තිය නීතිගත කිරීම අපේ ප්‍රතිපත්තිය නොවෙයි
2024 ජනවාරි මස 27 124 0

ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු යැයි ජාතික ජන බලවේගයෙන් හඬක් නැඟුණි. මේ ඒ ගැනත් රටේ දේශපාලන තත්ත්වය පිළිබඳවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආ


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 407 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 346 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 335 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site