(හර්ෂණ තුෂාර සිල්වා)

(ඡායාරූප - ශාන්ත රත්නායක)

අපනයන කර්මාන්තයේ කඩා වැටීමට පැවැති සෑම ආණ්ඩුවක්ම වගකිව යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් දා (8) කොළඹදී පැවැසීය.    

ශ්‍රී ලංකාවේ අපනයන සම්බන්ධයෙන් ලොව රටවලට ඇත්තේ අවම දැනුමක් බවත් අපි අපගේ වගකීම් ඉටු කර තිබෙන්නේ ද යන්න අපගෙන්ම විමසා බැලිය යුතු බවත් ජනාධිපතිවරයා එහිදි කීය.

රටේ ජාතික ආර්ථිකය නගා සිටුවීමේදී අපනයන කර්මාන්තය ඉතා වැදගත් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අපනයන කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් වත්මන් ආණ්ඩුව ජාතික ආර්ථික ප්‍රතිපත්ති සැකසීමේදී ප්‍රමුඛත්වයක් දී කටයුතු කරන බව ද කීය.   

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට වසර 150ක් සැපිරීම නිමිත්තෙන් කොළඹ නෙළුම් පොකුණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ජාතික තේ සම්මාන උළලේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

රැස්ව සිටි පිරිස ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.

“තේ කර්මාන්තයේ නියැළී සිටින සියලුදෙනා ඇගයීමට ලක්වන මෙම උත්සව සභාව ඇමතීමට ලැබීම මට මහත් සතුටක්. අපට වසර 150කට වැඩි ඉතිහාසයක් සහිත තේ කර්මාන්තයක් තිබෙනවා. වැවිලි කර්මාන්තය වරෙක සුබවාදී ලෙසත් විටෙක අසුබවාදී ලෙසත් අපට බලපෑවා. දීර්ඝ ඉතිහාසයක් සහිත අපේ වැවිලි කර්මාන්තයේ දී අප මුහුණ දුන් ගැටලු, අභියෝගවලට අප මුහුණ දුන් ආකාරය පිළිබඳ මතක සටහන් ඔබ සතුවත් මා සතුවත් තිබෙනවා.

වැවිලි ක්ෂේත්‍රය තුළ ඇතිවන පරිවර්තන, වෙනස්කම් වගේම පර්යේෂණ, නව සොයා ගැනීම් සහ ඇගයීම් ඉතා අවශ්‍ය දෙයක්. එය කෘෂි ආර්ථිකය ප්‍රවර්ධනයට ඒ සියල්ල ඉතා වැදගත් සහ අත්‍යාවශ්‍ය වෙනවා. වැවිලි ක්ෂේත්‍රයේ පමණක් නොව, වෙනත් ව්‍යාපාරික අංශ, අධ්‍යාපන අංශ පමණක් නොව අද මුළු මහත් මානව සමාජය තුළ පුළුල් තරගකාරීත්වයක් තිබෙනවා. මෙම තරගකාරීත්වය තුළ තමාගේ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යෑමේ අභියෝගයට අපි සැවොම මුහුණ දී තිබෙනවා.

යම් ක්ෂේත්‍රයකින් ඉදිරියට යෑමේදී ප්‍රමිතිය, ගුණාත්මකභාවය, ඊට ලැබෙන සමාජ පිළිගැනීම, සමාජ ආකර්ෂණය, ඒ වගේම විවිධ නිෂ්පාදනවලට සමාජයෙන් ලැබෙන ගෞරවය තුළ ක්ෂේත්‍රයට ඉදිරියට යෑම අප දකිනවා.

විශේෂයෙන් තේ කර්මාන්තය සම්බන්ධයෙන් බැලීමේදී අද වනවිට තේවලට හොඳ මිලක් ලැබී තිබෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා මා සමඟ කියා සිටියා. එහෙත් මීට වසරකට පෙර අපේ තේවලට නිසි මිලක් නොමැතිකම නිසා ඔබ පත්වුණු දුෂ්කරතාවත්, රජයක් විදියට අපි මුහුණ දුන් අභියෝග, රටේ ජාතික ආර්ථිකයට ඇති වූ පුළුල් බලපෑම් සහ එහි දුෂ්කරතා අපට මතකයි. අපි අසීරු තත්ත්වයකට පත් වුණා.

ජාත්‍යන්තර වෙළෙඳපොළේ සිදුවන වෙනස්කම් නිසා අපේ අපනයන කර්මාන්තයේ ඇතිවන වර්ධන සහ පසුබෑම් ගැන ඔබ කවුරුත් දන්නවා. අපේ අපනයන කර්මාන්තය ජාතික ආර්ථිකයෙන් ඉතා සීමිත ප්‍රමාණයක් බව ඔබ දන්නවා. ඒ නිසා අපි රජයක් විදියට ජාතික ආර්ථිකය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිවලදී අපනයන කර්මාන්තයට ප්‍රමුඛත්වය දෙමින් අවශ්‍ය සම්පත් දෙමින් සෑම සහයෝගයක්ම ලබා දීමට අපි බැඳී සිටිනවා.

වාර්ෂික අයවැයවලින් වැවිලි කර්මාන්තයේ දියුණුවට අපි යෝජනා රැසක් ඉදිරිපත් කළා. එම යෝජනා දැනටමත් ක්‍රියාත්මක වී තිබෙනවා. ඒ නිසා අද තේ කර්මාන්තය සුබදායක තත්ත්වයකට පත්ව තිබෙනවා. ඒ නිසා යහපත් තැනක තිබෙන තේ කර්මාන්තයේ ඉදිරි සුබසිද්ධිය සඳහා ගත හැකි සෑම පියවරක්ම අපි ඉදිරියේදී ගන්නවා.

අපේ තේ කර්මාන්තයේ කඩා වැටීමට හේතු රැසක් බලපෑවා. ඒ හේතු මොනවාදැයි අපි දන්නවා. අපනයන තේවල මිල පහත වැටීම, තේවල ගුණාත්මකභාවය පහළ වැටීම, අපනයනයට සුදුසු තේ සකස් කිරීම් නිසි පරිදි සිදු නොවීම එම කරුණු බව කිව යුතුයි. ඒ වගේම ඇතැම් ජාවාරම්කරුවන්ගේ කටයුතු නිසා තේ කර්මාන්තය, දේශීය වැවිලි කර්මාන්තයට ජාතික ආර්ථිකයට අහිතකර ලෙස බලපෑවා.

ඒ වගේම ප්‍රතිඅපනයනය අපට කොතරම් සුදුසු ද යන්න ගැන විමසා බැලිය යුතුයි. තේ ප්‍රතිඅපනයනයේදී මෙන්ම අනෙක් නිෂ්පාදන ප්‍රතිඅපනයනයේදී විවිධ අක්‍රමිකතා සිදු වෙනවා. ඒ නිසා එය කොතරම් සුදුසුද යන්න සොයා බැලිය යුතුයි. ප්‍රතිඅපනයනයේදී ගුණාත්මකභාවය අඩු වෙන බව ඔබ සැවොම දන්නවා.    

තේ අපනයනය, තේ කර්මාන්තය කඩා වැටීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතුයි. ඒ වගේම එම අර්බුදවලට කෙටිකාලීනව සහ දීර්ඝ කාලීනව විසඳුම් සෙවිය යුතුයි.

තේ සඳහා තිබෙන තරගකාරීත්වය සලකා බැලීමේදී තේ නිෂ්පාදනය කරන අනෙකුත් රටවල් හා සැසඳීමේදී අපේ තේවල ගුණාත්මකභාවය පහත වැටුණා. ඊට ප්‍රධානතම හේතුව අපේ අංශවල ඇති වූ දුර්වලතා බව කිව යුතුයි. ඒ නිසා අපේ තේ කර්මාන්තය ජාත්‍යන්තර වෙළෙඳපොළේ පිළිගන්නා නිෂ්පාදනයක් බවට පත් කිරීමේ කාර්යය මට වඩා හොඳින් ඔබ දන්නවා.

මම තේ කර්මාන්තය ගැන දන්නේ නැහැ. මම වැවිලි කර්මාන්තය ගැන දන්නේ නැහැ. මම සාමාන්‍ය ගොවි පවුලක කෙනෙක්. ඒ නිසා තේ කර්මාන්තයේ නියැළෙන පිරිස්, කෘෂි විශේෂඥයන් ආදී කර්මාන්තයේ සියලු දෙනා ඒ සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කළා. ඒ වගේම රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයත් තේ කර්මාන්තයේ වර්ධනයට ඉතා වැදගත් වෙනවා.

මම මීට සති දෙකකට කලින් දකුණු කොරියාවට ගියා. එහිදි කොරියානු වාණිජ මණ්ඩල හමුවට ගියා. ශ්‍රී ලංකාවේ වාණිජ මණ්ඩලය මෙන්ම ව්‍යාපාරිකයන් ද ඊට සහභාගි වුණා. මෙතැන ඉන්න අයත් යන්න ඇති. එහිදි මා සමඟ දකුණු කොරියාවේ අමාත්‍යවරයෙක් සහ ව්‍යාපාරිකයෙක් මා සමඟ සිටියා. ඔවුන් සමඟ මා කතා කළා. විවිධ දේ සම්බන්ධයෙන් කතා කළා. ඔවුන් දෙදෙනා ලංකාවේ තේ සහ රබර් කර්මාන්තය ගැන දන්නේ නැහැ.

ලංකාවේ තේ, රබර් නිෂ්පාදනය කරන බව ඔවුන් දන්නේ නැහැ. මම පුදුමයට පත් වුණා. ලංකාවේ අපනයන භාණ්ඩ, අපනයන භෝග බොහෝ දෙනා දන්නේ නැහැ. මම ඔවුන්ට දන්න තරමින් තේ සහ රබර් ගැන කිව්වා.
අපේ තානාපති සේවාවල දුර්වලතා රැසක් තිබෙන බව මා හඳුනා ගත්තා. අපේ අපනයන කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට පත් කරන පිරිස්වල දුර්වලතා මා හඳුනා ගත්තා.

ඉන් අනතුරුව මා එදින රාත්‍රියේ නිල රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වුණා. මා දකුණු පැත්තේ දකුණු කොරියානු ජනාධිපතිවරයා. වම් අත පැත්තේ ජනාධිපති ආර්යාව. එදින දහවල් සිදුවීම සම්බන්ධයෙන් මා ජනාධිපතිවරයාට කරුණු කිව්වා. අමාත්‍යවරයා ඇතුළු පිරිස ලංකාවේ තේ කර්මාන්තය ගැන නොදන්නා බව මා ඔහුට කිව්වා.

ඉන් අනතුරුව දකුණු කොරියාවේ තේවලට ඉතා ඉහළ ඉල්ලුමක් තිබෙන බව මූන් ජායි ඉන් ජනාධිපතිවරයා මා සමඟ කියා සිටියා. දකුණු කොරියානු ජනාධිපති ආර්යාව අපේ තේවලට වැඩි කැමැත්තක් දක්වනවා. ඇය ලංකාවේ තේ සන්නාම කිහිපයක නම් කිව්වා. ඒ නම් මම මෙතැන කියන්නේ නැහැ, මොකද එතකොට මම එම සමාගම්වල ප්‍රචාරක නිලධාරියෙක් වෙනවා. දකුණු කොරියාව තුළ ලංකාවේ තේවලට ඉතා විශාල වටිනාකමක් තිබෙනවා.

දකුණු කොරියාවට අපනයනය කිරීම ශක්තිමත් කිරීමට එම සංචාරයේදී මම එරට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළා. මම මේ එක රටක් ගැන කියන්නේ මෑතකදී ගිය රට නිසා. අපේ රට සහ අනෙක් රටවල් සබඳතා පවතින්නේත් එවැනි මට්ටමක. දකුණු කොරියාවට අපේ කුළු බඩු යැවීම නිසි පරිදි සිදුවන්නේ නැහැ. දකුණු කොරියාව සමඟ අපි සමීප සබඳතා පැවැත්වුවත් අපි රටක් විදියට දකුණු කොරියාවට අපේ අපනයන යවලා නැහැ. අපේ තරුණ පිරිස් 30,000කට වැඩිය දකුණු කොරියාවේ ඉන්නවා.

අපි රටක් විදියට අපි ගැන කොතරම් දුරකට අපේ වගකීම් ඉටු කරලාද කියන ගැටලුව පැන නගිනවා. මා ඒ ගැන කනගාටු වෙනවා. පැවැති සෑම රජයක්ම ඊට වගකිව යුතුයි. තානාපති කාර්යාල, තානාපති නිලධාරීන්, තානාපති අංශවල ඉන්න වෙළෙඳ කොමසාරිස්වරු ආදී පිරිස් මේවාට වගකිව යුතුයි.

ලංකාවේ හොඳම තේ වර්ග දකුණු කොරියානු ජනාධිපතිවරයාට එවන බවට මා පොරොන්දු වුණා. දැනුත් මම නවීන් අමාත්‍යවරයාගෙන් ඇහුවා මගේ තේ පාර්සලය හරිද කියලා. මා මේ කතා කළේ අපි අපේ දුර්වලතා, ශක්තීන් මොනවාදැයි හඳුනාගත යුතුයි. අපේ වැවිලි කර්මාන්තයේ අර්බුද මොනවාදැයි තේරුම්ගත යුතුයි. ඒ නිසා අපි සිටින තැන මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. ඒ වගේම නවීන් දිසානායක මහතා මේ අමාත්‍යාංශය හොඳින් කරගෙන යනවා. මා මුලින්ම හඳුනාගත්තේ නවීන් අමාත්‍යවරයාගේ පියා ගාමිණි දිසානායක මහතායි. පක්ෂ දෙකක සිටියත් ඔහුත් මාත් සහයෝගයෙන් කටයුතු කළා. නවීන් දිසානායක මහතාට වැවිලි කර්මාන්තයට හොඳ අවබෝධයක් තිබෙනවා. ලක්ෂ්මන් පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයාත් නවීන් අමාත්‍යවරයාට සහාය දක්වමින් ඉතා හොඳ වැඩ කොටසක් කරනවා. මා ඔබ සැමට අපේ වැවිලි කර්මාන්තය තවත් ඉහළ තැනකට එසවීමට සුබ පතනවා” යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කීවේය.

මෙහිදි තේ කර්මාන්තයේ වතු කම්කරුවන්ගේ සිට සෑම අංශයක්ම නියෝජනය වන අයුරින් සම්මාන පිරිනැමිණි.

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂමන් වසන්ත පෙරේරා යන මහත්වරු ද තේ කර්මාන්තයේ විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.