IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


රට කඩන - රට බෙදන ව්‍යවස්ථාවක් සම්පාදනයට ඉඩ තබන්නේ නෑ

(අම්පාර වසන්ත චන්ද්‍රපාල)

රට කඩන, රට බෙදන ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අම්පාරේදී ඉකුත්දා (29) ප‍්‍රකාශ කළේය.

78 ව්‍යවස්ථාවේ බුද්ධාගම සම්බන්ධයෙන් තිබෙන ජේද, අදහස්, වගන්ති ඉවත් කිරීමක් හෝ බාල කිරීමක් කිසිසේත්ම සිදුනොවන බවද ජනාධිපතිවරයා කීවේය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ ගිරාඹේ මංගල මහනාහිමියන්ට උඩරට අමරපුර සාමග‍්‍රී සංඝ සභාවේ මහානායක පදවිය පිළිබඳ සන්නස් පත‍්‍රය පිළිගැන්වීම වෙනුවෙන් අම්පාර ගැමුණුපුර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති උත්සව සභාව අමතමිනි.

එහිදී ජනාධිපතිවරයා මෙසේද කීවේය.

නැගෙනහිර පළාතේ වැඩවෙසෙන ගිරාඹේ මංගලාභිධාන මහා ස්වාමීන් වහන්සේට මේ මහානායක ධුරය ලැබුණු අවස්ථාවේ උන්වහන්සේට ගරු කරමින්, ගෞරවාභිමානය ලබාදෙමින් විජිනිපත් පිළිගන්වන්නට ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා. අපේ ඉතිහාසය තුළ නැගෙනහිර පළාත සැමවිටම මහා ගෞරවණීය වංශ කතාවකට හිමිකම් කියන ප‍්‍රදේශයක්. සිංහල රජ දවසින් පසුව නැගෙනහිර පළාත් ගෙවීගිය දශක කිහිපයේ මහාමාන්‍ය ඞී.එස් සේනානායක මැතිතුමාගේ ජනපද ව්‍යාපාරයත් සමග නව සංවර්ධනයක් හා නව පුනර්ජීවයක් ලැබුවා. සෑම රජයක්ම මේ රටේ සංවර්ධන ක්ෂේත‍්‍රයේ පුළුල් ලෙස කටයුතු කරමින් සිටින විට අපි සෑම කෙනෙක්ම මුහුණ දුන් ම්ලේච්ඡ යුද්ධය අපේ රටේ සංවර්ධනය පසුපසට ඇදගෙන ගියා. අපේ රටේ ආර්ථිකයේ බිඳ වැටීමක් ඇතිවුණා. 

යුද්ධයත් සමග අපේ සමාජය හා මිනිසාගේ විනය, හැදියාව පිරිහුණා. අපි අද ඒ සියල්ලෙන් නිදහස්ව සාමකාමී රටක ජීවත් වන විට මෙවැනි උතුම් ස්වාමීන් වහන්සේ නමක් පිදීමට ලැබීම ගැන මා නැවතත් සතුටු වෙනවා. මේ මහා පුණ්‍ය කටයුත්තට සහභාගී වීමට මාහට ආරාධනා කිරීම ගැන මහා සංඝරත්නය ප‍්‍රමුඛ සියලූ දෙනාට මාගේ ස්තුතිය පුදකරනවා. අපිට රටක් විදියට අපේ ඉතිහාසය සැමවිටම ශ්‍රේෂ්ඨත්වය තුළ ගොඩනැගෙන්නේ මහා සංඝරත්නයේ මගපෙන්වීම තුළයි. ඉතිහාසය තුළ සැමවිටම ගැබ් වී තිබෙන සටන්කාමීත්වය, රණවීරත්වය අපිට දුපත් රාජ්‍යයක් විදියට උරුම වූ දෙයක්. විදේශීය ආක‍්‍රමණ, බලපෑම් පිළිබඳව අපේ අතීතය අවදි කළහොත් අපි දන්නවා ඒ ඉතිහාසයේ අපට කියවන්න බොහෝ දේවල් තිබෙනවා. ඒ සියල්ලත් එක්ක මේ රට ගොඩනැගුණේ, හරවත් වුණේ මහා සංඝරත්නය නිසයි. සැමවිටම යහපත් සමාජයක් ගොඩනගන්න ගමේ පන්සල මූලික වුණේ අද ඊයේ ඉඳලා නෙමේ. එදා පෙර රජ දවස මහරජුන්ට උපදෙස් දුන් මහා සංඝරත්නය සැමවිටම මේ රට යහපත් රටක් කරන්න අමිල සේවයක් කළා. ඒ කැපවීම ලාංකිකයින් විදියට කිසිසේත්ම අමතක කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා සැමවිටම මහා සංඝරත්නය, ගමේ පන්සල, වෙහෙර විහාර, පුරාවස්තු සියල්ලම ආරක්ෂා කිරීම අපේ වගකීමක් වගේම යුතුකමක් වෙනවා. 

ගෞරවණීය නායක හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ ධර්මදේශනා වගේම ඔබ වහන්සේගේ ප‍්‍රකාශන මගින් සමාජයට ථේරවාද බෞද්ධ දර්ශනය පිළිබඳව හා යහපත් සමාජය පිළිබඳව ලබාදෙන්නා වූ මගපෙන්වීම ඉතාමත් අගය කළ යුතුයි. ඒ වගේම ඔබ වහන්සේ සමාජය යහපත් කරන්න, හරවත් කරන්න, ලෝකයේ ආදර්ශමත් රටක් බවට අපේ රට පත් කරන්න, ඔබ වහන්සේ කළ කැපවීම අපි ඉතාමත් අගය කරනු ලබනවා. බුදුන්  වහන්සේ දේශනා කළා චරථ භික්ඛවේ චාරිකං, බහුජන හිතාය, බහුජන සුඛාය. ඒ අනුව අපේ උතුම් බුද්ධ පුත‍්‍රයාණන් වහන්සේලාගේ වගකීම නිසිලෙස ඉටුකරමින් බෞද්ධ රටක් විදියට මේ රට ගොඩනගන්න සැමවිටම කටයුතු කරලා තිබෙන බව අපි දන්නවා.  ඒ නිසා ඔබ වහන්සේ වැනි ඉතාමත් උතුම් ස්වාමීන් වහන්සේ නමකට මහනායක පදවියක් පිරිනැමීම බෞද්ධයින් විදියට අපි ඉතාමත් සතුටට පත්වෙන පින්වත් අවස්ථාවයි. 

මෙවැනි අවස්ථාවක ඔබ වහන්සේගේ මේ උතුම් නායක පදවිය පිළිබඳ අප සතුටු වෙනවා වගේම ඉන් බාහිරව දෙයක් සඳහන් කිරීමටත් මා බලාපොරොත්තු වෙනවා. අද උදේ මම ගාල්ලේ ඉඳලා පොළොන්නරුවට ඇවිත් තමයි මේ පූජනීය ස්ථානයට පැමිණියේ. පුවත්පත්වල මුල් පිටුවේම තිබුණා ගෞරවණීය මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා කිහිප නමක් විසින් නිකුත් කරන ලද නිවේදනයක්. ත‍්‍රිකුණාමලයේ ආනන්ද නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, ගෞරවණීය කොටුගොඩ ධම්මාවාස ස්වාමීන් වහන්සේ, ගෞරවණීය බෙල්ලන්විල විමලරතන ස්වාමීන් වහන්සේ, ගෞරවණීය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ ඇතුළු මහානායක ස්වාමීන් වහන්සේලා නිකුත් කළ නිවේදනයක්. 

ඒ නිවේදනයේ සඳහන් වෙලා තිබෙනවා අපේ රජය විසින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දැනට ඉදිරිපත් කර ඇති වාර්තාව.  ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් තවම හදලා නැහැ. කෙටුම්පතක් හදලත් නැහැ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සෑදීම සම්බන්ධයෙන් සමාජය තුළ ජනතාවට, විද්වතුන්ට සියලූ ක්ෂේත‍්‍රවල අයට සංවාදයට, සාකච්ඡාවට ලක් කිරීම සඳහා අවශ්‍ය සංශෝධන, වෙනස්කම්, ඇතුළත් කිරීම් ඒ සියල්ලට ඉඩකඩ තබමින් නව ව්‍යවස්ථාවක් සෑදීම පිළිබඳව දේශපාලන පක්ෂවල අදහස් දැක්වූ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ තිබෙන කරුණුවල අපේ රට සන්ධීය රාජ්‍ය සංකල්පයක් තුළ ආණ්ඩුක‍්‍රම නව ව්‍යවස්ථාව සෑදීමට එම වාර්තාවේ තිබෙන බව උන්වහන්සේලාගේ නිවේදනයේ සඳහන් කර තිබුණා. 

මහ නායක හාමුදුරුවනේ, මම ඒ නිවේදනය කියවූ විටම මෙම ව්‍යවස්ථා කටයුතු පිළිබඳව ආණ්ඩුවේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරන ජනාධිපති නීතිඥ ජයම්පති වික‍්‍රමරත්න මහතාට මම උදේ කතා කළා. එතුමාගෙන් මම ඇහුවා මහා නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා විසින් නිකුත් කර තිබෙනවා නිවේදනයක්, සන්ධීය රාජ්‍ය සංකල්පයක් මේ ව්‍යවස්ථාවේ ඇතුළත් කර තිබෙනවා කියා. මේ පිළිබඳව මොකක්ද කියන්නේ කියා. අනේ, ජනාධිපතිතුමා එවැනි දෙයක් කිසිසේත්ම වෙන්නේ නැහැ. උන්වහන්සේලාට කවුරුන් හෝ මේ පිළිබඳව කළ පැහැදිලි කිරීමේ වරදක් තිබෙන්න පුළුවන්. උන්වහන්සේලාගේ මේ අදහස පිළිබඳව මමත් සොයා බලනවා. කිසිසේත්ම එවැනි දෙයක් මේ ව්‍යවස්ථාව ඇතුළත් වාර්තාවේ සඳහන් වෙන්නේ නැහැ කියා ඔහු සඳහන් කළා. 

නැගෙනහිර පළාතට අවුරුදු තිහකට ආසන්න එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡ යුද්ධය පැවතුණා. ඒ යුද්ධය නිසා උතුරු නැගෙනහිර පමණක් නොවේ මේ සතර දිග්භාගයෙන් ඇතිවූ ත‍්‍රස්තවාදී ක‍්‍රියා සමග අපි ලැබූ දීර්ඝ කාලීන අත්දැකීම අප කාටත් අමතක වන්නේ නැහැ. 

රජයක් විදියට මම පැහැදිලිව සඳහන් කරන්නට  ඕන, මේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සම්බන්ධයෙන් ඇතිවී ඇති අදහස් සහ යෝඡනා පිළිබඳව සැලකිල්ල යොමු කිරීමේදී, රට කඩන, රට බෙදන එවැනි කිසිදු ආකාරයක ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ඉඩ තබන්නේ නැහැ කියන එක ඉතාම පැහැදිලිව ඔබවහන්සේලාට ගෞරවපූර්වකව මේ අවස්ථාවේ මා සඳහන් කරනවා. 

අපිට ප‍්‍රශ්නයක් මේ රටේ තිබෙනවා. ඒ ප‍්‍රශ්නය කුමක්ද? ඒ ප‍්‍රශ්නය ඔබවහන්සේලා අපි සෑම කෙනෙක්ම දන්නවා. අවුරුදු දහස් ගානක ඉතිහාසය තුළ අපි ආක‍්‍රමණවලට ලක්වුණා. තවත් පැත්තකින් අපි අභ්‍යන්තර යුද්ධයන්ට ලක්වුණා. එක් එක් යුග ගත් විට එදා සිංහල රජ දවසේ පටන් මේ රට කැඩුණු වෙන්වූ අවස්ථාවන් ගණනාවක් තියෙනවා. අද අපි ඒකීය ශ‍්‍රී ලංකාවක්. මේ ඒකීය ශ‍්‍රී ලංකාව කිසිසේත්ම ඒකීය ශ‍්‍රී ලංකාවක් නොවන ආකාරයට ව්‍යවස්ථාවක් සෑදීමට අපි ඉඩතියන්නේ නැහැ, අපේ හාමුදුරුවනේ. 

බොහෝ වේලාවට බුද්ධාගම සම්බන්ධයෙන් නොයෙකුත් ප‍්‍රචාරයන් සිදුකරනවා. 1978 සිරිමාවෝ මැතිනියගේ නායකත්වයෙන් බිහිවූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ඡේද පිළිබඳව නොයෙකුත් ප‍්‍රචාරයන්, අදහස් තිබෙනවා. 1978 ව්‍යවස්ථාවේ බුද්ධාගම සම්බන්ධයෙන් තිබෙන ඡේද, අදහස්, වගන්ති කිසිසේත්ම ඉවත් කිරීමක් හෝ බාල කිරීමක් සිදුනොවන බව නොකරන බව ඉතාම පැහැදිලිව ඔබවහන්සේලාට මම ගෞරවයෙන් මතක් කරන්නට  ඕන. 

අපේ රට වශයෙන් ගත් විට ඇයි මේ රටේ යුද්ධයක් ඇති වුණේ? යුද්ධයක් ඇති වෙන්න හේතු මොනවාද? යුද්ධය අවසන් වූ පසුව බලය බෙදීමක් පිළිබඳව අදහසක් ඉදිරිපත්වී ඇත්තේ කුමන හේතු කාරණා නිසාද? යුද්ධය අවසන්වූවාට පසු එක්සත් ජාතීින්ගේ මහලේකම්වරයා බෑන් කී මූන් මහතා එවකට ලංකාවට ආවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිටින කාලයේ. එවකට මම ඇමැතිවරයෙක්. මහලේකම් බෑන් කී මූන් මහතා සමග හිටපු ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව සඳහන් කළා බලය බෙදීම සම්බන්ධයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයකට යාම ඉතා අවශ්‍ය බව. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය රජයට වෙනත් රාජ්‍ය නායකයින්ට බලය බෙදීමක් බොහෝම පැහැදිලිව සඳහන් කරනු ලැබුවා. ඒ තත්ත්වයන් කොතෙක් දුරට උග‍්‍ර වූවාද කියන හේතුව නිසා එතුමාට තව අවුරුදු දෙකක් බලයේ සිටීමට ඉඩකඩ තිබියදීයි එතුමා මැතිවරණයකට ගියේ. 2015 ජනාධිපතිවරණය කිසිසේත් පවත්වන්න එපා කියා එදා ආණ්ඩුව තුළ තදින්ම කියපු කෙනෙක් මම. මහින්ද රාජපක්ෂ මහත්මයාට ලිඛිතව දුන්න කෙනෙක් මම ජනාධිපති ඡන්දයක් තියන්න එපා කියා. එදා ආණ්ඩු කරපු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දේශපාලන පක්ෂ, එම නායකයින් සියලූ දෙනා එකට වාඩිවී එතුමාට කිව්වා ජනාධිපති ඡන්දයක් තියන්න එපා කියා. නමුත් අපි කියන කිසි දෙයක් ඇහුවේ නෑ. හැබැයි එහෙම කියන කොට මම දැනගෙන හිටියේ නැහැ ඡන්දයක් තිබ්බොත් මමයි ජනාධිපති වෙන්නේ කියා. එහෙම දෙයක් මගේ ඔළුවේ තිබුණෙත් නැහැ. 

අපි ඉතා පැහැදිලිව මේ කියන තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේදී අද උතුරු නැගෙනහිර තිබෙන ප‍්‍රශ්නත් බලය බෙදීම සම්බන්ධයෙන් තිබෙන ඉල්ලීම් සැලකිල්ලට ගැනීමත්, මේ රට ස්ථිර සාමකාමී රටක් විදියට පවත්වාගෙන යාමත්, මේ රටේ නැවත යුද්ධයක් ඇතිවීම වැළැක්වීමත්, සියලූ ජාතීන් තුළ සමගිය, සංහි`දියාව, සහෝදරත්වය ගොඩනැගීමත් ඒ සියල්ල ඉතා ප‍්‍රමුඛ වූ කාර්යයන් බවට පත්වෙනවා. යුද්ධයක් නැවත මේ රටේ ඇති වෙනවා යැයි කියා යම්කිසි අදහසක් රටේ ජනතාව තුළ ඇති වුණොත් එය මේ රට නැවත විශාල ප‍්‍රපාතයකට ඇද වැටෙනවා. ඒ අදහසම පමණක් ඇති. එවැනි අදහසක් අපේ සමාජය තුළ ඇතිවීම සම්පූර්ණයෙන් අපි තුරන් කළ යුතුයි. ඉවත් කළ යුතුයි. මේ බෞද්ධ රටේ සිටින සියලූ ජනකොටස් සමග සාමයෙන්, සමගියෙන්, මිත‍්‍රත්වයෙන්, සහෝදරත්වයෙන්, විශ්වාසයෙන්, සැකයක්, බියක් නොමැතිව ජීවත්වන සමාජයක් ගොඩනගන්නයි අපි කැපවී තිබෙන්නේ. එහිදී කිසිසේත්ම මේ රට විනාශ වන ආකාරයට බෙදෙන්න, කැඩෙන්න, ව්‍යවස්ථාවක් හදන්න අපි ඉඩකඩ තබන්නේ නැහැ කියන එක බොහෝම පැහැදිලිව සඳහන් කරන්නට  ඕන. මල්වතු අස්ගිරි හා ශ‍්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහ නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලාටත් පසුගිය දිනවල උන්වහන්සේලා බැහැදැකපු වෙලාවේ මේ කටයුතු සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදී මම උන්වහන්සේලාගෙන් ඉල්ලීමක් කළා. මේ බලය පිළිබඳව දැඩි ඉල්ලීම් කරන දේශපාලන පක්ෂ, නායකයින් ඒ සියලූ දෙනා සමග ඔබ වහන්සේලාත් සාකච්ඡා කරන්න. ඒ ඉදිරිපත් කරන යෝඡනා පිළිබඳව එක මේසයකට ඇවිත් ඒ සාකච්ඡා ආරම්භ කරන්න. අපි බෞද්ධ ද හින්දු ද කි‍්‍රස්තියානි ද ඉස්ලාම් ද ගෞරවනීය පූජකතුමන්ලාත් අපේ මහා නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා ප‍්‍රමුඛව විවිධ ක්ෂේත‍්‍රවල සමාජ දේශපාලන වගකීම් දරන අයත් මේ සෑම කෙනෙක්ම එකතුවී අපි සාකච්ඡා කරමු මේ තිබෙන ප‍්‍රශ්න අපි කොහොමද විසඳගන්නේ කියා. ඒ තුළ අපිට සාමකාමී රටක්, දේශයක් ගොඩනගන්න පුළුවන් වන්නේ කියායි අපි දැඩි ලෙස විශ්වාස කරන්නේ. 

මේ උතුම් අවස්ථාවේ ඔබ වහන්සේලා බැහැ දකින්නටත්, මේ ආදරණීය ජනතාව හමුවන්නටත් ගෞරවනීය මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ගිරාඹේ මංගල මහ නායක ස්වාමීන් වහන්සේට මහ නායක පදවියට පත්වන අවස්ථාවේ උන්වහන්සේ ප‍්‍රමුඛ වන්දනීය මහා සංඝ රත්නයට ගරු කරනවා. ඔබේත් මගෙත් මේ උතුම් දේශය සරු සාර කරන්නට, ගොඩනගන්න, ශක්තිමත් කරන්නට ලෝකයේ ශ්‍රේෂ්ඨ උතුම් ජාතියක් විදියට ඉදිරියට යමින් සමෘද්ධිමත් ආර්ථිකයක් සහිත සමකාමී දේශයක් ගොඩනගන්න අප සියලූ දෙනාම එක්වෙමු කියන ගෞරවනීය ඉල්ලීම කරමින් ඔබෙන් සමුගන්නවා යැයිද ජනාධිපතිවරයා කීවේය.

දොඩම්පහල චන්ද්‍රසිරි අමරපුර මහා  නිකායේ මහා නාහිමියෝ අනුශාසනාව පවත්වමින් මෙසේ පැවැසූහ.

පිදිය යුත්තන් පිදිම මංගල කාරණයක් හැටියට සදහන් වෙනවා. අද මහානායක ධූරයෙන් සම්මාන ලබනගිරාඹේ මංගලාභිදාන නායක ස්වාමිපාදයාණන් වහන්සේ එම නිකාය මගින් දෙන්න පු`ඵවන් උපරිම ගෞරවය ලබා දී තිබෙනවා. උඩරට සාමග‍්‍රී සංඝ සභාව ගැන කතා කරන විට අපවත් වි වදාළ රාජකීය පණ්ඩිත, අග්ගමහා පණ්ඩිත භාෂාන්තර විශාරද දවුල්දෙන ඥානිස්සරාභිදාන මහානායක ස්වාමීන් වහන්සේ හෙබවු ඒ උත්තරීතර පදවිය ඒ මහානායක ස්වාමීන් වහන්සේට පත් කරන්නට එම නිකාය මගින් තිරණය කීරීම ඉතාම උතුම් කාරණයක් හැටියට සලකන්න පු`ඵවන්. උන් වහන්සේලා මේ තනතුර වෙනුවෙන් පත් කර ගත යුත්තේ කවරෙක් ද යන කාරණය හොදින් තීරණය කරලා ඒ මහා කාරක සංඝ සභාව මගින් උන් වහන්සේ මේ උත්තරීතර තත්වයට පත් කරගෙන ශාසනය වෙනුවෙන්, සමාජය වෙනුවෙන් කළ යුතු උසස්ම කාරණය සම්පූර්ණ කළා. ඒ වෙනුවෙන් අද ජනාධිපතිතුමාණන් ප‍්‍රධාන මැති ඇමතිවරුන්, දිසාපතිතුමා ඇතු`ඵ රජයේ නිලධාරීන් මේ හැම දෙනාම ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඉදිරියේ තබාගෙන උන්වහන්සේ වෙනුවෙන් කළ යුතු කාර්යයන් සම්පූර්ණ කළා. ජනාධිපතිතුමන් බොහොම කාරුණිකව මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා පිළිපදිනවා.  ඕනෑම තීරණයක් ලබා දෙන්නට එතුමාණන් ඉතාම ප‍්‍රකටවම උත්සහවත් වන බව අපි හැමදෙනාම දන්නා වු කාරණයක්. විශේෂයෙන් අපි මේ අවස්ථාවේ දී සිහි කරන්න  ඕන ගරුතර මහා සංඝරත්නයේ පරිපාලනය පිළිබදව. බුදුරජාණන් වහන්සේ ඒ සියලූ කාර්යයන් පිළිබදව අපට දේශනා කොට වදාළා. පැවිදි වන අවස්ථාවේ දි ශබ්ද, දුක්ඛ, නිස්සරණ ආදි වශයෙන් මහා පොරොන්දුවක් දීලා පැවිදි වෙලා ඊට පස්සේ සාමණේර භික්‍ෂූන් වහන්සේ නමක් හැටියට පිලිපැදිය යුතු කරුණු පිළිබඳවත් උපසම්පදා සීලයෙහි පිහිට වු පසු ඒ සතර පාරජඡ්කාව්‍ය පටන් බුද්ධානු බුද්ධක සික්ඛාපදයන් පිළිබදවත් උන්වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට පනවා වදාළා. භික්‍ෂූන් වහන්සේලාට අන්න ඒවා පිළිබදව පරිපාලන ඒ අවස්ථාවල දී භාර දුන්නා. සැරියුත් මුගලන් උත්තමයාණන් වහන්සේලා ප‍්‍රධාන මහා සංඝරත්නය එදා ඒ කාර්යයන් සම්පූර්ණ කළා. අද ත්‍රෛනිකායික  මහා සංඝරත්නය ඒ කාර්යයන් ඉටුකරනවා. අපට කනගාටුවෙන්න තියෙන කාරණයක් අද ගරුතර මහා සංඝරත්නයට යම් තීරණයක් ගැනීමේ අපහසුතාවයන් තිබෙනවා. ඒ සංඝ සභාවල යම් තීරණයක් ගත්තා නම් ඇතැම්විට මහානායක ස්වාමීන් වහන්සේලා ප‍්‍රධාන සංඝ සභාවන් ඉතා අපහසු තත්ත්වයන්ට, අපකීර්තියට පත් වෙන අවස්ථාවන් තිබෙනවා. මෙන්න මේ කාරණාවන් පිළිබදව හොදින් සිහියට ගන්න  ඕන. රජය විසින් මෙන්න මේ කාරණා පිළිබදව සිහි කරන්නට  ඕන. බුරුමය, සියමය ආදී රටවල් පිළිබදව සිහි කරන විට කතා කරන විට එහි තිබෙන්නා වූ මහා සංඝ සභාව මගින් යම් තීරණයක් ගත්තා නම් ඒක ඒ ආකාරයෙන්ම ක‍්‍රීයාත්මක වෙන්න  ඕනේ. ඒ ක‍්‍රියාත්මක නොවී නම් ඒ අවවාද අනුශාසනාවට අවනත වෙන්නේ නැත්නම් රජය මගින් ඉදිරිපත් වෙලා ඒ අයට යෙදිය යුතු දඬුවම් ලබා දෙනවා. යැයිද මහානාහිමියෝ සඳහන් කළහ.

දොඩම්පහළ චන්ද්‍රසිරි මහනාහිමි, නුවරඑළියේ චන්ද්‍රජෝති නාහිමි, කරගහඋල්පත සුගතානන්ද නාහිමි ප‍්‍රමුඛ මහා සංඝරත්නයද, ඇමැති දයා ගමගේ, හිටපු ඇමැති පී. දයාරත්න, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.



අදහස් (3)

රට කඩන - රට බෙදන ව්‍යවස්ථාවක් සම්පාදනයට ඉඩ තබන්නේ නෑ

sathyayaa Friday, 06 October 2017 04:29 PM

"ගෙදර ගියොත් අඹු නසී - මඟ හිටියොත් තෝ නසී" කිව්වලු

:       0       5

TILAK Sunday, 08 October 2017 01:59 PM

ඔබතුමා ගුණදාස අමරසේකර මහතාගේ ලිපිය කියෙව්වා නම් ඔබට යමක් දැනගත හැකියි.

:       0       2

Raveendra Monday, 09 October 2017 06:31 AM

මගේ මතකය දිව යනවා වික්ටර් රත්නායක මහත්මාගේ ගීයක පද පේලි කීපයකට. මාහරි උගතා.. මා හරි ජගතා.. සිතනා මිනිසා මෝඩයකි... බොරුවෙන් රට පිරිහේවී....

:       0       5

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 208 5

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1190 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 983 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2324 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2169 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3694 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site