IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


​මේ විශ්වාසභංගයට පක්ෂ කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂය තුළත් හිටියා

ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර   

ඇමැති ධුරයක වගකීම් දරමින්ම අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා සමග කළ මෙම සාකච්ඡාව ගෙවුණු දින කිහිපයේ රටේ ගිනියම් දේශපාලන වට පිටාව සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධවය.   


ප්‍රශ්නය - මා ඔබ දැන් හැඳින්විය යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරයකු ලෙස ද? එහෙම නැත්නම් ඒකාබද්ධ විපක්ෂයේ ඇමැතිවරයෙක් ලෙසද?   


පිළිතුර - නෑ. තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරයෙක්.   


ප්‍රශ්නය - තවමත් කියන්නේ..... ඉදිරියේදී වෙනස් වෙයි කියලද?   


පිළිතුර - මම කවදාවත් ඒකාබද්ධ විපක්ෂයට යන්නේ නෑ. මම අනාගතයේදීත්, මේ ඇමැති ධුරය නැති වුණත් අපි ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ. අපි කොහේවත් යන්නේ නෑ.   


ප්‍රශ්නය - විශ්වාසභංගයේ දී එයට පක්ෂව ඡන්දය දීපු කණ්ඩායම වැටෙන්නේ ඒකාබද්ධ විපක්ෂයට.   


පිළිතුර - නෑ. නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ තියෙන යම් බෙදීමක් තමයි එතැනදී ප්‍රදර්ශනය වුණේ. හැබැයි ඒකෙදිත් බෙහොම පැහැදිලිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අපි විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන්නා. අනික් පිරිස පක්ෂව ඡන්දය දෙන්නේ නැතිව ඔවුන් ඡන්දය නොදී හිටියා.   


ප්‍රශ්නය - ඔබට හිතෙන විදියට එහෙම වැළකී සිටීමෙන් අදහස් කළේ?   


පිළිතුර - එහෙම වැළකී සිටීමෙන් අදහස් කෙරෙන්නෙත් පැහැදිලිවම විශ්වාසභංගයට පක්ෂයි කියන එක තමයි.   


ප්‍රශ්නය - ඒ විදියට අර්ථ නිරූපනය කරන්නේ කොහොමද?   


පිළිතුර - මෙහෙමයි. ඒ අදහස නොවේ නම් ඔවුන්ට තිබුණේ ඔවුන් ඇවිල්ලා විරුද්ධව ඡන්දය දෙන්න ඕනෑ. මෙතැන එහෙම දෙයක් වුණේ නෑ. ඒ නිසා අපේ පක්ෂයේ හතළිස් දෙන්නම ඉඳලා තියෙන්නේ එක මතයක. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට තමයි අපි තාමත් ඉන්නේ.   


ප්‍රශ්නය - එකම කාරණයක් අරභයා ඔහොම එක එක විදියට තීන්දු ගන්නවා නම් ඔබ හිතනවද එතැන පක්ෂයක් තියෙනවා කියල. පක්ෂයක විනය රකින්නේ කොහොමද?   


පිළිතුර - ඔව්. ඉතින් දැන් ඒකාබද්ධයට ගිහිල්ලා ඉන්න අයත් කරන්නේ විනය කඩන වැඩක් නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළත් එවැනි තත්ත්වයක් ඇති වෙමින් තිබෙනවා. ඉතින් ඕක පිළිබඳව මම නම් විශ්වාස කරන්නේ ජනතාව අනාගතයේදී තීන්දුවක් දෙයි ඉතාම නිවැරදිවම. කවුද රටේ ජනතාව වෙනුවෙන් පෙනී හිටියේ කවුද ජනතාව වෙනුවෙන් පෙනී හිටියේ නැත්තේ කියලා.   


ප්‍රශ්නය - ඔබ කියන විදියට ජනතාව තීන්දුව දෙන්නේ ඡන්දය නොදී මගහැර ගිය කණ්ඩායමටද?   


පිළිතුර - ජනතාව තීන්දුව දෙයි ඡන්දය දීපු අයට වගේම ඡන්දය නොදීපු අයටත්.   


ප්‍රශ්නය - ඔවුන් ඇයි මග හැරියේ? ඔබලා එකම කණ්ඩායමක්?   


පිළිතුර - මං හිතන්නේ අපි තීන්දුවක් ගත්තා ඡන්දය දවසේ උදේ ඊට කලින් දවසේ අපි ජනාධිපතිතුමා හමුවුණාම අපි එතුමට කිව්වා පහුවදා උදේ අපි කට්ටිය මහින්ද අමරවීර ඇමැතිතුමාගේ ගෙදර දී හමු වෙනවා කියලා. ඒ ගැන සාමූහිකව තීරණයක් අරගෙන තිබුණා. ඒ තීරණය ඒකමතිකයි. ඒ ඒකමතික තීරණය තමයි විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දිය යුතුයි කියලා. එතැනදී එක කණ්ඩායමක් විවිධ බලපෑම් මත විවිධ ප්‍රශ්න මත වෙනස් තීන්දුවක් අරන් තියෙනවා. නමුත් අපි ගත්ත තීන්දුවේ අපි ඉතාම පැහැදිලිව හිටියා. අදත් ඉන්නවා. හෙටත් ඉන්නවා.   


ප්‍රශ්නය - ඔබලා පක්ෂව ඡන්දය දෙන්න තීරණය කළේත් ඔවුන් ඡන්දය මග හැර යන්න තීරණය කළේත් ජනාධිපතිවරයාගේ ආශිර්වාදයෙන්ද?   


පිළිතුර - නෑ. ජනාධිපතිතුමා ඇත්ත වශයෙන්ම ඒකට අපිට කිසිම අදහසක් දුන්නේ නෑ. එතුමා කිව්වේ ඒක තමන්ගේම ආණ්‍ඩුවේ ඉන්න අගමැතිවරයට එරෙහිව ගේන විශ්වාසභංගයක්. ඒ නිසා පක්ෂය විදියට ඔයාලා තීන්දුවක් ගන්න කියලා.   


ප්‍රශ්නය - මගේ ප්‍රශ්නය වුණේ‍ ඒ තීන්දුවට ජනාධිපතිවරයාගේ ආශිර්වාදයක් තිබුණද කියලයි.   


පිළිතුර - මම ඒකයි කිව්වේ. එහෙම දෙයක් නෑ. එහෙම නැත්නම්... ඔබ දන්නවා මේ විශ්වාසභංගයට පක්ෂ කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂය තුළත් හිටියා. ඔවුන්වත් ගෙන්වලා අපිවත් ගෙන්වල දෙපැත්තම මුණගස්වල ජනාධිපතිතුමාට එහෙම නම් වැඩේ කරන්න තිබුණා. ජනාධිපතිතුමා ඒක කළේ නෑ. එතුමාට ඒ විශ්වාසය ආණ්ඩුවක් කරනවා නම් තියෙන්න ඕනෑ. ඒ නිසා තමයි එතුමා ඒ මතයේ හිටියේ.   


ප්‍රශ්නය - ඔබ කියන්නේ පක්ෂයේ කණ්ඩායම් දෙක ගන්න තීරණ ගැන කිසිම දෙයක් ජනාධිපති මෛත්‍රී දන්නේ නැහැ කියලද?   


පිළිතුර - මෙහෙමයි. පක්ෂය විදියට පක්ෂයේ නායකයා විදියට අපි අපේ මතය අපි එතුමාට ප්‍රකාශ කළා. අපි කිව්වා අපිට අත්වෙලා තියෙන තත්ත්වය මෙන්න මේකයි. මේ විශ්වාසභංගය සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය මුල ඉඳලම තිබුණු විදියටම තමයි අපි ඡන්දෙදි ප්‍රකාශ කළේත්. බැඳුම්කර ගනුදෙනුවට විරුද්ධව මුලින්ම අල්ලස් කොමිසමට ගියේ මහින්ද අමරවීර මැතිතුමා. මහ බැංකුව ඉදිරිපිට තිබුණ උද්ඝෝෂණයට අපි ඔක්කොම ගියා. කෝප් කමිටුවේ දී අපි අපේ අදහස් ඉදිරිපත් කළා. බැඳුම්කර කොමිසන් වාර්තාව එළිදක්වපු ජනාධිපති කොමිසම හැදුණේ අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී ගත් තීරණයකට අනුව. මේ සියල්ලටම හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඉතින් අපිට මම හිතන්නේ නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට වෙනත් මතයක් දරන්න පුළුවන් කියලා.   


පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදීත් අපි මේ තීරණය අරගෙන තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපිට අපේ මන්ත්‍රීවරුන්ට අලුත් දෙයක් නොවෙයි විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දෙන එක. මේක මේ අගමැතිතුමාටද වෙන කෙනෙකුටද ගේන්නේ කියන එක නොවෙයි අදාළ වෙන්නේ. මේ තියෙන කාරණා පැහැදිලිවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අපි දිගින් දිගටම කතා කරපු දෙයක්. ඒ නිසා අපි ගත්ත තීරණය ඉතාම නිවැරදියි.   


ප්‍රශ්නය - එහෙම නම් ඡන්දය මගහැර ගිය කණ්ඩායම කළේ‍ පක්ෂයට ​ෙද්‍රා්හීකමක්?   


පිළිතුර - ඒක ඇත්තටම ඒගොල්ලෝ තීරණය කරන්න ඕනෑ. මම එහෙම චෝදනාවක් ඒගොල්ලන්ට කරන්න කැමති නෑ. විවිධ හේතු මත ඒ අය ඒ තීන්දුව ගන්න ඇති. අපට නැවතත් පක්ෂය හදා ගන්න ඕනෑ. අපට නැවතත් පක්ෂය දෙකට බෙදන්න බැහැ. ඒ නිසා අපි ඒ අය ගැනත් යම් විදියකට එකට එකතු වෙලා කතා කරන්න ඕනෑ.   


ප්‍රශ්නය - ඒ කියන්නේ ඔබ පිළිගන්නවා මේ සිදුවීම හරහා පක්ෂය නැවත වරක් දෙකඩ වුණා කියලා.   


පිළිතුර - ඒක තමයි. පක්ෂය දෙකට නොවෙයි තුනට කැඩෙන්නයි තිබුණේ හරිනම්. නමුත් තුනට කැඩීම නතර වුණා අපි ගත්ත තීන්දුවත් එක්ක.   


ප්‍රශ්නය - පක්ෂයේ සාමූහික තීරණයට පිටින් ගිහින් ඡන්දය මග ඇරපු කණ්ඩායමට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා ඔබ යෝජනා කරනවද?   


පිළිතුර - ඒක ඇත්තටම ජනාධිපතිතුමා ගත යුතු තීරණයක්. අපි ජනාධිපතිතුමත් එක්ක මේ ගැන පහුගිය බ්‍රහස්පතින්දා උදේ සාකච්ඡා කළා. අපි දෙගොල්ලන්ටම එකට එකතු වෙලා වැඩ කරන්න පුළුවන් වැඩ පිළිවෙළක් ජනාධිපතිතුමා හදයි කියලා අපි විශ්වාස කරනවා.   


ප්‍රශ්නය - විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දෙන්න හිටපු යූඑන්පී කණ්ඩායමක් ශ්‍රී ලංකා එකේ මේ බෙදීම නිසා පස්සට ගියා.   


පිළිතුර - ඔව්. පැහැදිලිවම ඒක තමයි පෙනෙන්නට තිබුණ කාරණය. මොකද එක්සත් ජාතික පක්ෂයේත් කණ්ඩායම් ගණනාවක් හිටියා මේ විශ්‍වාසභංගයේදී පක්ෂව ඡන්දය දෙන්න. ඔවුන් හිටියේ කණ්ඩායම් තුනක් විදියට. ඒ කණ්ඩායම් තුන විවිධාකාරයෙන් වැඩ කළා. නමුත් අපේ බෙදීමත් එක්ක තමයි ඒ වැඩපිළිවෙළ නතර වුණේ‍. හැබැයි ඒ වගේම ඔවුන්ට සමහර මන්ත්‍රීවරුන් ඇමැතිවරුන් කරන ප්‍රකාශ එක්ක පේන දේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පක්ෂව ඡන්දය දීපු අපට යන්න කියන්න තියෙන හේතුව තමයි යූඑන්පීය හිටපු පක්ෂ කණ්ඩායමට කියලා තියෙනවා විශ්වාසභංගයට ඡන්දය දෙන ඇමැතිවරුන් අපි අයින් කරලා ඒ ඇමැතිකම් ඔයාලට දෙනවා කියල. ඒකම අපේ කට්ටියටත් පොරොන්දු වෙලා තිබුණා. ඒක ඉතාම පැහැදිලියි.   


අපේ ඇමැතිකම් තමයි මේ දෙගොල්ලන්ටම අලෙවි කළේ. එක්සත් ජාතික පක්ෂයේ ඒ බෙදීම් ටික නතර කර ගන්න ‘‘ඔයාට මේ ඇමැතිකම; ඔයාට රාජ්‍ය ඇමැතිකම; ඔයාට මේ නියෝජ්‍ය ඇමැතිකම’’ කියලා. ඇමැතිකම් ටික බෙදුවා. ඒ නිසා දැන් ඒගොල්ලන්ට දැන් එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය විසඳා ගන්න බැරිව ඉන්නේ. පොරොන්දු වෙච්ච අයට ඇමැතිකම් දෙන්න විදියක් නෑ. ඒ නිසා තමයි අපිට කියන්නේ ‘දැන් අයින් වෙන්න’ කියලා.   


ප්‍රශ්නය - නමුත් ​ඔබලා අයින් වෙන්නේ නෑ.   


පිළිතුර - අයින්වීම තීරණය කරන්නේ ජනාධිපතිතුමා.   


ප්‍රශ්නය - ඔබලාගේ ස්ථාවරය?   


පිළිතුර - අපි බොහෝම පැහැදිලිව අපි බදාදාත් කතා කළේ අපි අයින් විය යුතුයි කියලයි. ඒ ගැන අපි ගිය බ්‍රහස්පතින්දා ගිහින් ජනාධිපතිතුමා එක්කත් කතා කළා. අපි කිව්වා අපේ මෙහෙම තීන්දුවක් තියෙනවා කියල.   


ප්‍රශ්නය - ජනාධිපති මෛත්‍රීගේ තීන්දුව මොකද්ද?   


පිළිතුර - ජනාධිපතිතුමා කිව්වේ ‘දැන්ම කලබල වෙන්න අවශ්‍ය නෑ. ඒක මම තීරණය කරන්නේ. ඒ නිසා ඔබතුමාලා තවදුරටත් ඇමැති ධුරවල රැඳිලා ඉන්න. කොහොමද අපි අනාගතයේ වැඩ කරන්නේ කියලා පසුව සාකච්ඡා කරමු කියලා’ කිව්වා.   


ප්‍රශ්නය - අගමැතිවරයාගේ විශ්වාසයභංග වෙලානම් කොහොමද ඒ කැබිනට් මණ්ඩලයේ ඉන්නේ?   


පිළිතුර - කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපතිතුමා. කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා අගමැතිවරයා නොවෙයි. කැබිනට් මණ්ඩලයේ අපේ තවත් එක් සගයෙක් තමයි අගමැතිතුමා. තවමත් මේ යන්නේ ජනාධිපති ආණ්‍ඩු ක්‍රමයක්. අගමැති ආණ්ඩු ක්‍රමයක් නොවෙයි. අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්‍ඩලයක් නොවෙයි තියෙන්නේ. ජනාධිපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක්. එතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකයා. ඒක වෙනම කතාවක්. එ් නිසා එතුමා ​ඉන්න කැබිනට් එකේ ඉඳ ගැනීම ගැන අපට ප්‍රශ්නයක් නෑ. මොකද ඒකට හේතුව එතුමාට එරෙහිව අපි විශ්වාසභංගයක් ගෙනාවා. ඒකට පක්ෂව අපි අත ඉස්සුවා. විවිධ අදහස් තියෙන්න පුළුවන් ඕනෑම කෙනෙක්ගේ.... හැබැයි අපි ජනාධිපතිතුමාට විරුද්ධව අත උස්සලා එතුමාට එරෙහිව ​දෝෂාභියෝගයකට අත්සන් කළා නම් අපට එතැන ඉන්න බෑ. සදාචාරාත්මක බලයක් නෑ. එතැනදී අපට තර්කය තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකයාට විරුද්ධව අපි ඡන්දය දුන්නා කියලා. ඒ පක්ෂයේ අයට අමාරුවක් ඇති. නමුත් ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රශ්නයක් නොවෙයි. අපට ප්‍රශ්නය තියෙන්නේ අපි එක්සත් ජාතික පක්ෂයේ නායකයා විදියට එතුමට විරුද්ධව අපි ඡන්දය පාවිච්චි කරලා තියෙනවා. ඒක අපි විශ්වාස කරනවා මේ බැඳුම්කර හොරකම සම්බන්ධයෙන් අපි ගත්ත ඉතාම හොඳ එඩිතර පියවරක් කියලා.   


ප්‍රශ්නය - ඒ සම්බන්ධයෙන් තැවීමක් නෑ?   


පිළිතුර - නෑ. කිසිම තැවීමක් නෑ. ඒ විතරක් නොවෙයි මින් ඉදිරියට අපිට තවත් ඉස්සරහට යන්න පුළුවන් නම් ඒකටත් අපි සූදානම්.   


ප්‍රශ්නය - විශ්‍වාසභංගයෙන් පසුව ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේ මොනවද විශේෂයෙන් කතා කළේ.   


පිළිතුර - අපි එතුමත් එක්ක දීර්ඝ වශයෙන් කතා කළා. කොහොමද අපි ඉස්සරහට යන්නේ කියලා කතා කළා. ඒ අනුව තමයි අපි ප්‍රවෘත්ති සාකච්ඡා 2ක් කළේ. ඒ අපේ ස්ථාවරය රටට කියන්න.   


ප්‍රශ්නය - ඡන්දය මග හැර ගිය කණ්ඩායමත් එක්කත් ඔබලා කතා කළාද?   


පිළිතුර - නෑ. ඒ අය ජනාධිපතිතුමා හමු වුණේ වෙනම. අපි හමු වුණේ‍ වෙනම. අනාගතයේ දී අපි දෙගොල්ලෝ එකට එකතු වේවි.   


ප්‍රශ්නය - ඒකාබද්ධ විපක්ෂයත් එක්ක කොහොමද ඔබලාගේ සම්බන්ධය. දැන් ඔවුන්ගේ සටන්වලට ‘සපෝට්’ කරනවද?   


පිළිතුර - අපි ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට. අපි එක්සත් ජාතික පක්ෂය හිතනවා නම් අපිට මුකුත් කරන්න බැහැ. අපි ඒගොල්ලෝ කියන ඒවා ඔක්කොම අහගෙන මී පැටව් වගේ ඒක ඇතුළට වෙලා ඉන්න ඕනෑ කියල, අපි එහෙම ඉන්නේ නෑ. එහෙම සම්බන්ධයක් නොවෙයි මෙතැන තියෙන්නේ. ජාතික ආණ්ඩුවක් තියෙන්නේ. පක්ෂ දෙකක් වැඩ කරන්නේ. ඒගොල්ලන්ගේ පක්ෂය ලොකුද අපේ පක්ෂය ලොකු ද කියන එක වැදගත් කාරණාවක් නොවෙයි. අපි ජනාධිපතිතුමාගේ පක්ෂයේ සාමාජිකයෝ. ඉතින් අපිට ගරුත්වයක් තියෙන විදියට වැඩ කළ යුතුයි. එහෙම වැඩ කරන්නේ නැති හැම අවස්ථාවකදීම ඔය ඔබ කියපු ඒකාබද්ධ විපක්ෂයේ ඉන්නෙත් අපේ සහෝදරවරු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහෝදරවරු. ඒ අයගේ මත හා අපේ මත ඉතාම සමානයි. ඒ නිසා අපට සමහර කාරණාවලදී ඒකාබද්ධ විපක්ෂය කියලා අපිට වෙන් කරන්න බෑ. සමහර කරුණුවලදී ඔවුන්ගේ මතය ඉදිරිපත් වෙන්නත් කලින් තමයි අපි අපේ මතය කැබිනට් එකේදී කතා කළේ. එට්කා පිළිබඳව, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ලබාදීම, මත්තල ගුවන්තොටුපළ සම්බන්ධ කාරණා, හම්බන්තොට වරාය ගැන, කොළඹ දකුණු ජැටිය ලබාදීම සම්බන්ධ කාරණා ගත්තොත් ඒකාබද්ධ විපක්ෂය ගන්න කලින් අපි කැබිනට් මණ්ඩලය ඇතුළේ‍ කතා කළා. ඒ නිසා අපි එක මතවාදයක ඉන්නේ. එකම ප්‍රශ්නය තියෙන්නේ අපි මේ ආණ්‍ඩුවත් එක්ක ඉන්න පරස්පරය විතරයි. වෙන කිසිම පරස්පරයක් අපට ඔවුන් ගැන නෑ.   


ප්‍රශ්නය - ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත කිව්වා අගමැතිවරයා වැඩ කරන්නේ හවුල් ආණ්ඩුවක ස්වරූපයෙන් නොවෙයි කියලා. ඔබ හිතනවාද ඉදිරියේ දී ඒවා වෙනස් වෙයි කියල.   


පිළිතුර - අපි ජනාධිපතිතුමාට කිව්වෙත් ඒක ගැන තමයි. මීට පස්සේ ආණ්ඩුවක් විදියට ඉස්සරහට යනවා නම් මේ බොරු කමිටු දාලා බොරු කමිටුවල කතා කරලා හරියන්නේ නෑ. අපි තීන්දුවක් ගන්න ඕනෑ මොනවද අපි ඉදිරි අවුරුදු දෙක ඇතුළතදී කරන්නේ කියල. අපි ඒ විදියට එකඟ වෙලා වැඩ කරනවා නම් අපි එකතුවෙලා වැඩ කරමු නැත්නම් අපි අපේ ගමන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට වෙනම යා යුතුයි කියල.   


ප්‍රශ්නය - ශ්‍රී ලංකා එකේ ඔක්කොම අය ඔය මතයට එයිද?   


පිළිතුර - ඒගොල්ලොත් එක්ක එකතු වෙන්න ඕනෑ කියලා හිතන අය ඉන්නවා නම් එහෙම එකතු වුණා වේ. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් අපි පක්ෂය හැටියට සූදානම් නෑ තවදුරටත් මේ ක්‍රියාදාමය තුළ යන්න. හරියට යනවා නම් අපි සූදානම්. ඒකට ජනාධිපතිතුමා අපට සහතික වෙලා වැඩ කරන්න සූදානම් විය යුතුයි. ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් බොහොම බැරෑරුම් ලෙස කල්පනා කරයි. අපට තියෙන්නේ ඉදිරි කටයුතු කරගෙන යන්න. එහෙම නැත්නම් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි අපටම අනන්‍ය වූ ගමනක් අපි ආරම්භ කරන්න ඕනෑ. නැවත පක්ෂය ගොඩ නගන්න ඕනෑ බිම් මට්ටමෙන්.   


ප්‍රශ්නය - විශ්‍වාසභංගයට පක්ෂව ඡන්දය දුන්න නිසා මෙතෙක් නොතිබූ ජන ප්‍රසාදයක් ලැබුණා කියලා ඔබ හිතනවද?   


පිළිතුර - ඔව්. ඇත්ත වශයෙන්ම ජනතාව අපිට ගොඩක් ස්තුති කරලා තිබුණා. අපට තියෙන ප්‍රතිචාරය ඉතාම හොඳයි. මේ ආණ්‍ඩු විරෝධය පිළිබඳ අදහසක් නැති අයට තමයි කණා අත ගානවා වගේ අත ගගා ඉන්නේ. හැබැයි විශාල ආණ්ඩු විරෝධයක් රට ඇතුළේ තියෙනවා කියලා දැනගෙන තමයි අපි ආණ්ඩුව ඇතුළෙ කටයුතු කළේ. ඒ නිසා තමයි අපි ආණ්‍ඩුවේ විවිධ කාරණා සම්බන්ධයෙන් විවේචනය කළේ‍. සමහර ඒවා ජනතාව ඒ තරම් ගණන් ගන්නේ නෑ. මොකද අපිත් මේ ආණ්ඩුවේ කොටස් කාරයෝ කියලා හිතුවා. නමුත් ඇත්ත කාරණය තමයි නිවැරදි ජනමතය නිවැරදිව කියන්න පුළුවන් කම තියෙන්නේ අපිට. මේ තමයි ජනමතය. ජනතාව ආණ්‍ඩුවක් හදන්න ඡන්දය දුන්නේ නෑ. කිසිම පක්ෂයකට තනි බලයක් දුන්නේ නෑ. ජනතාව දුන්න අරාජිකත්වය තමයි මේ තවමත් තියෙන්නේ. මේකට තනිකරම වග කියන්න ඕනෑ ජනතාවමයි. මේ අරාජිකත්වය ඇති කළේ ජනතාවමයි.   


ප්‍රශ්නය - සඳුදාට අලුත් කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දෙනවා කියලා ඇමැති රාජිත කිව්වා.   


පිළිතුර - රාජිත ඇමැතිතුමා නොවෙයි නේ දිවුරුම් දෙන්නේ. ජනාධිපතිතුමා තමයි ඒක තීරණය කරන්නේ. මම දන්නේ නෑ කවද ඉඳලද රාජිත ඇමැතිතුමා ජනාධිපති වුණේ කියලා.   


ප්‍රශ්නය - තව කොච්චර කාලයක් මේ ආණ්‍ඩුවට මෙහෙම යන්න පුළුවන් වෙයිද?   


පිළිතුර - අපි හිතනවා අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා. ප්‍රශ්නයක් නෑ. හැබැයි ප්‍රතිපත්තිමය වශයෙන් ඉතාම නිවැරදි තැනක ඉඳලා දෙගොල්ලන්ටම කතා කරන්න වේවි. මේවා මේ ඇමැතිකම් සම්බන්ධ කාරණා නොවෙයි. මේක ජීවිතයත් මරණයත් අතර සටනක්. මේක රටේ ජනතාව ගල් ගහනවද නැද්ද කියලා තීරණය කරන සටනක්. ඒ නිසා අපි සූදානම් නෑ ඇමැතිකම් අරගෙන ඒවායින් සන්තර්පනය වෙලා ඉබාගාතේ යන මිනිස්සු වගේ මේවට අත උස්සන්න. අරාජිකත්වය තියෙන රටක් ඇතුළේ නැවත ස්ථාවරයත්වයක් ඇති කරන්න නම් පක්ෂ දෙකක් තියෙන්නෙ කියලා පළමුව යූඑන්පීය තේරුම් ගත යුතුයි. යූඑන්පී ප්‍රතිපත්ති මේ රටේ ජනතාවට බලෙන් කවන්න බෑ. ඔවුන්ගේ මත බලෙන් පොවන්න බෑ. ඒ නිසා යථාර්ථය තේරුම් ගත යුතුයි එක්සත් ජාතික පක්ෂය. දෙවනුව පක්ෂ දෙකක් විදියට අපි වැඩ කරන්නේ කොහොමද කියලා අපි අතර යම් බැඳීමක් තියෙන්න ඕනෑ. එහෙම නැත්නම් මෙවැනි සිද්ධි ඇති වෙන එක වළක්වන්න බැහැ. එ් නිසා ඒකාධිපතිත්වයෙන්, උද්ධච්චකමින් තවත් පක්ෂවලට බලෙන් පටවන එක නොවෙයි කරන්න තියෙන්නේ. තවත් පක්ෂයක් තියෙනවා කියලා දැනගෙන වැඩ කළ යුතුයි.   


ප්‍රශ්නය - ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථානය දැන් අයිති විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දීපු කණ්ඩායමටද? ඡන්දය මග හැර ගිය කණ්ඩායමටද?   


පිළිතුර - මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි අයිති. අපි සියලු දෙනා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ. සියලු දෙනා එකට එකතු වෙලා පක්ෂය ගොඩදාන තැනට තල්ලු වෙනවා.   

 

 

 

 

සාකච්ඡා කළේ - ප්‍රසන්න සංජීව තෙන්නකෝන්   
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි   

 



අදහස් (0)

​මේ විශ්වාසභංගයට පක්ෂ කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂය තුළත් හිටියා

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ගෝඨාභය තමයි ලංකා ඉතිහාසයේ ලොකුම පාවාදීම කළේ
2024 අප්‍රේල් මස 26 8 0

රටේ දේශපාලන තත්ත්වය පිළිබඳව හා අනාගත ක්‍රියාමාර්ග ගැන විමසමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා සමග කළ සාකච්


රට විකුණන්න කලින් දෙසැරයක් හිතන්න
2024 අප්‍රේල් මස 10 1083 7

මේ රට කාගේවත් පෞද්ගලික බූදලයක්, පෞද්ගලික කොම්පැනියක් හෝ පවුලේ දේපළක් කියා විශ්වාසයෙන් කටයුතු නොකරන්නැයි අනතුරු අගවන බව නිදහස ජනතා සභාවේ නායක පාර්ලිම


ආර්ථික අර්බුදයට වගකිවයුත්තේ දේශපාලනඥයන් පමණක් නෙවෙයි
2024 අප්‍රේල් මස 01 61 0

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි මැතිවරණ සූදානම කෙබඳුද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවි කරුණානායක මහත සමග කළ සාකච්ඡාවකි.


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන්න බෑ ඒක මිථ්‍යාවක්
2024 මාර්තු මස 19 448 0

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගත් දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සම


ජනපතිවරණයට කලින් මහ ඡන්දය තැබිය යුතුමයි
2024 මාර්තු මස 19 936 0

ඇමෙරිකාවේ මාස කිහිපයක් ගත කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ මහතා ඉකුත්දා මෙරටට පැමිණියේය. මේ ඒ මහතාගේ පැමිණීමෙන් පසු ශ්‍රී ලා


මහ බැංකුව වැටුප් වැඩිකර නොගත්තා නම් හොඳයි
2024 පෙබරවාරි මස 26 91 0

මහ බැංකු නිලධාරීන් සිය වැටුප සියයට 70 කින් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේත් සමාජයෙත් දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. මේ ඒ ගැනත් නව දේශපාලන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site