(විනීතා එම් ගමගේ)
පළාත් පාලන මැතිවරණයේ දී නාමයෝජනා ලබා ඇති පිරිස අතර අපරාධකරුවන් සිටින බව හෙළිවී ඇතැයි පැෆරල් සංවිධානය කියයි.
හරක් හොරුන්, මංකොල්ලකරුවන්, මුදල් වංචාකරුවන්, නීතිවිරෝධී මත්පැනි ජාවාරම්කරුවන් ඇතුළුව විවිධ චෝදනා ලබා සිටින පුද්ගලයින් අපේක්ෂකයන් අතර සිටින බව පැෆරල් සංවිධානය කළ සොයා බැලිම්වලදී හෙළි වී යැයි එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය.
එසේ චෝදනා ලැබු අපේක්ෂකයින් පිළිබඳ තොරතුරු එක්රැස් කරමින් සිටින බව කී හෙට්ටිආරච්චි මහතා එසේ තොරතුරු තහවුරු කරගත් වහාම ඔවුන් පිළිබඳ රටට හෙළි කරන බව ද කීය.
එමෙන්ම මෙම පුද්ගලයින්ට ඡන්දය දෙන්නට එපා යැයි ඡන්දදායකයින් ගෙන් ඉල්ලා සිටින බව කී පැෆරල් විධායක අධ්‍යක්ෂවරයා ඔවුනගේ තොරතුරු සොයා ගැනීම සඳහා පොලිස්පතිවරයාගේ සහය ලබාගැනීමට බලාපොරොත්තු වන බව ද පැවැසීය.
COMMENTS
අපරාධකරුවන්, වංචාකරුවන්, සලෙලුන්, තක්කඩින් තවදුරටත් ඉදිරිපත් කරයි නම් ඕනෑම දේශපාලන පක්ෂයකට අපි විරුද්ධ වන්නෙමු. බුද්ධිමත් විනයක් ඇති මිනිසුන් මේ රටේ නැතිද?
හරක් හොරුන්, මංකොල්ලකරුවන්, මුදල් වංචාකරුවන්, නීතිවිරෝධී මත්පැනි ජාවාරම්කරුවන් විතරක් නොවේ, වවුනියාවේ ප්ලොටේ ත්‍රස්තවාදී කණ්ඩායමේ නායක මෝගන් මෙවර පළාත් පාලන මැතිවරණයේ දී නාමයෝජනා ලබා ඇති පිරිස අතර සිටිනවා.
ඇයි මේ අයගේ නම් ගම් නොදාන්නේ? නීතියෙන් වරද කරුවෙකු වී ඇත්නම් ඔබතුමන්ලා ඒ අයගේ නම් දාන්න. එතකොට ජනතාව දැනුවත්වී වටිනා ඡන්දය නිවැරදි වෙනත් කෙනෙක් සඳහා යොදා ගනීවි.
ඒ කියන්නේ ගැලපෙන සුදුසුම අය පක්ෂ වලින් මේ සැරේ දාල තියෙන්නේ !
බුදුන් වහන්සේ අද ජීවමානව සිටියා නම් පටාචාරාට කියනු ඇත්තේ කෙනෙක් මැරුනේ නැති ගෙදරකින් අබ අහුරක් ගේන්න කියා නොව අපරාධ කාරයින් නැති පක්ෂයකින් හොඳයි කියන්න පුළුවන් ඡන්ද අපේක්ෂකයෙක් සොයා ගෙන එන්න කියලා.
රටට, ජාතියට වැඩ කිරීමට පුදුම උනන්දුවක් මේ අපරාධකරුවන්ට, මංකොල්ලකාරයන් ට තියෙන්නේ. පාර්ලිමේන්තුවේත් වැඩිපුරම ඉන්නේ මේ වගේ අය. විස්මිත රටක්...
පළාත් පාලන මැතිවරණයේදී පමණක් නොවේ. පාර්ලිමේන්තුවේත් උගත්, බුද්ධිමත් ජවයක් තිබෙන අයගේ හිඟයක් ඇත... ඉන්නේ වයස්ගත අය, මංකොල්ල කාරයන්, අනාගත දැක්මක් නැති දූෂිත පාලකයන්.... රටට අනාගතයක් තිබේද?
ඉතින් හරිනේ... දේශපාලකයෙකු වීමට අවශ්‍ය සියලු සුදුසුකම් ඔවුන්ට තියනවනේ.. මීටත් වැඩියෙන් තව මොනවද..?
ගමේ කෙනානේ ඡන්දයට ඉදිරිපත්වෙලා ඉන්නේ... ගමේ අය දන්නවනේ කවුද හොරා, කවුද නොහොරා කියලා, එම නිසා හිතාබලා ඡන්දය දෙන්න.
අපරාධකරුවන්ට නොමිනේෂන් දෙන්නේ පක්ෂ නායකයා ඒ ගැන නොදැන නොවෙයිනේ! එයින් හැඟෙන්නේ නායකයාත් කිසිම හිරිකිතයක් නැතුව අපරාධවලට සහය දෙන බවයි. ජන හතුරන්ට ඡන්දය දීමෙන් වලකින්න!
අපරාධකරුවා සහ ලංකාවේ දේශපාලකයා යනු ගහට පොත්ත මෙනි. මේ දෙක වෙන් කරන එක ලේසි නැත.
බමුණුආරච්චි මහතාණෙනි, වයස්ගත අය යන්නෙන් මා අදහස් කලේ ඔවුන්ට වැඩ කිරීමේ හැකියාව, චින්තනය අඩුයි.. ඒ නිසා තරුණයන්ට තැනක් දෙන්න කියලයි.