පරසිදු ඌව පළාතේ දවුල්දෙණ ග‍්‍රාමයේදී එගම්වැසි ආලෝක මුදියන්සේලාගේ කවුරාල උපාසක මහතා හා ගජනායක මුදියන්සේලාගේ කිරිමැණිකේ යුවතිපතීන්ට ධන්‍ය පුණ්‍ය ලක්ෂණ සම්පන්න පුත‍්‍ර රත්නයකට හිමිකම් කීමේ විරල වාසනාව උදා වෙයි. ඒ වර්ෂ 1915 දෙසැම්බර් මස 31 වැනිදාය. මේ යුවතිපතීන්ට දාව උපත ලැබු මේ කුමරුවාණෝ මවුපිය දෙකුලේ ඥාති හිතමිත‍්‍රාදීන්ගේ සෙනෙහසට පත් වෙමින් කෙළි දෙලෙන් කාලය ගත කළහ. සුදුසු වයස පැමිණි විට අක්ෂරාභාෂය සඳහා මැදවෙල පාඨශාලාවට ඇතුළත් කර වු මේ කුමරුවාණෝ එහිදී දක්ෂ ලෙස තම අධ්‍යයන කටයුතු සිදු කළහ.

මේ අතර ශ‍්‍රමණ ජීවිතය කෙරෙහි ආශා වූ මෙකුමරු ඌමැලේ ශ්‍රී පියරතන මහාස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ ඌමැලේ සිරිපඤ්ඤානන්ද මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ යන දෙනමගේ ආචාර්ය උපාධ්‍යයත්වයෙන් උතුම් පැවිදි දිවියට පිළිපන්හ. ශ‍්‍රමණ ජීවිතය සාර්ථක කර ගැනීමට අවැසි උපදෙස් ගුරු හිමිවරුන්ගෙන් ලද මේ හෙරණපාණෝ උසස් අධ්‍යයන කටයුතු සඳහා කොළඹ, මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනට ඇතුළත් කරනු ලැබූහ. එහිදී එදා විද්‍යෝදය පරිවෙනාධිපත්‍ය හෙබ වූ විද්වද්ජනශේඛරායමාන, පණ්ඩිත ශිරෝමණී කහවේ ශ්‍රී සුමංගල රතනසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ සාහිත්‍ය චක‍්‍රවර්තී පණ්ඩිත ශිරෝමණී බද්දේගම ශ්‍රී පියරතන නායක ස්වාමීන්ද්‍රයන් වැනි ලොව පතළ විද්වත් මහාස්වාමීන්ද්‍රයන් වහන්සේලා වෙතින් සධර්මශාස්ත්‍රොද්ග‍්‍රහණයෙහි යෙදුනහ. මේ අතර වර්ෂ 1943 දී විද්‍යෝදය පිරිවෙනෙහි උසස්ම සහ කීර්තිමත්ම ත්‍යාගය වන ශ්‍යාමරාජ ත්‍යාගයද දිනා ගත්හ. ඒ වන විට උන්වහන්සේ සිංහල, පාලි, සංස්කෘත, ඉතිහාසය, පුරාවිද්‍යාව, ඡුන්දෝලංකාර, ජ්‍යෝතිෂය ආදී ප‍්‍රාචීන භාෂා ශාස්ත‍්‍ර හා හින්දි, ඉංග‍්‍රීසි ආදී ප‍්‍රතිචීන භාෂා පිළිබඳවද ප‍්‍රාමාණික උගතෙකු බවට පත්ව සිටියහ.

ඉන් අනතුරුව තමන්වහන්සේ උගත් ධර්ම ශාස්ත‍්‍රය දානය කිරීමේ කාර්යයෙහි ද නිරත වූ අතර අටැම්පිටියේ විද්‍යාභූෂණ, ගම්පොළ බුවනෙකබා, හුණුපිටිය ශ්‍රී ඥානේශ්වර, මහරගම ධර්මායතන පිරිවෙන වැනි ලක්දිව කීර්තිමත් විද්‍යාස්ථාන කිහිපයකටම තම ශාස්ත‍්‍රීය සේවාව ලබා දුන්හ. එපමණක් නොව විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු ලෙසද ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, තායිවානයේ ලිංයොං විශ්වවිද්‍යාලය සහ තායිවානයේ චුංහ්වා යන ආයතනයන්හි ඡාත‍්‍ර වර්ගය වෙනුවෙන් කරන ලද ශාස්ත‍්‍රීය සේවයද අතිශය ප‍්‍රශංසනීයය. එපමණකින් තම ධර්ම ශාස්තී‍්‍රය මෙහෙවර අත්නොහැරී දවුල්දෙණ ඥානේශ්වර නාහිමියෝ කොළඹ, මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනෙහි ආචාර්ය ධුරයකට පත්ව ධර්ම ශාස්ත‍්‍රීය ඥානය දෙස් විදෙස් ඡාත‍්‍ර වර්ගයා වෙත ඉතා කැමැත්තෙන් ප‍්‍රදානය කළහ.

සකු බස පිළිබඳව සුනිසිත දැනුමකින් හෙබි දවුල්දෙණ ඥානේශ්වර නාහිමියෝ සංස්කෘත කාව්‍ය නිර්මාණ කිහිපයක්ම ලලිතවත් ලෙස සකු බස හසුරවමින් රචනා කළහ. ඒ අතර ආශිඃපුෂ්මඤ්ජරි, යශෝදරා චරිතම්, මහා මහේස්ද්‍රක්‍ෂිණාශ‍්‍රව චරිතම්, ධර්මචින්තා  වෛරාගය චින්තා, ස්වානස්තවකාව්‍යම් හා යතිදුතම් යන කෘති ඉහළින් වැජඹෙයි. මේවා සංස්කෘත පද්‍ය කාව්‍යය ඉතිහාසයේ තවත් කවියකුට නොදෙවෙනි වන නිසර්ඝ සිද්ධ කාව්‍ය ප‍්‍රතිභාව පළ කරන උසස් නිර්මාණ බව සිහි කටයුතුය. දවුල්දෙණ ඤාණිස්සර මහා නාහිමියෝ දක්ෂය, විචක්ෂණය, බුද්ධිමත්ය, අනතිමානීය වයෝවෘද්ධ තපෝවෘද්ධ, ගුණෝවෘද්ධ නිහතමානී ඍජු ගති ගුණ වලින් හෙබි සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක වු උන්වහන්සේට කොයි ආකාරයකින් ගෞරව සත්කාර, සම්මාන කරන්නට දැයි සිතා ගත නොහැකිය. එහෙයින්ම දෙස් විදෙස් නොයෙක් විශ්ව විද්‍යාල හා ආයතන මගින් විවිධ තනතුරු හා නම්බුනාම ප‍්‍රදානය කළහ. ඒ අතර සංස්කෘත චක‍්‍රවර්ථී, ග‍්‍රන්ථ විශාරද, දෛවීභාෂා විශාරද යන නොයෙක් නම්බුනාම වලින් පුදනු ලැබු අතර, ශ්‍රී ලංකා අමරපුර මහාසංඝ සභාව විසින් භාෂාන්තර විශාරද ජිනශාසන කීර්ති ශ්‍රී යන ගෞරව නාමයෙන්ද අමරපුර සිරිසද්ධම්ම නිකායේ එක්නැලිගොඩ පර්ශ්වය මඟින් භාෂාන්තර විශාරද ජිනශාසන කීර්ති ශ්‍රී ෂඞ්භාෂා පරමේශ්වර මහා මහෝපාධ්‍යය යන ගෞරව නාමයෙන් ද අමරපුර සද්ධම්මවංශ නිකාය මගින් සංස්කෘත සාහිත්‍ය චක‍්‍රවර්තී යන නාමයෙන් ද ඇමරිකා කැලිපෝනියා සංඝ සභාව විසින් සාහිත්‍යශූරී සම්මානයෙන්ද, ආසියානු බෞද්ධ සාම සම්මේලනයෙන් සාම රන් පදක්කමක් පිරිනැමිමෙන් ද ගෞරවොපහාර පුද කළහ.

දවුල්දෙණ ඤාණිස්සර මහා නාහිමියෝ ඉන්දියාව, සෝවියට් රුසියාව, මොන්ගෝලියාව, සයිබීරියාව, නේපාලය,  ඕලන්දය, තායිවානය, තායිලන්තය, හොංකොං, සිංගප්පූරුව, ජපානය,  ඕස්ටේ‍්‍රලියාව, හවායි, ලඩාක්, මියන්මාර්, එංගලන්තය, ඇමරිකාව ආදී විවිධ ආසියාතික හා බටහිර රටවලට ද වැඩම කරමින් නිර්මල ථෙරවාදී බුදුදහම ලොවපුරා ව්‍යාප්ත කරන්නට ද විශාල කාර්යභාරයක් ඉටු කළහ.

උන්වහන්සේ අමරපුර නිකායේ උත්තරීතර මහා නායක ධුරය දරමින් සංඝ සාමග‍්‍රිය උදෙසා සිදු කරනු ලැබු සේවාව ප‍්‍රශංසනීය. පිරුණු කළේ දිය නොසැලේ යන උපමාව මැනවින් ප‍්‍රකට කරමින් අපේ නායක මාහිමියන් වහන්සේද, කොතරම් උගත් වුවත්, කොතරම් නම්බුනාම, තාන්නමාන්න ලැබුණත් නිහතමානීත්වයම ජීවිතය කර ගනිමින් ලෝක ශාසනික සේවාවෙහි නිරතව සිටියහ. අපවත් වන විට ස්වකීය දිවි මගේ 102 වන විය සපුරමින් වැඩ සිටියත් සෑම ජාතික ආගමික ප‍්‍රශ්නයකදීම එයට නිසි පිළිතුරු දෙමින් අදීනව කිවයුත්ත ප‍්‍රකාශ කළහ. කෙතරම් සේවාවන් සිද්ධ කළත් උන්වහන්සේ කිසිවිටෙක ලාභාපෙක්ෂා බලාපොරාත්තු වුයේ නැත. අපේ මේ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිදු කළ සේවාවන් අගය කරමින් නොයෙක් තනතුරු සම්මාන ප‍්‍රදානය කළද නාහිමි නිසා පදවි බැබළුනා විනා පදවි නිසා නාහිමි වැජඹුනේ නැත. දවුල්දෙණ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පදවි තානාන්තර වලට ගෞරවයක් වු සේක.

මෙලෙස පැවිදි දිවියේ දශක නවයකට ආසන්න කාලයක් ලෝසසුන් වැඩ වඩමින් උදාරතර ජාතික ආගමික ශාසනික සේවාවක නිරතව සිටි අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක ධුරන්දර, දෛවිභාෂා විශාරද, රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යය, ශ්‍රී සුමංගල විද්‍යාවතංස අති පූජ්‍ය දවුල්දෙණ ශ්‍රී ඥානේශ්වර මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් නිවන් සුව අත්වේවායි ප‍්‍රාර්ථනා කරම්හ.

(ශ්‍රි ලංකා  අමරපුර  මහා සංඝ සභාෙව් සභාපති  ශ්‍රී කල්‍යාණිවංස පාර්ශවෙය් මහා නායක -  ෙදාඩම්පහළ චන්ද්‍රසිරි මහනාහිමි‍)