IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


ලංකාවේදී මංගල සීණු හැඬවූ චීන පෙම්වත්තු

 

මානව ඉතිහාසයේ ආදිතම යුගයේ බිහිවුණු රට රාජ්‍ය අතුරින් චීනයට මුල් තැනක් හිමි වේ. වාර්තාගත තොරතුරුවලට අනුව වසර හාරදහසකට (4000) පමණ ඉතිහාසයක් චීනයට තිබේ. චීනය හා ශ්‍රී ලංකාව අතර නූතන රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 50ක් සපිරුණේ පසුගිය 2007 වසරේදීය. මේ වනවිට එම වසර ගණන 61 දක්වා ඉහළ ගොස් තිබේ. 

 
චීනය හා ශ්‍රී ලංකාව අතර ඇති මෙම සබඳතා තවත් ශක්තිමත් කරමින් දෙරටේ තරුණ තරුණියන් අතර සිදුවූ සාමූහික විවාහ මංගල්‍ය උත්සවයක් පසුගියදා මීගමුව වෙරළ තීරයේ හෝටලයකදී පැවැත්විණි.   


ඓතිහාසික මෙන්ම සම්ප්‍රදායික චිරප්‍රසිද්ධ සේද මාවත ඔස්සේ ඉපැරණි චීන රාජ්‍යය තුළින් මිත්‍රත්වයේ සමාරාධනය ඈත යුගයේ පටන් ලක්දිව වෙත යොමු වී තිබිණි. ආර්ථික හා සංස්කෘතික අංශ හා සම්බන්ධ ද්වීපාක්ෂික මිත්‍රත්වයක් දෙරට අතර බිහිවූයේ ඒ පසුබිම මතය. මෙම සංස්කෘතික බැඳීම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙම විවාහ මංගල උත්සවය සංවිධානය කර තිබුණේ චයිනා ස්ටේට් කන්ස්ට්‍රක්ෂන් ඉන්ජිනියරින් කෝපරේෂන් (China State Construction Engineering Corporation) සමාගමයි.   


මෙහිදී චීන මනාල යුවල 12ක් හා ශ්‍රී ලාංකික යුවල 07ක් ඇතුළුව මංගල යුවල 19ක් විවාහ දිවියට ඇතුළත් වූහ. විවාහපත් සියලුම දෙනා සාම්ප්‍රදායික චීන මංගල ඇඳුමින් සැරසී සිටියහ. එසේම මෙම විවාහ උත්සවයේ තේමාව වූයේ We gathered for belt and road, we are married in Sri Lanka. එනම් ‘අප එකතු වූයේ සංවර්ධනය උදෙසායි. අප විවාහ වූයේ ශ්‍රී ලංකාවේදී’ යන්නයි. මෙහිදී විවාහ වූ චීන හා ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් සියලුදෙනා China's belt and road initiative in Sri Lanka යටතේ වූ ව්‍යාපෘති සඳහා සේවය කරන අතරතුරදී දැන හඳුනාගත් අය වූහ. මෙය චීන රජය විසින් යෝජනා කරන ලද සංවර්ධන උපාය මාර්ගයකි.   


චීන විවාහ මංගල්‍යයකදී දක්නට ලැබෙන බොහෝ සංස්කෘතික අංග මෙහිදී දක්නට ලැබිණි. චීනයේ මෙන්ම අපේ රටේ විවාහ සංස්කෘතියේ පොදු ලක්ෂණයක් වන මනාලයා හා මනාලිය එකිනෙකා අනෙකාව ආදරයෙන් රැකබලා ගන්නා බවට ප්‍රතිඥා ලබාදීම මෙහිදී ද සිදුවිය. ශ්‍රී ලංකාවේ මෙන්ම චීන මංගල්‍ය උත්සවයේදී ප්‍රධාන භූමිකාව හිමිවන්නේ මනාලියටය. මනාලියගේ අලංකාරය මෙන්ම තාලයට අඩිය තබා ඉඟ සුඟ නළවමින් යන ගමන මෙහිදී වඩාත් අවධානයට ලක්​ වේ.   


අපේ කාන්තාව මෙන්ම චීන කාන්තාව ද පුරුෂ ආධිපත්‍යය තුළ පීඩා විඳින බවට මතයකි. විවාහයට පෙර පියාගේ ද විවාහයෙන් පසුව ස්වාමියාගේ ද වැන්දඹු අවස්ථාවේ පුත්‍රයාගේ ද අණසක යටතේ ජීවත්විය යුතුය යන කල්පිත මතයට එරෙහිව සටන් කළේ බිත්ති පුවත්පතක කර්තෘවරියක වූ තුං ෂු චින් නමැති පාසල් ගුරුවරියකි. ඇය ඒ සටන බොහෝදුරට ජයගන්නට සමත් වූවාය.  


මෑතකදී විවාහපත් සෑම කාන්තාවකම තම නැන්දම්මාට අල්පෙනෙති කොට්ට තෑගි කිරීම සාම්ප්‍රදායික අවශ්‍යතාවකි. ඒ වනාහි තම ගෞරවය සංකේතවත් කිරීම සඳහා හා කෘතහස්ත බව පෙන්වීම යන කාරණා දෙකම සඳහාය. එසේ බලනවිට චීන කාන්තාවක් වීම සුන්දර අත්දැකීමකි. එසේ නැතහොත් සුකොමල චීන රූපිකාවකට නැන්දණිය වීම ද නැන්දණියකට සුන්දර අත්දැකීමකි. චීනයේ තත්ත්වය එසේ වුවත් අපේ රටේ නම් තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. අපේ රටේ මනාලියක තම නැන්දම්මාට අල්පෙනෙති ගැසූ කොට්ටයක් ලබාදුනහොත් එය නැන්දම්මා ලේලි සාම්ප්‍රදායික ගිනි ගැටුමට ඉන්ධන සැපයීමක් වනු නොඅනුමානය.  


කෙසේ වෙතත් මෙදින මීගමුවේදී විවාහපත් නව යුවල 19ට මේ අවස්ථාව තම දිවියේ සොඳුරු අත්දැකීමක් වනු නියතය. මෙම අවස්ථාවට සහභාගී වූ චීන තානාපති කාර්යාලයේ පාන්ග් චුන්ක්සු මහත්මිය ප්‍රකාශ කළේ මෙම යුවල එකිනෙකා හඳුනා ගැනීම මගින් නිර්මාණය වූ සබඳතාවක් බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මෙම විවාහ උත්සවය සංවිධානය වූ බවත්ය. එසේම දීප්තිමත් අනාගතයක් සඳහා චීනය හා ශ්‍රී ලංකාව එකිනෙකා සමඟ සහයෝගයෙන් කටයුතු කරනු ඇති බවට ද ඇය මෙහිදී විශ්වාසය පළ කළාය.  


ආරාධිත අමුත්තන් ඇතුළුව 300ක් පමණ දෙනා මෙම උත්සවයට සහභාගී වූ අතර ඉන් බහුතරය චීන ජාතිකයෝ වූහ.

 

 

 


සටහන / ඡායාරූප 
දොම්පේ අජිත් මදුරප්පෙරුම



අදහස් (0)

ලංකාවේදී මංගල සීණු හැඬවූ චීන පෙම්වත්තු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1768 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1452 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site