නදී තෙරදී හමු වූ බමුණන්ගෙන් විශාඛාව ඔබ කොහේ සිට ආවේ දැයි ඇසුවාය. 


අපි සැවැත් නුවරවම්හ. මිගාර සිටුතුමා තමයි එව්වේ. බමුණෝ කීහ.


ඔහුගේ පුතාට කුමරියක් සොයාද?
එසේය. කුමරිය. 


ඔහුගේ නම කවරේද?
 පුණ්ණ වඞ්ඪන. 


තොප ඔහුට මා තෝරා ගත්තාද?
එසේය කුමරිය.


හොඳයි මගේ පියා ධනංජය සිටුතුමායි. එතුමා සමඟ කතා කර ගන්න කීවාය. පියාට අපට යන්න රථ එවන්න යැයි පණිවුඩයක් යැවුවාය. එතුමා රිය එව්වේය. සියල්ලෝම සිටු පායට ගියහ. විශාඛාව පියාට විස්තර කීවාය. සිටුතුමා ඔවුන්ට හොඳින් සත්කාර කළේය. පිටත්කර හැරියේය.


බමුණෝ සැවත් නුවරට ආහ. මිගාර සිටුතුමා හමු වුහ. විස්තර කීහ. එතුමා ධනංජය සිටුතුමා හමුවිය. සරණ මංගල්ලය කථාකර ගත්හ. පුණ්ණ වඞ්ඪන කුමරුට විශාඛා ගෙන ආවේය.


මිගාර සිටුතුමා නිගණ්ඨයන් සරණ ගිය කෙනෙකි. එබැවින් ඔවුන්ට දානයක් පිළියෙල කළේය. ඔවුහු දනට ආහ. සිටුතුමා විශාඛාවට පණිවිඩයක් යැවීය. ඒ රහතන් වහන්සේලා දැක ගන්නට එන්න කියාය. ඈ බෞද්ධ ආගමිකාවක් වූවාය. සතුටින් ආවාය. මේ නිගණ්ඨයන් දැක කෝප වූවාය. චී.චී. මේ කව්ද? ලැජ්ජා බය නැති අය. මොවුන් රහතන් වහන්සේලා වන්නේ කෙසේදැයි ඇසුවාය.


නිගණ්ඨයෝ කෝප වූහ. සිටුතුමනි, මේ කත ගෞතමයන්ගේ ශ්‍රාවිකාවකි. මෑ කාලකණ්ණිය. ඇයි මේ සිටුපායට ඇය ගෙනාවේ එළවා දමන්නයි කීහ.


ආර්යයනි මේ දුව මහා කුලයකය. තවම ළාබාලය. ඈ නොදැන යම් දේ කරන්නීය. ඔබ වහන්සේලා කෝප නොවනු මැනවි සිටුතුමා කීවේය.


නිගණ්ඨයෝ එය පිළි ගත්හ. දානය ගත්හ. යන්නට ගියහ. 


මඳ වේලාවක් ගත විය. පිඬුසිගා වඩින තෙරනමක් සිටු පායට වැඩියහ. ඒ වන විට මිගාර සිටුතුමා අසුනකය. රන්තලියකට කිරි පැණි දාගෙන කයි. තෙරනම දිහාවත් නොබැලුවේය. විශාඛා තෙරුන් වෙත ගියාය.


ස්වාමීනී!  වෙන ගෙදරකට වඩින්න. මගේ මාමා පුරාණය වළඳනවා කීවාය. 


සිටුතුමා කිපුණේය. ඒ පුරාණය යැයි වසුරුවලටත් කියන නිසාය. දැසි දස්සන්ට එන්නැයි කෑ ගැසීය. ඔවුහු දුව ආහ. මෑ මෙතැනින් ගෙන යව. සිටු පායෙන්ද  එළවනු. මෑ නපුරුයි. මා අසුචි කනවා කියනවා. එළවනු කීවේය. කෝපයෙන් දැඟලුවේය.


දැසි දස්සෝ කුමරිය ළඟට නොගියහ. බියේ සිටියහ. විශාඛා හඬ අවදි කළාය. පියාණෙනි මම එසේ බැහැර නොවෙමි. මා මෙහෙට ගෙනාවේ තීර්ථයෙන් දිය අදින කුම්භදාසියක් වගේ නොවෙයි. මවුපියන් ඇති දූවරු එසේ නොයන්නීය. මෙසේ වේ යැයි මගේ පියා මුලින් සිතීය. මා ඔබ පායට එන්න පෙර මෙනුවර සිටුවරුන් අට දෙනෙක් මගේ පියා කැඳවූහ. යම් දිනක මගේ දුවට දොසක් ඇතිවිය හැක. එවිට ඔබ එය පිරිසිදු කරන්න යැයි ඇප කොට ඇත. එබැවින් ඔවුන් කැඳවන්න. මගේ දෝෂ අදෝෂ කරන්න. ඈ කීවාය.


මිගාර සිටුතුමා ඔවුන් කැඳවීය. සිටුවරුනි මම රන් තලියක දමා කිරි පැණි කකා සිටියෙමි. මෑ මා අසූචි කනවා කීවාය. එම නිසා මේ කුමරියට දඬුවම් කරන්න.  මෙහෙන් බැහැර කරන්න කීවේය.


ඔවුහු දුව එසේ කීවේද? ඇසුහ. ඔව් හැබැයි මා කීවේ පුරාණය අනුභව කරනවා කියාය. එයින් මා අදහස් කළේ අසූචී නොවේ.
එසේ නම් කුමක්ද?


පෙර කළ පින්වල ආනිසංස අනුභව කරනවා කියාය. 


සිටුතුමනි දුව යුක්ති සහගතය.


එපමණක් නොවේ එක් මැදියම් රැයක දැසිදැස්සන් සමඟ සිටුපාය පිටුපස්සට ඈ ගියාය. සිටුතුමා කීය.


දුව එසේ කළාද සිටුවරු ඇසුහ. 


ඔව් සිටුපාය පිටුපස වෙළඹක් පැටවකු වැදුවාය. බොහෝ දුක් වින්දාය. මෙහි කිසිවෙක් එය ගණන් නොගත්හ. මම ඔවුන් සමඟ ගොස් වෙළඹට සත්කාර කළෙමි. 


සිටුතුමනි. මේ දුව ඔබ පායේ දැසි දස්සන් නොකරන වැඩ පවා කර ඇත. අපට නම් ඇගේ දොසක් නොපෙනේ. සිටුවරු කීහ. 
මිගාර සිටුතුමා නිහඬවිය. 


(ධම්ම පදට්ඨ කථා ඇසුරිනි)

හලලියේ කරුණාතිලක