දිවයිනේ ලස්සනම දියඇලි කුමක්දැයි ඇසුවොත් බදුල්ල දිස්ත්‍රික්කයේ ඇති දුන්හිඳ, දියලුම, රාවණා, බඹරකන්ද, පීස්ස, මානා යනාදී දියඇලිවල නම් මුලින්ම ඔබ කියනු ඇත.   


ලක්වැසි ඔබ පමණක් නොව විදේශීය සංචාකරයන් ද කියනු ඇත.  එපමණක් නොව හපුතලේ කඳුවැටිය, නමුණුකුළ කඳුවැටිය හා මඩොල්සිම කඳුවැටිය ප්‍රමුඛ බදුල්ල දිස්ත්‍රික්කයේ කඳුවැටි මීදුම් සළු පොරවා දිලිසෙන හැටි මතකයට නැගෙනු ඇත.

 

එහෙත්, ඛේදයකි. බදුල්ල දිස්ත්‍රික්කයේ සුන්දරත්වය විදහා දක්වන මේ ස්ථාන පමණක් නොව සුන්දර කඳුවළල්ල, වන පෙත, වනජීවීන්, දියඇලි, ඇළ දොළ, දිය උල්පත්, කෙත් වතු, තේ වතු මේ සියල්ල දිනෙන් දින විනාශ මුඛයට ඇදවැටෙමින් තිබේ. මේ සියලු විනාශයන් සිදුව ඇත්තේ දිනෙන් දින සිදුකරන පරිසරය විනාශ නිසාය. ප්‍රබලතම පරිසර විනාශය ලෙස සැලකෙන්නේ කැලෑ ගිනිතැබීම්ය. ඌව පළාත පුරා කඳුවැටි ආශ්‍රිත කැලෑබිම් ගිනි රකුසාට බිලිවන අයුරු දිනපතාම දැකිය හැකිය.   


බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා පවසන අන්දමට ඉකුත් වසර දෙක තුළ බදුල්ල දිස්ත්‍රික්කයේ කැලෑ ගිනිතැබීම් 200 කින් අක්කර පන්දහකට වැඩි කැලෑ බිම් ප්‍රදේශයක් විනාශය වී තිබේ .   

 


මෙම පරිසරය විනාශය නිසා දිය උල්පත් සිඳී පානයට පවා ජලය සොයාගත නොහැකිව දහස් ගණනක් ජනයා අසරණව සිටිති. තම ජීවනෝපාය වන ගොවිතැනට ජලය නොමැතිකමින් සුසුම් හෙළමින් බඩගින්නේ සිටිති. නගර, ගම්මාන පිටින් නාය ගොස් ගිලාබැසීමේ අවදානමක් ගැන ගොඩනැගිලි පර්යේෂණ හා භූ විද්‍යාඥයන් කරන අනතුරු හැඟවීම් වඩාත් බිහිසුණුය.   


මේ අතර මෙතෙක් කල් මේ ගිනිතැබීම්වලට හේතුන් සතුන් දඩයම් කිරීම, වගාබිම් සැකසීම හා ‍විනෝදය යන කරුණු බව බලධාරීන් පවසා සිටියත් දැන් මේ විනාශයේ ප්‍රධාන මෙහෙයුම්කරුවන් ‍වැලි ජාවාරම්කරුවන් බව අනාවරණය වී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා මෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බදුල්ල සහකාර දිසා වන නිලධාරි විජිත පරාක්‍රම වනසිංහ මහතා පෙන්වා දෙන්නේය.   


මේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා අදහස් දැක්වූ අයුරුය.


පරිසර විරෝධී ක්‍රියාවන් නිසා මේ වන විට බදුල්ල දිස්‍ත්‍රික්කයේ 69% කට වඩා භූමියක් අස්ථාවර තත්ත්වයට පත්වෙලා තියෙනවා. දැන් මුළු ජන ජීවිතයම ගින්දරක් වෙලා. ඒ ගින්දර අාකාර 03 කින් ඇවිළෙනවා. කැලෑ ගිනි තැබීම, එකොමා සහිත වතුර පානය කිරීම, නායයාම මෙම ගින්දරයි. මීට අමතරව බණ්ඩාරවෙල උමා ඔය උමග නිසා හානිය සිදුව තිබෙනවා. ඒක වෙනම කතාවක්.   


පසුගිය වසරේ සමීක්ෂණ අනුව 69% හැට නමයක්ව තිබූ බදුල්ල දිස්ත්‍රික්කයේ මධ්‍ය සහ දැඩි අවදානම් කලාපය මෙහෙම පරිසර විනාශයක් වෙනකොට සියයට සියයක්ම වේවි. මේවන කොට බදුල්ලේ ගිනි නොගෙන ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් නැති තරම්.   


මම නම් කියන්නේ මේ ගිනි තබන්නන්ට රජ කාලේ දඬුවම් දෙන්න ඕන. නැතිනම් මේ ගිනිජාලයමට දාන්න ඕන. ආහාර නැතිව දවසක් දෙකක් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි වතුර නැතිව ජීවත් වෙන්න බැහැ. ඒ නිසා අපි ඉන්නේ ඒ තරම් බියකරු තැනක. අපේ අනාගත පරපුර වෙනුවෙන් අපි අපේ දේ හරියට නොකළොත් අපේ වළටත් හෙණ ගහපියව්” කියාවි .   


මේ වතුරේ වටිනාකම අපට ‍වඩා හොඳින් දැනගත්තා සියටර්ලා වගේ මිනිසුන්. “මේ ගස් අපේ මස්. මේ ගස් වල අතු අතර අපේ ඇඟ පත. මේ ගලාගෙන යන හීන් දිය කදුරු අපේ ලේ. අපව මරාදාමා මිස කිසිවකුට මේ ගහකට අත පය තියන්න දෙන්නේ නැහැ.” කියපු හැටි අපිට මැවි මැවී මතක් වෙනවා.   

 


ගස්කොළන් ආරක්ෂා කරනවට වඩා මේ දැන් නවීන කර්මාන්ත ආදියෙන් නිර්මාණය වන කාබන් ඇදගෙන අපට හොඳ වාතය දෙන්නේ ගස්. ඒ නිසා මේ ගස්කොළන් රැකීම සඳහා වූ අවශ්‍යතාවය ජීවිතයේ කොටසක් ලෙස සෑම තැන්හිම කතා කරන සකාච්ඡාවට ගතයුතු තැනට අපි පැමිණ තියෙනවා.   


අමු සොහොනක කිරුළ පළඳලා වැඩක් තියෙනවද?   
බදුල්ල දිස්ත්‍රික්කයෙන් අාරම්භ වෙලා ගලන ලොග්ගලා ඔය යම් කිසි හෙයකින් වියළිලා ගියොත් හානියකට පත් වුණොත් ලංකාවේ වැඩිම වී නිෂ්පාදනය කරන අම්පාර දිස්ත්‍රික්කයට ජලය සපයන ඉඟිනියාගල ජලාශය විනාශ වෙනවා. අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්ක දෙකම මහා නිසරු කාන්තාරයක් බවට පත් වෙනවා. කෘෂිකර්ම ආර්ථිකයෙන් ජීවත් වන ප්‍රදේශවලට ජලය දීමට නොහැකි වුවහොත් මහා වියළි කාන්තාර බවට පත් වෙනවා.   


ඒ වගේමයි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහවැලි ගඟ. මේ වැලි හෑරීමත් මේ ගිනිතැබීමත් මේ ගංගා කළමනාකරණයේ දුර්වලතා එක්ක අස්ථාවර භාවයකට පත් වුණත් පොළොන්නරුවේ, පරාක්‍රම සමුද්‍රය, මින්නේරිය වැව, ගිරිතලය වැව, කවුඩුල්ල කියන ප්‍රධාන වාරි අක්‍රිය වෙලා පොළොන්නරුව ප්‍රදේශයත් මහා කාන්තාර නිර්මාණය වෙයි. අනුරාධපුරයත් එහෙමයි. මාවිල්ආරු පහත් බිම්.   
 ජලය ගලාගෙන නොගියොත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කන්තලේ ඉවරයි. මාවිල්ලාආරුවට වතුර නොගියොත් මහවැලි කලාපයේ සී කලාපය සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා.   


මේක මහා සංක්‍රාන්ති අවස්ථාවක්. ලංකාවේ මිනී මරාගන්න ප්‍රධානතම ව්‍යාපාරය තමයි වැලි. මේ බදුල්ලේ මාංශය තමයි අර මනම්පිටියෙන් හා මහියංගණයෙන් වැලි වශයෙන් මාකට් කරන්නේ. කලකට පෙර කපුටු ඇහැ වගේ නිල් පාට වතුර ගංගාවල ගලාගෙන ගියා. දැන් අපේ මහ පොළොව ගින්දර එක්ක නිරාවරණය වෙලා. දැන් කඳුකරය තියෙන්නේ හිස මුඩු කළ තට්ටයක් වගේ. ඉතින් මේ තත්ත්වය යටතේ අපේ මේ කඳුකරය මේ තත්ත්වයෙන් හරි ආරක්ෂා කර දුන්නේ මාන ගස් ටික. ඒවත් දැන් ගිනි රකුසාට බිලිවෙනවා.   
“මේ විනාශය ගැන මුළු රටම අවධානය යොමුකළ යුතු කාලයක් යැයිද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.   

 


වනයට අධිපති වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ කැලෑ රකිනවද?   
අපි ඇසූ පැනයට වැඩ බලන බදුල්ල දිසා වන නිලධාරි විජිත පරාක්‍රම වනසිංහ මහතා මෙසේ පිළිතුරු දුන්නේය.   
ඔව්. වනාන්තර රැකගැනීමේ වගකීම අපට මෙන්ම සමස්ත ජනතාවට තිබෙනවා. අපිට සිටින සීමිත නිලධාරීන් සංඛ්‍යාවෙන් උපරිම සේවයක් දෙන්න උත්සාහ කළත් විශාල ප්‍ර​ෙද්ශයක සීඝ්‍ර​ෙයන් පැතිර යන ගින්නක් පාලනය කරන්න අමාරුයි.   


මේ සඳහා බොහෝ අවස්ථාවල ආරක්ෂක අංශවල නිලධාරින්ගේ සහාය ලැබෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ ගිනි පැතිර යන ප්‍ර​ෙද්ශවලට ළඟා වීමේ අපහසුව මෙන්ම පවතින වියළි කාලගුණය සහ සුළං නිසා ගින්න පැතිරයාමේ වේගයත් වැඩියි.


“බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක්‍් නොව ඌව පළාත පුරා මේ දිනවල කැලෑ ගිනි ගැනීම් සිදුවෙමින් තිබෙන බව” ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පැවසීය.   


බණ්ඩාරවෙල නගර වැසියන්ට මෙන්ම දියතලාව යුධ හමුදා කඳවුරට හා රෝහලට ජලය සපයන ජාතික ජලසම්පාදන මණ්ඩලයේ ජල මූලාශ්‍රයන් සිඳීයමින් තිබෙන තත්ත්වය නිසා බණ්ඩාරවෙල නගරයට මාසයකට දෙවරක් සපයන ජලය තවදුරටත් සීමා කිරීමට සිදුව ඇතැයි ද ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් දැනුම් දී ඇති බව ද ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය.   


බුද්ධදාස රජතුමා විසින් ආරම්භකර ඇතැයි පැවසෙන බිබිල නිල්ගල ඖෂධ උයන සහිත රක්ෂිතයටද ගිනි තබා මහා විනාශයක් කර ඇති බව සඳහන් කළ ප්‍රධාන අමාත්‍යවරයා, ඌව පළාත පුරා සිදුවෙමින් පවතින ගිනිතැබීම් පිළිබඳව විමර්ශනය කර සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසට ඌව පළාතේ සියලු පොලිස් ස්ථානවලට උපදෙස් දී ඇති බවද අවධාරණය කළේය.

- බදුල්ලේ
පාලිත ආරියවංශ