(ඩයනා උදයංගනී)

සාමය හා තිරසාර සංවර්ධනය සඳහා අවශ්‍ය කරුණු ක්‍රියාත්මක නොවීමෙන් අර්බුදයක් කරා ගමන් කළ රටකට ශ්‍රී ලංකාව උදාහරණයක් වී ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

අධික උද්ධමනය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් හයලක්‍ෂ තිස්දහසකට පමණ ආහාර හිඟතාවයක් ඇතවී තිබෙන බව කී හිටපු ජනාධිපතිවරයා මේ අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු ලෙස ජාත්‍යන්තරයේ සහයෝගීතාවය සහ සහෝදරත්වය තමා ගෞරවයෙන් අපේක්‍ෂා කරන බව සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ පිලිපීනයේ මැනිලා නුවර පැවැති 2022 ජාත්‍යන්තර නායකත්ව සමුළුවේ ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමිනි.

සාමය හා තිරසාර සංවර්ධනය සඳහා ප්‍රශස්ත ආණ්ඩුකරණය, ස්ථායී ව්‍යාපාරික පරිසරය, සම්පත් සමසේ බෙදීයාම, සියල්ලන්ගේ අයිතීන් පිළිගැනීම, අසල්වැසි රටවල් සමඟ හා කලාපීය වශයෙන් පවත්නා සබඳතාව, නිදහස් තොරතුරු ගලනය, දියුණු මානව ප්‍රාග්ධනය, වංචා, නාස්තිය හා දූෂණය අවම කිරීම අවශ්‍ය බව ආර්ථික විද්‍යාව හා සාමය සම්බන්ධ ජාත්‍යන්තර ආයතනය මගින් ප්‍රකාශ කර ඇතැයි කී මෛත්‍රීපාල සිරිසේන මහතා එම කරුණු ස්ථාපනය නොවීමෙන් අර්බුදයක් කරා ගමන් කළ රටකට ශ්‍රී ලංකාව උදාහරණයක් බව කණගාටුවෙන් වුවත් කීමට සිදුව තිබෙන බව ද කීවේය.

දශක තුනකට ආසන්න කාලයක් පැවති සිවිල් යුද්ධය අවසන්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ බිඳවැටී තිබූ ආර්ථිකය ප්‍රකෘතිමත් වනු ඇතැයි ශ්‍රී ලාංකිකයන් පමණක් නොව ජාත්‍යන්තර ප්‍රජාව පවා අපේක්‍ෂා කළත් දැන් රට දැවැන්ත ආර්ථික අර්බුදයක සිරවී සිටින බව කී හිටපු ජනාධිපතිවරයා ඒ නිසා මතුවූ දැවැන්ත දේශපාලන අස්ථාවරත්වය සහ ජන ජීවිතයේ අඩාලවීම දරාගත නොහැකි බව ද පැවසීය.

සාමකාමී නොවන රටක්, භූ දේශපාලනික කලාපයක් සංවර්ධනය නොවන බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා භූ දේශපාලනික න්‍යාන පත්‍රයක් ක්‍රියාවට නැංවෙන නොමිනිස් දඩබිමක් බවට පත්වන බව ද කීවේය.