(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

අක්‍රමිකවත් මූල්‍ය කළමනාකරණය හේතුවෙන් ඇති වී තිබෙන මූල්‍ය අර්බුදය පිළිබඳව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කරන ලෙස ඉල්ලා වාණිජ මණ්ඩලය හිටපු සභාපතිවරයකු සහ මහජන ක්‍රියාකාරි චන්ද්‍රා ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවෙකු ලෙස නම්කල හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට ලබන අගෝස්තු මස 01 වන දින අධිකරණයට කරුණු දක්වන ලෙසට නියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) නොතීසි නිකුත් කළේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කරනු ලැබීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග කළේ ඒ මහතා පදිංචිව සිටි නුගේගොඩ මිරිහාන නිවසට ගොස් මේ සම්බන්ධ නොතීසිය බාරදෙන ලෙසට ය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටි එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  වත්මන් ජනාධිපතිවරයා ලෙස තේරී පත් පත්වූ බැවින්, මෙම පෙත්සමේ වග උත්තරකාරභාවයෙන් ඔහු ගේ නම ඉවත් කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වන හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට අධිකරණයකින් අවසරයකින් තොරව විදෙස්ගත වීම වළකාලමින් නිකුත් කර තිබූ තහනම් නියෝගය ලබන අගෝස්තු මස 02 වැනිද දක්වා දීර්ඝ කරන බවද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.

හිටපු මහ බැංකු අධිපතිවරුන් වූ අජිත් නිවාඩ් කබ්රාල්, ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල යන මහත්වරුන් අධිකරණයේ අවසරයකින් තොරව විදෙස්ගත නොවන බවට අධිකරනයට ලබා දී ඇති පොරොන්දුව ද ලබන දෙවැනි දා දක්වා බලපැවැත්වෙන බව ද අධිකරණය ප්‍රකාශ කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙසේ නියෝග නිකුත් කළේ දෙපාර්ශ්වයේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවය .

අගවිනිසුරු ජයන්ත ජයසූරිය , බුවනෙක අලුවිහාරයේ, එල්. ටී. බී දෙහිදෙණිය, විජිත් මළල්ගොඩ සහ  මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැනිණි.