(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනකුට සහ තානාපතිවරුන් දෙදෙනකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය අද (22) හිමිවූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය.

එම කාරක සභාවේ අනුමැතිය මෙසේ ලැබී ඇත්තේ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය ජේ.එම්.උදිත් කේ. ජයසිංහ සහ මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස
යන මහත්වරුන්ටය.

මෙයට අමතරව ඉතාලි ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ජගත් වැල්ලවත්ත මහතා පත්කිරීමට විදේශ අමාත්‍යාංශය ගෙන ඇති තීරණයට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ලැබිණ.

වැල්ලවත්ත මහතා  ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය සඳහා  මෙයට පෙර යෝජනා වී තිබිණ.

නයිජීරියානු ෆෙඩරල් ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය හොබවන ජේ.එම්.ජානක ප්‍රියන්ත බණ්ඩාර මහතා මියන්මාර් මහජන සමූහාණ්ඩුවේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කර යැවීමටද අනුමැතිය හිමිවූ බව දසනායක මහතා පැවසීය.

කතානායක  මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම කාරක සභා රැස්වීමට අමාත්‍යවරුන්වන නිමල් සිරිපාල ද සිල්වා, ඩග්ලස් දේවානන්දා, බන්දුල ගුණවර්ධන, රාජ්‍ය ඇමැතිවරුන් වන විශේෂඥ වෛද්‍ය  සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, විදුර වික්‍රමනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  අනුර ප්‍රියදර්ශන යාපා, විජිත හේරත්, රිෂාඩ් බදියුදීන් සහ තලතා අතුකෝරල යන මහත්ම මහත්මීහුද  සහභාගී වූහ.