(බිඟුන් මේනක ගමගේ)
19 වැනි සංශෝධනය යනු රට ඉල්ලා සිටි දේශපාලන පරිවර්තනයේදී එක තැනක සිට තවත් තැනකට යන කාලය දක්වා වූ තාවකාලික ලැගුම්හලක් යැයි ද එය පරිපූර්ණ වන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කර පාර්ලිමේන්තු ක්‍රමයකට යෑමෙන් යැයි ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතිඥ ජාවෙඩ් යුසුෆ් මහතා 'ලංකාදීප' යට පැවසීය.
මෙම දේශපාලන පරිවර්තනයේ නිම නොකළ වැඩ කොටස පැවැරී ඇත්තේ ඊළඟට පත්වන ආණ්ඩුවට වුවත් එය සිදුවනු ඇත්තේ ඇත්ත වුවමනාවක් තිබුණහොත් පමණක් යැයි නීතිඥ ජාවෙඩ් යුසුෆ් මහතා කීය.
ජනාධිපති හා අගමැති යන ධූර දෙකම එකම පක්ෂයකට ලැබුණොත් මේ ගැටලුව විසඳාගැනීම පහසු කරනු ඇතැයි ඇතැමුන් නගන තර්කයෙහි කිසියම් සත්‍යක් තිබුණත් පුද්ගලයා යන සාධකය ද දේශපාලනයේදී වැදගත් යැයි ද ඒ මහතා සඳහන් කළේය.
කවර සීමාසහිතකම් පැවැතිය ද 19 වැනි සංශෝධනයේදී ජනාධිපතිවරයා හැටියට මෛත්‍රිපාල සිරිසේන මහතා කළ කැපකිරීම් ප්‍රශංසනීය යැයි කී හෙතෙම 19 වැනි සංශෝධනය යථාර්ථයක් වූයේ ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන් වෙත පුද්ගලිකව කතාබහ කර ඊට ලබාගත් සහාය නිසා යැයි අවධාරණය කළේය.
රාජ්‍ය නායකයා පවා විවේචනය කිරීමට තරම් ඉදිරිගාමී ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් එමගින් නිර්මාණය වූ නමුත් එහි උපරිම වාසි ගනු ලබමින් සිටින්නේ ප්‍රජාතන්ත්‍රවිරෝධී දුෂ්ට බලවේග විසින් යැයි නීතිඥ යුසුෆ් මහතා චෝදනා කළේය.
ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් තමන්ට දුන් දේශපාලන පොරොන්දු පත්‍රය වෙනුවෙන් එකාවන්ව වැඩ කරනු ඇතැයි යන ජනතා අපේක්ෂාව ජනපති හා අගමැති දෙදෙනාම භංග කළේ යැයි ද යුසුෆ් මහතා සඳහන් කළේය.
COMMENTS
"පුද්ගලයා යන සාධකය ද දේශපාලනයේදී වැදගත්". ඔබ එහෙම කිව්වට මහත්තයෝ, අපේ රටේ ඒක විතරයි වැදගත්. නීතිය හෝ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් හෝ වෙන මොන දෙයක්වත් කිසිම වැදගම්මක් නැහැ. ඕනෑම නීතියක් තමන්ට උවමනා පරිදි වෙනස් කරන්න, නායකයින් කටයුතු කරන හැටි අපි දශක ගානක් තිස්සේ දැක්කනේ. කන්න හිතුනහම කබරයත් තලගොයා කරන නායකයෝ හැර වෙන පුද්ගලයෝ අපට හිටියද, දැන් ඉන්නවද? පුද්ගලයා යටපත් කරමින් නීතියේ ආධිපත්‍යය රජකෙරෙන ආණ්ඩුක්‍රමයක් අපට ලැබෙන තුරු, නාගානන්ද කොඩිතුවක්කු වගේ කෙනෙක් එනතුරු, ඔහොම යං.
ඔයාලගේ ඔය මහා ලොකු අර්ථකතන කෙසේ වුනත්, රට මේ තරම් දුරට අසාර්ථක සහ පසුබෑමට ලක්වීමට ප්‍රධාන හේතුව ඔය 19 වන සංශෝදනයයි. මේ රට ඔය ස්වාධින කොමිසම් යොදා පාලනය කල නොහැකි බව අප මුලින්ම තේරුම් ගත යුතුයි. ඒකට හේතුව අප රටේ මුලින්ම ස්වාධීන පුද්ගලයන් බිහිවිය යුතුයි. එසේ නොමැතිව කොමිසම් පිහිටුවා ඒවාට ස්වාධීන නොවන පුද්ගලයන් පත්කිරීමෙන් ලැබෙන ප්‍රතිපලයක් නැහැ.
කථාව සම්පූර්ණ ඇත්ත