(විනීතා එම් ගමගේ)

වයස අවුරුදු 18ට අඩු ළමයින් 45000 කට ආසන්න පිරිසක් මෙහෙකාර සේවය ඇතුළු ශ්‍රම බලකායේ සිටින බව කම්කරු දෙපාර්තමේන්තුව කියයි.

එය සමස්ත ළමා ජනගහනයෙන් සියයට එකකි.

මෙම පිරිස අතරින් වැඩිම ළමා ශ්‍රමිකයන් සංඛ්‍යාවක් සේවයේ යොදවා ඇත්තේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්වල බව ද ඔහු පෙන්වා දුන්නේය.

දකුණු ආසියාතික රටවල් හා සංසන්දනයේ දී ශ්‍රී ලංකාව සතුටුදායක තැනක සිටින නමුත් රටක් ලෙස සතුටුවිය නොහැකි යැයි කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අද (27) පැවසීය.

2022 වසර ජාත්‍යන්තර ළමා ශ්‍රමය පිටුදැකීමේ වසර ලෙස ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් නම් කර ඇති බව ද චන්ද්‍රකීර්ති මහතා කීය.

ඒ අනුව ලබන වසර අවසන් වන විට ගණිකාවෘත්තිය, අසභ්‍ය වී‍ඩියෝ පටවලට පෙනී සිටිම, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, වැනි නරකම ආකාරයේ කටයුතුවලට ළමයින් යොදවා ගැනීම සම්පූ‍ර්ණයෙන් නතර කිරීමට පියවර ගන්නා බවට ජාත්‍යන්තර කම්කරු සංවිධානය සමග ශ්‍රී ලංකාව එකඟතාතවයකට පැමිණ ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

එමෙන්ම 2025 වෙද්දී ළමා ශ්‍රමය සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට ද එම සංවීධානය සමග එකගතාවකට ආ බවත් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේය.