(නිමල කොඩිතුවක්කු)

රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන බවට පවසා බලය ගත් ආණ්ඩුවට රටේ භාණ්ඩ මිල වත් පාලනය කිරීමට නොහැකි වී ඇතැයි සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹදී පැවසීය .

රටේ භාණ්ඩ මිල පිළිබඳ තීරණ ගනු ලබන්නේ වෙලද මාෆියාව බවත් ජනතාවට සහන ලබා දීමට නොහැකි නම් අඩු තරමින් පාලන මිලට හෝ  භාණ්ඩ ලබා දීමට කටයුතු කරන ලෙස  ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් අත්තනායක මහතා සඳහන් කළේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

  "ආණ්ඩුව කිසිම ලැජ්ජාවක් නැතුව නිවේදනයක් නිකුත් කරලා  භාණ්ඩ ගණනාවක මිල ඉහළ දැමීමක් මේ යෝජනා කරනවා. කෝවිඩ් වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගේ තවදුරටත් භාණ්ඩ වැඩි කිරීම හරහා ඔවුන්ට ජීවත් වෙන්න අපහසුතාවක් ඇති වෙනවා. දෛනික ආදායම බිඳවැටිලා. සේවා ස්ථාන කඩාගෙන වැටිලා.

රැකියා ස්ථාන අහිමි වෙලා. මෙවැනි අවස්ථාවක ජනතාවට සහන දෙනවා වෙනුවට ආණ්ඩුව අත්‍යවශ්‍ය භාණ්ඩ වල තවදුරටත් මිල වැඩි කරමින් සිටිනවා.  මුදල්  ප්‍රශ්න ඩොලර් ප්‍රශ්න තිබෙනවා නම් එයට ආණ්ඩුව මැදිහත් විය යුතුයි.

වෙළෙඳපොළ සහල් හිඟයක් ඇති වෙලා සහල් මාෆියාවක් නිර්මාණය කරලා ආණ්ඩුව ලොකු ටෙලිනාට්‍යයක් පෙන්වා සහල් මෝල් වලට ගිහිල්ලා සහල් අත්අඩංගුවට ගත්ත කිව්වා. නමුත් මොකක්ද සිදු වුණේ ආණ්ඩුව රාජසන්තක කරානම් ලබා ගත්ත සහල් වෙළඳපොලේ තිබිය යුතුයි.මෙය සම්පූර්ණ රඟපෑමක්. ආණ්ඩුව නිකුත් කරපු ඒ ගැසට් එකත් දැන් රිවස් කරලා තියනවා.

බඩුමිල සමාගම් වලට ඕන විදියට මිල වැඩි කරන්න ආණ්ඩුවක් අවශ්‍ය නැහැ. වත්මන් ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් එම වගකීම සම්පූර්ණයෙන් බැහැර කරලා රට අයාලේ යන්න ඉඩ ඇරලා දැන් කයිවාරු ගැහනවා මෙ සදහා  කරුණාකර මැදිහත්වී ජනතාවට සහන ලබාදිය යුතුයි.