
(විනීතා එම් ගමගේ)
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් වැඩ බිම් හා සේවා ස්ථානයන්හි හිතුමතේ සේවක කප්පාදු කර ඇති බවට ලැබී ඇති පැමිණිලි ගැන සතියක් ඇතුළත වාර්තාවක් සපයන්නැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කම්කරු කොමසාරිස් ජනරාල් ඒ විමලවීර මහතාට නියෝග කර ඇත.
මේ වනවිට පැමිණිලි 50 කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බවට තොරතුරු ඇති බැවින් එකී පැමිණිලි සම්බන්ධව මෙන්ම ඒවා සම්බන්ධව මේ වනතෙක් කම්කරු දෙපාර්තමේන්තුව මෙතෙක් ගෙන ඇති පියවර ගැන ද වෙන වෙනම තමන් වෙත වාර්තා කරන්නැයි ද කම්කරු අමාත්‍යවරයා නියෝග කර තිබේ.
කිසිදු සේවකයෙකු ඉවත් නොකිරීමට මාර්තු මාසයේ පැවැත්වූ කොවිඞ් 19 කම්කරු කාර්ය සාධක බලකා රැස්වීමේ දී හාම්පුතුන් එකඟ වූ නමුත් විවිධ ආයතන, මේ වනවිට හිතුමතේ සේවක පිරිස් එළියට දමමින් සිටින බවට ඉකුත් දා පැවති කම්කරු කාර්ය සාධක බලකායේ රැස්වීමේ දී වෘත්තිය සමිති විසින් කරන ලද පැමිණිලි අනුවය.
මේ සම්බන්ධව තම සමිති විසින් කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කළත් මේ වනතුරුත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද වෘත්තිය සමිති විසින් අමාත්‍යවරයා වෙත පැවැසීම නිසා අමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබේ.
මේ අතර රජය හාම්පුතුන්ට මේ මාසය දක්වා අවසර ලබා දුන් සේවකයින්ට අඩ වැටුප් ගෙවීමේ ක්‍රමය දෙසැම්බර් මාසය දක්වා දික් කරන ලෙස හාම්පුතුන්ගේ සංගම් කළ ඉල්ලීම අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කළ බව කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
සංචාරක ක්‍ෂෙත්‍රය හැර අනෙක් අංශ මේ වනවිට යථා තත්ත්වයට පත්වෙමින් ඇති බැවින් අඩ වැටුප් ඉල්ලීමට පක්ෂව අමාත්‍ය මණ්ඩලයට කරුණු කිව නොහැකි බව අමාත්‍යවරයා එහි දී පෙන්වා දුන්නේ යැයි කී එම නිලධාරියා තම නිෂ්පාදන කටයුතු තවමත් පහත වැටී පවතින්නේ නම් ඒ බව තහවුරු වන දත්ත සහ සංඛ්‍යා ලේඛන මීළඟ සාකච්ඡාවට ඉදිරිපත් කරන්නැයි ද ඒ වෙනුවෙන් යම් සාධාරණයක් ඉටුකරන්නට කම්කරු අමාත්‍යංශය සළකා බලන බව ද ඔහු සඳහන් කළේ යැයි ද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේ ඉක්මණටම හොයා බලනවා නම් ගොඩක් හොඳයි. මේ ගැන ඉක්මණටම හොයාබලන්න... මැරිලා වැඩගත්තු අපිට ලොකු අසාධාරණයක්....