(සුජිත් හේවාජුලිගේ )

ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලටද ව්‍යාප්තව ඇත් දැයි සෙවීම සඳහා තවත් පරීක්ෂණ වටයක් අද (28)අරඹන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

මේ පරීක්ෂණ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල කොරෝනා ආසාදිතයන්ගේ සාම්පල සියයකට ආසන්න ප්‍රමාණයක් තම අධ්‍යයන අංශයට ලැබී ඇති බවත් සාම්පල වැඩිම සංඛ්‍යාවක් ජාන විශ්ලේෂණ පරීක්ෂණයට ලක් කෙරෙන මෙරට පළමු අවස්ථාව මෙය බවත් ආචාර්යවරයා ප්‍රකාශ කළේය.

මෙසේ ඉදිරිපත් කර ඇති සාම්පල අතර සැකකටයුතු සාම්පල කීපයක්ද වන බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සාම්පල පිළිබඳ පරීක්ෂණ සතියක් ඇතුළතදී අවසන් කර එහි ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද ජීවන්දර මහතා පැවසුවේය.