(හිරාන් ප්‍රියංකර ජයසිංහ) ‍

 
හලාවත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට රාජකාරි ගිනි අවියෙන් වෙඩි තැබීමට සූදානම් වූ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනමට ලක්කර, ඒ සම්බන්ධයෙන් අදාළ නීතිමය කටයුතු ආරම්භ කර ඇති බව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා අද(26) පැවසීය.

 
වැඩ තහනමට ලක්ව ඇත්තේ හලාවත මූලස්ථාන පොලිසියේ රාජකාරි කළ පොලිස් සැරයන්වරයෙකි. සිද්ධියට මුහුණ පා ඇත්තේ, හලාවත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සෙනරත් එදිරිසිංහ මහතාය.
 
සිද්ධියත් සමග පොලිස් සැරයන්වරයාගේ රාජකාරි ගිනි අවිය පොලිස් භාරයට ගෙන තිබුණි.
 
පොලිස්පතිවරයාගේ උපදෙස් මත ඊයේ රාත්‍රියේ සිට අදඅලුයම දක්වා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදි අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා හා පොලිස් සැරයන්වරයා අතර බහින් බස්වීමක් සිදුව තිබිණි.  කෝපයට පත්වූ පොලිස් සැරයන්වරයා තම රාජකාරි ගිනි අවියෙන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට වෙඩි තැබීමට සූදානම් වෙද්දි ඒ ආසන්නයේ සිටි තවත් පොලිස් නිලධාරියකු එය වළක්වා ඇති බව තිබිණි.
 
අදාල පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති අතර, මොහු හලාවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.