(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රජයේ බාරයේ සිටින සියලු සිරකරුවන්ගේ ආරක්ෂාව ගැන තමා  සහතික වන බව  අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රී ඉමිටියාස් බාකීර් මාකාර් මහතා ඉදිරිපත් කළ  සභාව කල්තබන අවස්ථාවේ  යෝජනාව පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව කරමිනි.

අධිකරණ ඇමැතිවරයා එහිදී මෙසේද කීවේය.

කාලෝචිත යෝජනාවක් ඉදිරිපත් කිරීම ගැන ඉමිටියාස් බාකීර් මාකර් මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙනවා. බන්ධනාගාර පද්ධතියේ  විශාල දියුණුවක් සිදු විය යුතු බව අප පිළිගන්නවා. කොළඹ බන්ධනාගාරවල එක්කෙනෙකුට සිටිය හැකි  ඉඩ ප්‍රමාණය තුළ සිරකරුවන් හතර දෙනෙකු සිටිනවා. මේක අවුරුදු හැත්තෑවක් තුළ ඇතිවුණු තත්ත්වයක් අද ඊයේ ඇති වුණු දෙයක් නොවේ.

බන්ධනාගාර ආඥා පනත අපි සම්පූර්ණයෙන්ම සංශෝධනය කරනවා.

යටිතල පහසුකම් වැඩි දියුණු කර තිබෙනවා.නව තාක්ෂණය හඳුන්වා දීමට පටන් ගෙන තිබෙනවා. බන්ධනාගාර සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා වෙනම වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු කරගෙන යනවා. කොළඹ තියෙන සියලු බන්ධනාගාර හොරණ මිල්ලනිය ප්‍රදේශයට ගෙනියනවා. එතන දස ගුණයක ඉඩම් ප්‍රමාණයක් තිබෙනවා.  දඩුවම වෙනුවට පුනරුත්ථාපනය කියන ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අප බැඳී සිටිනවා.

මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකාර් මහතා සභාව කල් කල්තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කරමින් මෙසේ පැවසීය.

මෙරට බන්ධනාගාරවල අද පවතින තත්වය ශිෂ්ට සම්පන්න ලෝකයට ගැළපෙන්නක් නොවේ.  මෙය අපේ රටේ වටිනාකම්වලට ගැලපෙන තත්වයකුත්  නොවේ. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට ගැලපෙන තත්ත්වයක්ද නොවේ.  බන්ධනාගාරවල සිදුවන දේවල් රටට නින්දාවක්.

අප රටේ අද තියෙන්නේ කල් ඉකුත්වී ගිය බන්ධනාගාර ක්‍රමයක්. බන්ධනාගාරවලට එන සැකකරුවන් බරපතළ  අපරාධකරුවන් බවට පත්වීමේ  ප්‍රවණතාවක් මේ නිසා  අද ඇතිවී තිබෙනවා. සිරකරුවන්ට  මානුෂීය අයිතීන් භුක්ති විදීමට අයිතියක් තියෙනවා. සාධාරණ නඩු විභාගයක් සඳහා ඔවුනට අයිතිය තිබෙනවා.යුක්තියේ සර්ව සාධාරණ රැකවරණය සඳහා ඔවුනට අයිතිය තියෙනවා.එහෙත් මේ සියල්ල පසුගිය කාලයේදී අභියෝගයට ලක් වුණා.

මෙය නීති විරෝධී තත්වයක්.සදාචාර විරෝධී තත්වයක්.මේ තත්ත්වය ජාත්‍යන්තර මානව හිමිකම් පිළිබඳ ප්‍රමිතීන් උල්ලංඝණය  කිරීමක්.එක්සත් ජාතීන්ගේ මූලික මූලධර්ම පවා උල්ලංඝණය කිරීමක්.

මේ මූලධර්ම වලට ගරු කරන තත්වයක් අපි අපේ රටේ ඇති කරගත යුතුයි. සිරකරුවෝද මනුෂ්‍යයෝය යන තේමා පාඨය ප්‍රදර්ශනයට පමණක් සීමා නොකළ යුතුයි.

මා කියන්නේ සිරකරුවන්ට සුඛෝපභෝගී ජීවිත ලබා දෙන්න කියලා  නොවෙයි. සිරකරුවන් මනුෂ්‍යයන් විදියට පිළිගන්නවා නම් ඔවුනට හරි නින්දක් නිදා ගැනීමට පුළුවන් වෙනවා.පිරිසුදු කෑම වේලක් ලබා ගත හැකි තත්වයක් ලැබෙනවා. අද සමහර මාධ්‍ය වාර්තා අනුව බන්ධනාගාර අපායකට  සමාන වෙනවා.සිරකරුවන්ට සිදුවන කෲර සැලකීම ගැන අපේ රටේ මාධ්‍ය අද කතා කිරීමට පටන් ගෙන තිබෙනවා. එය හොඳ ප්‍රවණතාවක්.

මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය මට මතකයට එනවා.  සිරකරුවන් අටදෙනකු එතැනදී  මියගියා.ඒ සිද්ධිය  ඇතිවුණේ එහි තිබූ අධික තදබදය නිසයි. ප්‍රමාණවත් පහසුකම් නොතිබූ නිසයි. මීට අමතරව අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේදී සිරකරුවන්ට එල්ලවූ ම්ලේච්ඡ ප්‍රහාරය අපි මාධ්‍යවල  දැක්කා. බන්ධනාගාර ඇමැතිවරයාට  ඉල්ලා අස්වීමට සිදු වූ සිද්ධියත් ඉතාම වාසනාවන්තයි. ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත අයුතු ලෙස පාවිච්චි කරමින් සිදුකර ඇති අත්අඩංගුවට ගැනීම් රඳවා ගැනීම්  ආදිය නිසා මානව අයිතීන් උල්ලංඝණයවී තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා යෝජනාව ස්ථිර කරමින් මෙසේ පැවසීය .

බන්ධනාගාරවල සිද්ධීන් කිහිපයක් පසුගිය දිනවල ඇතිවුණා. අනුරාධපුරය බන්ධනාගාරයේ  සිරකරුවන්ට තර්ජනය කිරීම ගැන බන්ධනාගාර හිටපු ඇමැතිවරයාට චෝදනා එල්ල වුණා. රාජ්‍ය ඇමැතිවරයාගේ ක්‍රියාකලාපය සාමාන්‍ය ක්‍රියා ක්‍රියාකලාපයක්  නොවෙයි. එය කමිටු දාලා හොයන්න ඕන දෙයක් නොවේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදවා කළ යුතු පරීක්ෂණයක්. ඒක අපරාධයක්.අපරාධයකට උත්සාහ දැරීමක්.
එතනදි ක්‍රියාත්මක වෙන්න ඕන අපරාධ නීතිය.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා:

බන්ධනාගාර ගත සිරකරුවන්ට අද ජීවිත තර්ජන ඇතිවෙලා තියෙනවා. මෙය කනගාටුදායක තත්වයක්. සැකකරුවන් බන්ධනාගාරවලදී ඝාතනයට ලක් වෙනවා නම් ඒක බරපතළ  තත්ත්වයක්. මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්නයක්. සිරකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට  අද රජයට හැකිවී නැහැ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා:

බන්ධනාගාරවල අද තත්වය ඉතාම ශෝචනීයයි . සිරකරුවන්ගේ  මානව අයිතිවාසිකම් සපුරන්න හැකිවෙලා නැහැ.
සීමිත ඉඩකඩක විශාල පිරිසක් ඉන්නවා.

මෙම විවාදයේදී කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ ,මඩකළපු දිස්ත්‍රික් මන්ත්‍රී චාණක්‍ය රාසමානික්කම්  යන මන්ත්‍රීවරුද  අදහස් දැක්වූහ