ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය එස්.ඩී.එම්. චින්තක

(ගයාන් සූරියආරච්චි)
ගෑස් ටැංකියක අඩංගු ප්‍රොපේන් සහ බියුටේන් යන සංයෝගවල සංයුතිය වෙනස් වූ පමණින් එය ස්වාභාවිකව පිපිරී යාමට ඇති ඉඩකඩ ඉතා අඩුබව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය එස්.ඩී.එම්. චින්තක මහතා පවසයි.

යම් හේතුවක් මත ටැංකියකින් ගෑස් කාන්දුවීමක් සිදුවුව හොත් ප්‍රොපේන් වායුව වාතයට වඩා බර බැවින් ටැංකියේ අඩියේ තැන්පත් වන බවත් යම් හෙයකින් ගිනි පුපුරක් ඊට ළං වුවහොත් විශාල තාපයකට ගෑස් ටැංකිය නිරාවරණයවීම නිසා පිපිරීමක් ඇතිවිය හැකි බවත් මහාචාර්යවරයා කීය.

මේ දිනවල හිස් ගෑස් ටැංකිවලට ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බැවින් ප්‍රමිතියක් නොමැති හෝ ඉවත දැමූ ගෑස් ටැංකි නැවත භාවිත කළ හොත් එවැනි පිපිරීම් සිදුවිය හැකි බවත් ගෑස් ටැංකියක ඇති පීඩන තත්ත්ව අනුව පුපුරා ගිනි ගැනීමේ අවස්ථා ඉතා අඩුබවත් හෙතෙම පැවැසීය.
අප කළ විමසුමක පිළිතුරු දෙමින් මහාචාර්යවරයා මෙසේද පැවැසීය.

“ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක ප්‍රධාන වශයෙන් ප්‍රොපේන් සහ බියුටේන් සංයෝග අඩංගු වන අතර ප්‍රොපේන් සංයෝගයේ තාප අංකය සෙන්ටි්‍රගේ්්‍රඩ් අංශක සෘන 42 ක් සහ බියුටේන් සංයෝගයේ තාප අංකය සෘන 0.4 ක් වශයෙන් ද ඉතා සුළු වශයෙන් බියුටීන් සහ ප්‍රොපීන් යන සංයෝගද පවතිනවා. ගෑස් කාන්දු වූ විට දුඟද හමන ඊතේන් තයෝල් වායු සංගයෝගයද ඉතා කුඩා වශයෙන් ගෑස්වලට එකතු කරනවා. 

ප්‍රොපේන්, බියුටේන් යන වායු පීඩනය වැඩිකිරීම මගින් ද්‍රව බවට පත් කර ගෑස් ටැංකි ලෙස භාවිතයට පැමිණෙනවා.  මෙහිදී ප්‍රොපේන් ද්‍රව බවට පත් කිරීම සදහා වැඩි පීඩනයක් අවශ්‍ය වෙනවා. එම පීඩනය දරාගත හැකි පරිදි එම පීඩනය මෙන් පස්, හය ගුණයකින් ශක්තිමත් පරිදි ගෑස් ටැංකිය නිපදවෙනවා.

ඇමෙරිකාවේ ගෑස්වල සියයට 100 ක් ප්‍රොපේන් සංයෝගය අඩංගු වන අතර නවසීලන්තයේ ගෑස්වල ප්‍රොපේන් සියයට 60 ක්, බියුටේන් සියයට 40 ක් වශයෙන් පවතිනවා. ඉතාලියේ බියුටේන් සියයට 80 ක් සහ ප්‍රොපේන් සියයට 20 ක් වශයෙන් පවතිනවා. මෙහි ඇති අනුපාතය උෂ්ණ සහ සීත රටවල් අනුව වෙනස් කිරීම සිදුකරනවා. 

සාමාන්‍යයෙන් ගෑස් ටැංකියක් ස්වාභාවිකක පිපිරීමට නම් කිලෝ පැස්කල් 6000 කට වඩා පීඩනය වැඩි විය යුතුයි. සියයට 100 ක් ප්‍රොපේන් සංයෝගය අඩංගු ගෑස් සිලින්ඩරයක් නම් සෙල්සියස් අංශක 20 දී එය ද්‍රව බවට පත්කිරීමට කිලෝ පැස්කල් 1000 ක පමණ පීඩනයක් අවශ්‍යවෙනවා. 

ගෑස් ටැංකිය තුළ ආරක්ෂිත වෑලයක් පවතින අතර පීඩනය කිලෝ පැස්කල් 2500 දී පමණ එම වෑලය විවෘතවීම සිදුවෙනවා. ප්‍රොපේන් සහ බියුටේන් සංයුති සහිත ගෑස් ටැංකියක පීඩනය කිලෝ පැස්කල් 1000 ට වඩා ඉහළ යන්නේ නෑ. ” යැයි මහචාර්යවරයා පැවැසීය