(ඩයනා උදයංගනී සහ දයාරත්න ඇඹෝගම)
තිස් වසරක යුද්ධයේ දී දිවි පිදූ සහ ආබාධිත තත්වයට පත් රණවිරුවන්ට උපහාර දැක්වීමේ අරමුණින් අනුරාධපුර පුජා නගරයේ ඉදිකෙරුණු ‘සඳ හිරු සෑය’ වන්දනා මාන කටයුතු වෙනුවෙන් විවෘත කරමින්, සඟ සතු කොට පූජා කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (18) සිදුකෙරිණි.
උව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නා හිමියන් විසින් දේවාරාධනාව සිදුකිරීමෙන් අනතුරුව මහා සංඝරත්නයේ ජය පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සඳ හිරු සෑයේ කොත නිරාවරණය කිරීම සිදුවූයේ තිස් වසරක ත්‍රස්තවාදී යුද්ධය අවසන් කිරීමට නායකත්වය ලබාදුන් හිටපු ජනාධිපති, වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අතිනි.
මෙහි ඉදිකිරීම් 2010 වසරේ දී ආරම්භ වූයේ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයාව සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්‍ෂක ලේකම්වරයාව සිටියදී ඔවුන්ගේ මූලිකත්වයෙනි.
මානුෂීය මෙහෙයුම 2009 වසරේ මැයි මස 19 වනදා නිමා කරමින් යුද්ධය නිම කිරීම තෙක් සිදුකළ තිස් වසරක යුද මෙහෙයුම්වලදී රට වෙනුවෙන් දිවි පිදූ 29,000 ක් වන රණවිරුවන් සහ තුවාල ලැබූ සහ ආබාධිත තත්වයට පත් 37,000 ක පමණ රණවිරුවන් කළ අමිල කැපකිරීම සදා අනුස්මරණය කිරීම සඳහිරු සෑය ඉදිකිරීමේ අරමුණ විය.
මෙහි ඉදිකිරීම් කටයුතු සිදුවූයේ ද රණවිරුවන් අතින්මවීම විශේෂත්වයකි.
බුබ්බුලාකාර හැඩයෙන් ඉදි කෙරුණු සඳහිරු සෑයේ උස අඩි 282 කුත් අඟල් 6 ක් වන අතර එය උසින් දෙවැනි වන්නේ අනුරාධපුර රුවන්වැලිසෑයට පමණි.
එහි විෂ්කම්භය අඩි 255 ක් වන අතර වට ප්‍රමාණය අඩි 801කි. සඳහිරුසෑය ඉදිවන සම්පූර්ණ භූමිය අක්කර 13ක් වන අතර වැලි මළුව අක්කර 6ක් රූඩ් එකක් හා පර්චස් 30 ක් වේ. සලපතළ මළුවට අක්කර 4 ක් හා රූඩ් 2 ක් අයත්ටය.
ආරම්භක සැලසුම අනුව මෙහි සියලු වැඩ කටයුතු 2016 වසරේදී අවසන් කිරීමට යෝජිතව තිබුණත් පසුගිය යහපාලන රජය සමයේ එහි ඉදිකිරීම් අතරමග නැවතීම හේතුවෙන් ඉදිකිරීම් අවසන් කිරීම කල්ගොස් තිබිණි.
මෙම වෛත්‍ය රාජයාණන් වහන්සේ සඟ සතු කොට පූජා කිරීමේ අවස්ථාවට මහා සංඝරත්නය, මැති ඇමතිවරුන්, ආරක්ෂක ලේකම්, විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින්, යුද්ධයේදී දිවිපිදූ රණවිරුවන්ගේ දෙමාපියන්, අඹුදරුවන්, ආබාධිත රණවිරුවන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
සඳහිරු සෑය විවෘත කෙරුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණ සැමරුම සහ අග්‍රාමාත්‍යවරයාගේ ජන්ම දිනය යෙදී තිබූ දිනයේදී මෙන්ම ඉල් පුර පසළොස්වක පොහෝ දිනයේදීවීම විශේෂත්වයකි.











COMMENTS
ලංකාවේ සෑම පන්සලකම චෛත්‍ය තිබේ.සඳහිරු මහ සෑය සහ වෙනත් පන්සල්වල සැය වල වෙනස කුමක්ද .සඳහිරු මහ සෑය සසුනට පූජා කල යුතු වන්නේ රාජපක්ෂලා විසින්ම ඔවුන්ගේම මුදල් වියදම් කොට සෑදු වානම් පමණි
සඳහිරු සෑය සඳහා මහින්ද රාජපක්ෂ මැතිතුමා මුල් ගල තියන්නේ මීට වසර 1700ට පමණ පෙර රහතන් වහන්සේලා විසින් කිසිදා නොකරන ලෙසට රාජ්‍ය පාලකයන්ට ලබා දුන් උපදේශයක් අමු අමුවේ ඉවත දමමිනි. අනුරාධපුරයේ මහා සෑයයන් සාදා ඇත්තේ වෙනත් ලෝක සහ දිව්‍ය තලවල සිටින වැසියන් සමග මෙලොව වෙසෙන දිව්‍යාත්ම සංනිවේදනය කරන මාර්ගයක් ලෙසයි. සඳහිරු සෑයත් සමගම ඒ සන්නිවේදන ජාලය බිඳ වැටුණි. මේ සාපය නිසා මහින්ද රාජපක්ෂ මැති තුමාට ඉතා අපල කාලයක් උදාවූ අතර අද සිට ගෝඨාභය රාජපක්ෂ මහතා දේව සාපයට ලක්වී උමතු වීමට ඉඩ ඇත.
ඥාන අක්ක බලන්න ගියේ නැත්ද ? වැඩිය දුර නැහැනෙ ඔතන ඉඳල, ගිහිල්ල නූලක් බැඳන් එන්න .
දේශපාලන භේද එපා. මියගිය රණවිරුවන් සහ මායිම් ගම්මානවල ජීවත් වූ අපේ ලාංකික ජනතාවට පින් අනුමෝදන් කරමින් සහ යුද්ධයේදී අනතුරට පත්වූ හා ත්‍රස්තවාදීන්ට එරෙහිව යුධ වැදුණු සියලු රණවිරුවන්ට මෙන්ම ජනතාවට සෙත් පතා අපිත් සාදුකාර දෙමු. 2016 අනුරාධපුර යනකොට ඔතන වැඩ අතරමග පාළුවට ගිහින් තිබුණේ. නැවත යන්න පුළුවන් දිනක අටමස්ථානය වගේම වඳින්න යන තවත් තැනක්.
කෝ හරියට ස්තුපයේ පින්තුරයක් නැහැනේ බලාගන්න අපට
මෙතන සෙනග එකතුවෙලා ඉන්නකොට කොවිඩ් හැදෙන්නේ නැද්ද? සෙනග එකතු වුනාම කොවිඩ් බෝවෙන්නේ විපක්ෂයේ අයට විතරද?
අදින්නාදානා වේරමනී සික්ඛාපදන් සමාධියාමී....!
සෑයක් හෝ වෙහෙරක් නිමවන්නේ බුද්දශාසනය කාරණා කර ගෙනය. යුද්දයකදී එහිසී මියගියවුන් සිහිකිරීම වැදගත් වුවත් සෑයක්සදා වන්දනාමාන කිරීම සුදුසුද?. මෛත්‍රිය කරැණාව සහ උපේක්ෂාව මින් මතුවේද?. බුදුදහම දේශපාලනීකිරීම තවත් අවස්තාවක්ද?. යුද්ධයක් නැවත නැවත ජනතාව අතර විකිණීමක්ද?.
චෛත්‍ය වන්දනාවට සිය ගණනින් එකතුවෙන එක සෞඛ්‍යය බලධාරීන් අනුමත කලාද දන්නේ නැහැ නේද ? "එක රටක් එක නීතියක්" වගේ පෙනෙන්නේ නම් නැහැ.
රට වටේ කොච්චර වෙහෙර විහාර පංසල් පල්ලි කෝවිල් තිබ්බත් රටෙ අස්සක් මුල්ලක් නෑර හොරැ මංකොල්ල කාරයෝ බිහිවෙලා ඉවරැයි, අනික පාලකයෝ ආගම දේශපාලනික උවමනා වෙනුවෙන් අවභාවිතා කරනු ලබයි, චෛත්‍ය නිර්මාණය කල පමණින් හෝ ඒවා විවෘර්ත කීරීමෙන් ජනතාවගේ ගැටලු නිරාකරණය නොවනු ඇත, විවෘර්ත කරන ලද චෛත්‍ය සසුනට කීවාට ඕකත් ඔතනම තියෙන රැවන්වැලි සෑයේ පංසලටම අයිති වෙයි, ඊට පස්සේ දැනට තියෙන පරණ ධර්මපීඨය තිබුන ස්ථානයක් රැවන්වැලී සෑ පන්සලටම පූජා වෙවී, ආගම පූජකයා විසින් වගේම, පාලකයා විසින්ද, අනුගාමිකයා විසින්ද ස්වකීය පෞද්ගලික පරමාර්ථ වෙනුවෙන් යොදාගනු ලබයි...
පව් වහගන්න තමයි මේවා කරන්නේ.
ඉතාමත් වටිනා වැඩක් කව්රු කෙරුවත්. අනේ සාදු
ප්‍රධාන මිනිසා - සරත් ෆොන්සේකා අනාරාධිතයි !
රටත්, ආගමත්, සංස්කෘතියත්, විනාශ කල පවුලක් විසින් මේ පන්සල ආරම්භ කල බවයි.
යුද්ධේ කරපු කෙනා නැහැනේ.? විකාර කියන්නේ මේවට තමා.
හිතන්නට යමක්......."ආරම්භක සැලසුම අනුව මෙහි සියලු වැඩ කටයුතු 2016 වසරේදී අවසන් කිරීමට යෝජිතව තිබුණත් පසුගිය යහපාලන රජය සමයේ එහි ඉදිකිරීම් අතරමග නැවතීම හේතුවෙන් ඉදිකිරීම් අවසන් කිරීම කල්ගොස් තිබිණි.....
එහෙම ආවට ගියාට දා ගැබ් වුනත් හදන්න බෑ.මිනීමරුවන්ට කොහෙත්ම බෑ. මිරිසවැටියට මොකද වුනේ?
එක්කෙනෙක් විතරක් මාස්ක් එකක් දාන්නේ නැතිව ඇවිල්ල ඉන්නේ මමයි ලොක්ක කියල එයාගේ උද්දච්ච් කම පෙනන්නද ?
මිනිස්සු ගෑස් පෝලිමේ බදු ගිනි ගණන් කන්ඩ නැහැ මේ අය සමරු පාලක විවෘත කරනවා.
ඔය සල්ලි වලින් යුද්ධය නිසා අභාධිතව ඉන්න රණවිරුවන් වෙනුවෙන් යමක් කරන්න තිබුනා නේද.?
රජය විසින් සංවිධානය කරනු ලබන මහජන රැස්වීම්වලදී කොවිඩ් වෛරසය අක්‍රියයි.
"ජයං වේරං පසවති - දුක්ඛං සේති පරාජිතෝ උපසංතෝ සුඛං සේති - හිත්වා ජය පරාජයං" ජයග‍්‍රහණය වෛරය උපදවයි. එය දුකින් තැවෙන පරාජිතයෙකු ඉතිරි කරයි. ජය පරාජය යන තත්වයන් දෙකම අත්හරින්නා සුවසේ සිටියි. (ධම්මපද , සුඛ වග්ග - 5)
අපේ නායකතුමාලා පුද්ගලික වියදමින්ද දන්නෙ නැහැ මේ සෑය හැදුවේ. සොහොන් කොත් එහෙමත් හැදුවයි කියන්නේ? කරලා තියෙන පින් කන්දරාව හැටියට මොන ලෝකෙට යයිද ?
කෝ සරත් ෆොන්සේකා....? යුද්ධය උත්සන්න වෙනකොට පැනලා ගිහිල්ලා අවුරුදු ගණනාවකට පස්සේ රින්ගාගත්ත කෙනෙක්නේ මෙතන වීරයා වෙලා ඉන්නේ....? සිංහ හම පොරවාගත් පිස්සු නරියාගේ කථාව අහලා තියෙනවාද?
මේවා දැකලා නොදැක්කා වගේ සිටීමත් රටට කරන අපරාධයක්. කෝ..? ජනාධිපතිගේ මාස්ක් එක..? එක රටක් එක නීතියක්ලු.. එයා හිතාගෙන ඉන්නේ නීතිය එයාට බලපාන්නේ නැහැයි කියලා වෙන්න ඇති. සෞඛ්‍ය බලධාරීන් කියන ආණ්ඩුවේ බත්බැලයින්ට වත් කොන්දක් නැහැ නේද මේ උද්දච්ඡ මිනිහාට මාස්ක් එකක් පළඳින්න කියන්න... අසේල ගුණවර්ධන ඔබ තවදුරටත් ඔය පුටුවේ සිටිය යුතු කෙනෙක් නොවෙයි. ඔහොම යං නන්දේ... නීතිය මුක්තියෙන් වහන්න බැහැ. ඒ බව ඔප්පුවේවි ඔය ජනාධිපති කියන ටයිටල් එක ගහලා ගිය දාට. ජම්පර් අඳින්න ටික ටික පුරුදු වෙන්න.