(එම්.සුසිල් ප්‍රියන්ත,හෙමන්ත ද සිල්වා සහ ඥාණදාස රම්මුතු)

2004 වර්ෂයේ සිදු වූ සුනාමි ව්‍යසනයෙන්  ජීවිත හානි සිදුවූවන් වෙනුවෙන් ඉදිකළ තෙල්වත්ත පැරෑලිය සුනාමි අනුස්මරණ ස්මාරකය අභියසදී 17 වැනි සුනාමි අනුස්මරණ උත්සවය දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්විණි.

මීට වසර දාහතකට පෙර සිදු වූ සුනාමියට හසුවූ මරදානේ සිට මාතර දක්වා ධාවනය වූ අංක 50 දරණ එන්ජිම සහිත දුම්රියේ ගමන් ගත් 1200කට අධික පිරිසක් මියගියහ.

සුනාමියට අසු වූ දුම්රියේ ගමන් ගත් පිරිසගේ ඥාතීහු කොළඹ තෙල්වත්ත පැරෑලිය දුම්රිය ස්ථාන ගියහ.

සුනාමියට අසු වූ දුම්රිය එන්ජිම සහිත දුම්රියකින් මේ අනුස්මරණය සදහා පැමිණීම විශේෂත්වයකි.

ආපදාකළමණාකරන මධ්‍යස්ථානය හා පැරෑලිය සුනාමි අනුස්මරණ කමිටුව ඒකාබද්ධව සංවිධානය කළ මේ සුනාමි අනුස්මරණය සදහා සර්ව ආගමික පූජකවරුන්ද සහභාගීවී සිටියහ.

සුනාමි ව්‍යසනය එදා අපේ රටට පැමිණි වේලාව සිහිකරමින් විනාඩි දෙකක නිශ්ශබ්ධතාවයකින් මේ අනුස්මරණය ආරම්භ කෙරුණු අතර පැරෑලිය පදුමගබ්බාරාම විහාරාධිපති ආචාර්‍ය පැරෑලිය විමල හිමියන් ඇතුළු මහා සංඝරත්නය විසින් සුනාමි ව්‍යසනයෙන් මියගිය අය සිහිකර මතක වස්ත්‍ර පූජාවක් සිදු කොට පැන්වැඩීමද මීට සමගාමීව සිදු කෙරිණ.