(විනීතා එම් ගමගේ)
ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයා තෝරාගෙන සන්ධානය හැදීම නොව සන්ධානය හදා එහි සාකච්ඡා කර අපේක්ෂකයා තෝරා ගැනීම සිදු කළ යුතු යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමගියට කවුරුන් හෝ විරුද්ධ වන්නේ නම් ඒ එජාපයේ ජය ප‍්‍රාර්ථනා කරන අයෙක් යැයි ද ගම්මන්පිල මහතා කීය.
ජනාධිපතිවරණයක දී ජය ගත හැකි එකම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බව ජාතිකවාදී හා වාමවාදී කඳවුරු දෙකෙහිම මතය බවත් කලින් ජාතිකවාදී කණ්ඩායම එම මතයේ හිඳිද්දී වාමවාදී කණ්ඩායම් එය ප‍්‍රතික්ෂේප කළ බවත් හෙතෙම කියා සිටියේය.
කෙසේ වෙතත් පුළුල් සන්ධානයක දී මේ කරුණ පිළිබඳව සාකච්ඡා කර එකඟතාවකට පැමිණිය යුතුයැයි ද අවශ්‍ය වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයකට ඉදිරිපත් කර බලා හිඳීමට නොව ඔහු ජයග‍්‍රහණය කර ජනාධිපති පුටුවේ අසුන් ගැන්වීම යැයි ද ගම්මන්පිල මහතා කියා සිටියේය.
ජනාධිපතිවරණයක දී වැදගත් වන්නේ පක්ෂය හෝ ලකුණ නොව පුද්ගලයා බවත් අවශ්‍ය වන්නේ සියයට පණහ ඉක්මවා ඡන්ද ලබා ගැනීම බවත් කී මන්ත‍්‍රීවරයා ඒ සඳහා එජාපයට එරෙහිව හැදිය හැකි පුළුල්ම සන්ධානය හැදිය යුතු යැයි ද පැවසීය.
මේ අතර සුමන්තිරන් මන්ත‍්‍රීවරයා කර ඇති ප‍්‍රකාශයක් ගැන අදහස් දැක්වූ ගම්මන්පිල මහතා ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කර ඇතැයි අගමැතිවරයා යාපනයේ දී පිළිගත් බවට සුමන්තිරන් මහතා කර ඇති ප‍්‍රකාශය අගමැතිවරයා විසින් පිළිගන්නේ දැයි විමසා සිටියේය.
අගමැතිවරයා එවැනි ප‍්‍රකාශයක් කලේ නම් ඔහු ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගි නොවිය යුතු යැයි ද එවැනි ප‍්‍රකාශයක් කිරීමට ඇති සාක්ෂි ඉදිරිපත් කළ යුතු යැයි ද ගම්මන්පිල මහතා පැවැසිය.
පළාත් සභාව උතුරු නැගෙනහිර ජනතාවට නැතුවම බැරි නම් පළාත් සභා ජනතාවගේ ප‍්‍රශ්න විසඳනවා නම් දැන් උතුරු සහ නැගෙනහිර පළාත් වල පළාත් සභා ඉල්ලා ජනතාව පාරට බැස උද්ඝෝෂණ කළ යුතු යැයි පැවසූ මන්ත‍්‍රීවරයා ඔවුන්ගෙන් උද්ඝෝෂණයක් තබා හින් කෙඳිරිල්ලක්වත් නැතැයි ද පැවසීය.
මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ පිවිතුරු හෙළ උරුමය ප‍්‍රධාන කාර්යාලයේ දී අද (18) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එම මාධ්‍ය හමුවට පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ මහජන නියෝජිත ලේකම් උපුල් කෝණාර මහතා සහ දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත‍්‍රිනී ධර්මා කෝට්ටේගොඩ මහත්මිය ද මෙම අවස්ථාව සදහා සහභාගී වූහ.
COMMENTS
කාටවත් කියකියා ඉන්නේ ඉල්ලන්නකෝ...!!! කතාව ඉවරයිනේ එතකොට... හැබැයි ඉතින් 100 ගානේ දෙන්න නම් බැරියෝ..
වටේ ඉන්න මේ කාලකණ්ණින් ඉන්නකම් කවුරු අපේක්ෂකයා වුණත් ඔය සංධානේ නම් ගොඩඑනවා බොරු...
මෙයා කියනවා වගේ පළාත් සභාව නම් උතුරු නැගෙනහිරට පමණක් නොවේ. මුළු රටටම වැඩක් නැහැ. දැනට දකුණ සහ උෟව හැර අනිකුත් සියලු පළාත් සභාවල් අහෝසිවෙලා තියන්නේ. රටට හෝ ජනතාවට මොකද්ද වෙච්ච පාඩුව?
මෙයා කියනවා වගේ ජනාධිපතිවරණයේදී පක්ෂ හෝ ලකුණු වැදගත් නොවේ නං, ගෝඨාභයට ස්වාධීන තරග කරන්න පුළුවන්නේ...
මේ පළාත් සභා, ප්‍රාදේශීය සභා තියන්න දඟලන්නේ රටට නොව තමන්ට තියෙන ආදරයටයි. ජනතාවට වැලේ වැල් නැති වුනත්, කේවට්ටයන් තම පැවැත්මටම තමයි මේ දඟලන්නේ. ඇත්තටම මේ රට කන, රටේ මුදල් කන ඔය සභානැතිව මේ පුංචි රටේ මහා ආණ්ඩුවක් පමණක් තියෙනවා නම් මොන තරම් මහජන මුදල් සම්භාරයක් ඉතිරි වෙනවද? ආණ්ඩුව ඇතුලේ තවත් ආණ්ඩු දෙකයි. සියඹලාණ්ඩුව විතරයි අඩු... හික්මීමක් විනයක් නැති මේවායේ සිටින සමහර හාල්පාරුවන්ගෙන් රටට වනුයේ අවැඩකි..
දැන්වත් මේ වගේ මිනිස්සු කියන විහිලු කතා තේරුම් ගෙන කටයුතු කලොත් හොඳයි.
මෙතුමා ඉල්ලුවොත් නම් උඩිම්ම දිනයි ෂුවර්. රටටම ඉන්නේ පිවිතුරු එක්කෙනයි .