(නිමල කොඩිතුවක්කු)

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහනේ 'ජන සුවය' සමාජ සත්කාර වැඩසටහනෙහි 32 වන පියවර ලෙස රුපියල් ලක්ෂ හැත්තෑ හයක් වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලට පිරිනැමිණි.

සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම අත්‍යවශ්‍ය රෝහල් උපකරණ තොගය කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහල් අධ්‍යක්ෂ, වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා වෙත බාර දුන්නේය.

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු සදහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මෑණියන් වන හිටපු ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස මැතිණියගේ 87වන ජන්ම දිනය සිහිපත් කරමින් මෙවර විපක්ෂයෙන් හුස්මක් වැඩ සටහන ක්‍රියාවට නංවා තිබිණ.

මීට පෙර අවස්ථා 31ක් තුල ලක්ෂ 896 ක රෝහල් උපකරණ ලබාදීමට සමගි ජනබලවේගය කටයුතු කළේය.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ "ජනසුවය" ව්‍යාපෘතිය එක්ව "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.