( තිළිණි ද සිල්වා )

කොවිඩ් පූර්ණ එන්නත් කරනයට ලක් වූ සංචාරක ගමනාන්තයක් ලෙස ඉදිරි මාස තුන තුළදී 20,000- 30,000ත් අතර සංචාරකයින් පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමටත්, ලබන වසරේ දී සංචාරකයින් ලක්ෂ පහමාරක් දිවයිනට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (28) කොළඹදී පැවසීය.

මේ වන විට ශ්‍රී ලංකාවට ගුවන් සමාගම් විස්සක් පමණ සෘජු ගුවන් ගමන් ආරම්භ කර මගින් රැගෙන එන බවත් රුසියානු ප්‍රංශ, ඉතාලි, ඊශ්‍රායල් ගුවන් සමාගම් ඇතුළු තවත් ගුවන් සමාගම් හතක් ඉදිරියේ දී ශ්‍රී ලංකාව සමඟ සමග සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානමින් සිටින බවද  සංචාරක අමාත්‍යවරයා කියා සිටියේය.

මෙරට සංචාරක ව්‍යාපාරයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබදව දැනුවත් කිරීම සදහා කොල්ලුපිටිය සංචාරක අමාත්‍යාංශයේ අද (28) පැවති සාකච්ඡාවක දී මෙම අදහස් පළ කළේය.