(ඩයනා උදයංගනී)

තමන් විශ්වාසභංග යෝජනාවලට හොඳින් මුහුණ දී ඒවා පරාජය කර අත්දැකීම් ඇති කෙනෙක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

තමාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවෙන් විපක්‍ෂය සිය දේශපාලන නොදන්නාකම ප්‍රදර්ශනය කර ඇතැයි ද ඇමතිවරයා සඳහන් කරයි.

පළාත් සභා ඇමතිවරයෙක් ලෙස තමන් කටයුතු කළ 2011 වසරේදීත් මට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වූ බවත් විපක්‍ෂයේත් ආණ්ඩුවේත් සහයෝගයෙන් එය පරාජය කරන්න හැකිවූ බවත් ඇමතිවරයා කියයි.

ඔහු මේ බව පැවසුවේ මුල්ලේරියාව ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

උදය ගම්මන්පිල මහතා මෙසේ ද කීවේය.

“සමඟි ජන බලවේගය මට විරුද්ධව ගේන්න යන විශ්වාසභංගය පොඩි එකාගේ ලියුම වගේ. විපක්‍ෂනායකතුමා ලිඛිත ප්‍රකාශයක් කරමින් කිව්වේ ඉවත්විය යුත්තේ ගම්මන්පිල නොව ආණ්ඩුව බවයි. විපක්‍ෂනායකතුමා එසේ කියා තිබියදී විපක්‍ෂයේ මන්ත්‍රී පිරිසක් මට එරෙහිව විශ්වාසභංගයක් ගෙනඒමෙන් පැහැදිලි වන්නේ එතුමාගේ ප්‍රකාශය ගැන විපක්‍ෂ මන්ත්‍රීන්ට විශ්වාසයක් නැති බවයි. එබැවින් මෙය සැබැවින්ම මට එරෙහිව නොව විපක්‍ෂනායකතුමාට එරෙහිව ගෙනා එකක්. ඒ වගේම මෙය සාගර කාරියවසම් මහතා අපහසුතාවට පත්කිරීමේ උවමනාවෙන් ගෙනාවා විය යුතුයි.” යනුවෙන් ද ඇමතිවරයා කීවේය.