( සිතුම් චතුරංග)
           

වවුනියාව, සෙට්ටිකුලම, මැණික්ෆාම් ප්‍රදේශයේ ඉපැරණි පුරාවිද්‍යා ස්මාරක සහිත ස්ථානයක් කිසියම් පිරිසක් ඩෝසර් රථ යොදාගනිමින් විනාශ කිරීමකට ලක් කර ඇත.

යුද හමුදාව විසින් පවත්වාගෙන යන ගොවිපොළක ආසන්නයේවූ මෙම පුරාවිද්‍යා ස්ථානය ඩෝසර් රථ යොදාගනිමින්  විනාශ කර  තිබේ.            

අනුරාධපුර යුගයට අයත් බවට සැලකෙන ගල් කණු රැසක පාදම් හා පුරාවිද්‍යා ස්මාරක කිහිපයක් එලෙස විනාශ වි ඇති අතර ඇතැම් පුරාවිද්‍යා සළකුණු තිබූ ස්ථානයෙන් ඉවත්කොට ඇති බව ගැමියෝ කියති.

මෙලෙස සෙට්ටිකුලම ප්‍රදේශයේ ස්ථාන රැසක පුරාවිද්‍යා උරුමයන් සංවිධානාත්මක පිරිසක් විනාශ කර ඇති බවත් මෙම ක්‍රියාව සිදුකල පිරිසට එරෙහිව තවමත් නීතිමට ක්‍රියාමාර්ග ගෙන නොමැති බවද ප්‍රදේශවාසීහු චෝදනා කරති.

සාමාන්‍ය පුරවැසියකු විසින් පුරාවිද්‍යා ස්ථානයක් විනාශකළේ නම් ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අදාල ස්ථානය ඩෝසර් රථ යොදා විනාශකර සතියකට අධික කාලයක් ගතවූවද විනාශකළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන නොමැති බව පැවසීය.

ප්‍රදේශවාසීන් පැවසූයේ සෙට්ටිකුලම ප්‍රදේශයේ පවත්වාගෙන යන යුද හමුදා ගොවිපොළ වටා පුරාවිද්‍යාත්මක සාක්ෂි රැසක් හමුව තිබූ අතර මෑත කාලය වන විට අදාල ස්ථානයේ පමණක් නටඹුන් ඉතිරිව පැවතියද එයද මේ වන විට විනාශ කොට ඇති බවත්ය.

ඇතැම් අන්තවාදී කණ්ඩායම් සෙට්ටිකුලම හා එම ප්‍රදේශයේ බෞද්ධ පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීමේ සැළසුම් සහගත ක්‍රියාවලියක නිරතව ඇති අතර, ඒ සම්බන්ධයෙන් වගකිව යුතු බලධාරීන්ගේ අවධානය යොමු නොවීමද කණගාටුවටකරුණක් බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

අදාල ස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පවතින ආරක්ෂිත ප්‍රදේශයක් බැවින් විනාශය සිදුකළ පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.            

සෙට්ටිකුලම මැණික්ෆාම් ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථානය ඩෝසර් රථ යොදා විනාශ කිරීම සම්බන්ධයෙන්  උතුරු පළාතේ පුරාවිද්‍යා නිලධාරීන්ගෙන් සිදුකළ විමසීමකදී ඔවුන් පවසා සිටියේ අදාල ස්ථානය ආසන්නයේ යුද හමුදාව විසින් ගොවිපළක් පවත්වාගෙන යනු ලබන අතර වගාකටයුතු පුළුල් කිරීම සඳහා ඉඩම් හෙළිපෙහෙලි කිරීමේදී පුරාවිද්‍යා ස්ථානයද ඩෝසර් කර ඇති බවට අනාවරණයවූ බවත්ය.