(ආනන්ද ඉ ජයකොඩි)

විද්‍යුත් මාධ්‍ය ආයතනයක කොන්ත්‍රාත්කරුවන් බව කියන දෙදෙනකු වෑන් රථයකින් පැමිණ වේයන්ගොඩ දඩගමුවේදී කාන්තාවකගේ ගෙල බැඳ තිබූ රන් මාලයක් කඩා ගැනීමට උත්සාහ කළ බව කියන කොල්ලකරුවන් දෙදෙනකු ගම්වාසීන් අල්ලා පොලිසිය බාර දී ඇත.

කොල්ලකරුවන් දෙදෙනා වේයන්ගොඩ කළගෙඩිහේන මාර්ගයේ වේයන්ගොඩ දෙස සිට කළගෙඩිහේන දෙසට වෑන් රථයෙන් පැමිණි දඩගමුව මංසන්දියේ දී එක් කොල්ලකරුවකු වෑන් රථයෙන් බැසීමෙන් අනතුරුව අනෙක් කොල්ලකරු වෑන් රථය මීටර් කිහිපයක් පදවා ගෙන ගොස් නවතා ගෙන සිටියදී බැස ගිය කොල්ලකරු පා ගමනින් ගිය කාන්තාවකගේ ගෙල බැඳ තිබූ රන් මාලයක් කඩා ගැනීමට උත්සාහ ගත් අවස්ථාවේ ඇය කෑ ගසා ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.

මේ අවස්ථාවේ ගම්වාසීන් වහා ක්‍රියාත්මක වී එම කොල්ලකරු අල්ලා ගැනීමෙන් අනතුරුව වෑන් රථයේ සිටි කොල්ල කරුද අල්ලා ගෙන ගස් බැඳ පොලිසිය බාරදී ඇත.

කොල්ල කරුවන් දෙදෙනා වරකාපොල ප්‍රදේශයේ පදිංචි කරුවන් බවත් මොවුන් පැමිණි වෑන් රථය විද්‍යුත් මාධ්‍යය ආයතනයක ප්‍රවාහන කොන්ත්‍රාත් වෑන් රථයක් බවත් පරීක්ෂණවලදී හෙළි වී ඇත.

කොල්ලකරුවන් දෙදෙනාම දැඩි ලෙස හෙරොයින් පානයට ඇබ්බැහි වී සිටින පුද්ගලයන් බවත් කොළඹ බලා යන අතරතුර හෙරොයින් මිලදී ගැනීම සඳහා මාලය කඩා ගැනීමට උත්සාහ කොට ඇති බවද වැඩිදුරටත් කරන ලද පරීක්ෂණ වලදී හෙළි වී ඇත.