(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රටේ විදේශ විනිමය අර්බුදයක් පවතින බව පිළිගන්නේ යැයි සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවැසීය.

පවතින අර්බුදකාරී අවස්ථාවේදී ශ්‍රී ලංකාව තනිවී නැති බවත්  ශ්‍රී ලංකාවට සහය දීමට රටවල් ගණනාවක් ඉදිරිපත්වී සිටින බවත්  ඔහු ප්‍රකාශ කළේය.

ගුණවර්ධන මහතා මෙසේ පැවසුවේ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන්වූ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

කොවිඩ්  වසංගතය ලෝකයේ සියලුම ආර්ථිකයන් ගිලගෙන ඇති බව පැවසූ දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට රාජ්‍ය සේවකයන් ව්‍යාපාරිකයන් මෙන්ම සංචාරකයන් අද ඇමරිකාවට ගොස් කොවිඩ්  තත්වය නිසා පැමිණීමට නොහැකිව සිටින බවද සඳහන් කළේය.

කොවිඩ්වලින්  මිනිස් ජීවිත ආරක්ෂා කිරීමට  ගත් ක්‍රියාමාර්ග නිසා  ආර්ථික පසුබෑම්වලට ලක්වීම ස්වාභාවික  බවද ඔහු කීවේය.

රට සහල් අර්බුදයකට මොනදේ සිටින බව පැවසූ ගුණවර්ධන මහතා ඒ අර්බුදයට මුහුණ දීම සඳහා ජනාධිපතිවරයා  අනුගමනය කරන ක්‍රියාමාර්ගය පැහැදිලිව ප්‍රකාශ කළ බවද සඳහන් කළේය.

සෑම රටකම ඇත්තන්ගේ නැත්තන්ගේ ආදායම් පරතරය උග්‍ර වෙමින් පවතින බවත් ජනතාවට සහන සැලසීම සඳහා රජය  රැපියල් බිලියන 229ක පැකේජයක් ප්‍රකාශයට පත් කළ බවත් ඔහු සඳහන් කළේය.

දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද සඳහන් කළේය.

"අපි  චීනය, ජපානය, ඉන්දියාව ඇතුලු අනෙකුත් රටවල්, ජාත්‍යන්තර ආයතන සමග මිත්‍රත්වයෙන්  කටයුතු කරනවා. ශ්‍රී ලංකාවට අයි.එම්.එෆ් එකේ සාමාජිකයෙන් හැටියට ලැබෙන්න තිබෙන ආධාර ලබා දී තිබෙනවා.

"ලෝක බැංකුව ලබා දෙන ආධාර ලබා ගැනීම සඳහා  කටයුතු කරනවා. අප දෙපාර්ශවයම පිළිගන්නවා ආර්ථිකය පන ගන්වන්න නම් විශ්වාසයක් අවශ්‍යයි."