(චාපා මධුභාෂිණී)

තම ගොවිබිම වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සදහා තැනූ පැලට ඇද තිබූ  විදුලි රැහැනක් ඇඟමතට  කඩා වැටීමෙන් මවක සහ පුතතු මරණයට පත්ව ඇතැයි හබරණ පොලිසිය කියයි.

මෙලෙස විදුලි සැරවැදීමෙන් මියගොස් ඇත්තේ අංක 408, කිතුල්උතුව, අක්බෝපුර ලිපිනයේ පදිංචි රාජපක්ෂගේ මල්ලිකා රාජපක්ෂ නමැති වයස අවුරුදු 46 වන තිදරු මව සහ නරසිංහ මුදියන්සේලාගේ ඉසුරු සෞභ්‍යාග්‍ය බණ්ඩාර නමැති වයස අවුරුදු 13 වන පුතු බව පොලිසිය කියයි.

මරණයට පත්වූ කාන්තාවගේ ස්වාමියා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති අතර ඔහු මීට වසරකට පමණ පෙර රිය අනතුරකින් මියගොස් ඇත. ඇගේ වැඩිමල් දියනියන් දෙදෙනා විවාහ වී ඇති අතර බාල පුතු සමග දිවි ගැටගසා ගැනීම සදහා ඇය නිවස පිටුපස අක්කරයක් පමණ වන කුඹුර වගා කරගෙන ඇත.

නිරන්තරයෙන් ඒම ප්‍රදේශයට කඩා වදින වල් අලි වගා බිම් විනාශ කිරීම හේතුවෙන් මෙම මව සහ පුතු පැලකට වී වගා බිම ආරක්ෂා කර ගැනීම නිරන්තරයෙන් සිදු කරන බව ගම්වාසීහු කියති.

දැනට පාසල් අධ්‍යාපනය ලබන තම පුතු තනිමය නිවසේ තබා යෑමට නොහැකි නිසා එම දරුවාද රැගෙන පැල් රකින්නට යන මෙම මව දරුවාගේ අධ්‍යාපන කටයුතුවල පහසුව සඳහා නිවසේ සිට විදුලි රැහන මගින් ඇද තිබූ බව පවුලේ ඥාතීහු කියති.

ඒ් හේතුවෙන් ඇය නිවසේ සිට පැලට ආනාරක්ෂිත ලෙස විදුලි රැහැනක් ඇදගෙන ඇති අතර පසුගියදා ඒම විදුලි රැහැන මොවුන් දෙදෙනාගේ ඇඟමතට කඩා වැටීමෙන් අනතුරුව පැල වටා ඇද තිබූ සාරි සහ ඉටි රෙදි ද ගිණිගෙන ඇත. තවද මෙම පැලේ අලි වෙඩිද තිබී ඇති බව පොලිසිය සිදු කළ මූලික පරික්ෂණවලදී අණාවරණය වී ඇත.