(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

උසස් පෙළ විභාගයට ඉදිරිපත් වන සිසුන්ට විදුලි කප්පාදුව නිසා විශාල ප්‍රශ්නයක් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව වහා අවධානය යොමු කරන්නැයි හිටපු අග්‍රාමාත්‍ය කොළඹ දිස්ත්‍රික් පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (23) පැවසීය.

විශේෂයෙන්ම ඉසෙඩ් ක්‍රමය අනුව ලකුණු දීමේ දී මේ ප්‍රශ්නය උද්ගත වන බවද වික්‍රමසිංහ මහතා කීය.

විදුලි කප්පාදුව විවිධ  ප්‍රදේශ වලට නොයෙක්  වෙලාවට කිරීම නිසා මූලික අයිතිවාසිකම් යටතේ නඩු පැවරීමට හැකියාව තිබෙන බව කී රනිල් වික්‍රමසිංහ මහතා මෙම විදුලි කප්පාදුව උසස් පෙළ විභාගය අවසන් වන තුරු වත් නතර කර  ගත හැකි දැයි සලකා බලන ලෙස කීය.

මීට පිළිතුරු දෙමින් සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසූයේ උසස් පෙළ විභාග සමයේ, විදුලි කප්පාදුව නවතා ගැනීම සඳහා විභාග කොමසාරිස්වරයා සහ අධ්‍යාපන අමාත්‍යංශය, විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සමඟ පෙරේදා (22)රාත්‍රියේදී සාකච්ඡා කළ බවයි.හැකි තරම්  දුරට මේ ප්‍රශ්නය වෙනස් කරන්නට හැකි වෙතියි සිතන බව ද දිනේෂ් ගුණවර්ධන මහතා කීය.මෙි ප්‍රශ්නය මතු කිරීම ගැන හිටපු අගමැතිතුමාට ස්තූතිවන්ත වෙන බවද ගුණවර්ධන මහතා සඳහන් කළේය.