(යොහාන් භාසුර)

රජයේ පාලන මිල ඉක්මවමා සහල් අළෙවි කරන පුද්ගලයන් සඳහා වන දඩ මුදල රුපියල් ලක්‍ෂයක් දක්වා ඉහළ දැමීමට නීති සංශෝධනය කරන්නේ යැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

සහල් පාලන මිලට අළෙවි කරන්නන්ට දඩය ලෙස රුපියල් 2,500 ක් ගෙවීමට නියම කරන නීති රෙගුලාසි ඇතුළත් පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ විධිවිධාන සංශෝධනය කරන බවත් රජය විසින් නියම කරනු ලබන උපරිම සිල්ලර මිලගණන් අළෙවි නොකරනු ලබන අවස්ථාවලදී ඔවුන්ට රුපියල් 100,000 ක දඩයක් පැනවීමට නීති ගෙනෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

එසේ වන අවස්ථා ගණන අනුව වැඩිවන දඩ මුදලක් නියම කරමින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය නීති රෙගුලාසි ඇතුළත් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරී පනත සංශෝධනය කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීය.