අක්කරපත්තුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කුඩා දරුවකුගේ අත බැඳි පවුම් තුනක් වටිනා අත් පළඳනාවක් සොරාගත් සිද්ධියක් සම්බන්ධව සැකපිට කාන්තාවක් සහ ඇයගේ පුත්‍රයකු පෙරේදා (18) අත්අඩංගුවට ගත් බව අක්කරපත්තුව පොලිසිය පවසයි.
මෙම ළමයා තම මවගේ රැකවරණය යටතේ රෝහලට ඇතුළත්ව නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇති බව පොලිසිය කියයි.
එම වාට්ටුවේ ලෙඩකු බලාගෙන සිටි කාන්තාවක් මවට සහ දරුවාට නින්ද ගොස් සිටියදී ළමයාගේ අත් පළඳනාව රාත්‍රී කාලයේ ගලවාගෙන එය රුපියල් සියයේ මුදල් නෝට්ටුවක ඔතා පසුවදා උදේ රෝහලට පැමිණි තම පුත්‍රයාට දී ඇති බව පරීක්ෂණවලින් අනාවරණය කරගෙන ඇති බව පොලිසිය කියයි.
තම මවගේ උපදෙස් මත රෝහල ඉදිරිපිට ඇති තේ කඩයක නානකාමරයක් අසල මෙය සඟවා ඇති බව පොලිසිය පවසයි.
සැකකාර කාන්තාව කුඩා දරුවාගේ අත් පළඳනාව ගලවා ගන්නා ආකාරය එහි සිටි තරුණියක් දැක ඇති අතර ඇය ඒ බව දරුවාගේ මවට පැවැසීමෙන් පසුව පොලිසියට ලැබුණ පැමිණිල්ලට අදාළව පරීක්ෂණ පවත්වා සැකකාර කාන්තාව සහ සොරකමට අනුබල දුන් ඇගේ පුත්‍රයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම දෙදෙනා නඩු භාණ්ඩ සමග ‘බී’ පත්‍රිකාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර මහතාගේ අධීක්ෂණය මත සහකාර පොලිස් අධිකාරී එච්.එච්.කේ.ජේ.සී. සමරසිංහ මහතාගේ උපදෙස් අනුව අක්කරපත්තුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එම්.ඒ.කේ. බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
COMMENTS
ලංකාවේ නොවෙයිද මොවුන් ජීවත් වෙන්නේ? කුඩා දරුවෙක් පවුම් තුනක රත්රන් සමග රෝහලක නෙමෙයි ගෙදරකවත් ඉන්න පුලුවන්ද අද?
අද ඕනෙම රෝහලකට රජයේ හෝ පුද්ගලික යනවිට රන් ආභරණ හෝ මුදල් ගෙන යන්ට එපා. මේවයේ සිදුවන හොරකම් වලට බොහෝවිට රෝහල් බලධාරීන් වග කියන්නේ නැහැ.
ලෙඩට බෙහෙත් ගන්න එනකොට ගෙදර තියෙන රත්රන් බඩු ඔක්කොම දාගෙන එන්නේ මොකටද ? මොලේ කල්පනා කරලා වැඩ කරන්න තවමත් අපේ මිනිස්සු දන්නේ නැහැ
හොඳ වැඩේ, රත්තරන් බැනගෙන යන්න ඉස්පිරිතාලේ මගුල්ගේවල් තියෙනවද?