(ඩයනා උදයංගනී)

පාස්කු ඉරිදා දින ප්‍රහාරය  කළ ත්‍රස්තවාදීන් සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට සාක්‍ෂි ඇතැයි කියමින් මාස පහකට පෙර අත්අඩංගුවට ගත් රියාජ් බදියුදීන් මහතා චෝදනා නැතැයි කියමින් නිදහස් කිරීම ගැන සැකයක් මතුවන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පවසති. අධිකරණ ක්‍රියාවලියකින් තොරව ඔහු නිදහස් කිරීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බව ද අගරදගුරුතුමෝ වැඩිදුරටත් පවසති. 

මෙම නිදහස් කිරීම පිටුපස දේශපාලන ගනුදෙණු තිබෙන්නේ ද යන්න ගැන සැකයක් මතුවන බව ද කාදිනල්තුමෝ කීහ. මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ කොළඹ අගරදගුරු මැදුරේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

පාස්කු ඉරුදින ප්‍රහාරයට සෘජුව හා වක්‍රව සම්බන්ධ වූ පුද්ගලයන් සම්බන්ධව සිදුකරන පරීක්‍ෂණවලින් අනාවරණය වූ කරුණු මත දැඩි චෝදනා ලැබ අත්අඩංගුවේ සිටින පුද්ගලයන් අධිකරණ ක්‍රියාවලියකින් තොරව හිටි හැටියේ නිදහස් කිරීම සම්බන්ධයෙන් බලවත් අප්‍රසාදය, විරෝධය, කනස්සල්ල හා විමතිය පළකරන බව කී කාදිනල්තුමෝ මේ සම්බන්ධයෙන් පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයන් දැඩි කැළඹීමකට පත්ව සිටින බව ද පැවසූහ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එදා සහ අද කරන ප්‍රකාශ පරස්පර විරෝධී බව කී කොළඹ අගරදගුරුතුමෝ පාස්කු ඉරිදා දින ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්‍ෂණ මේ වන විට දියාරු වෙමින් පවතින බව පෙනෙන්නේයැයි ද කීහ. 

සිදුවෙමින් පවතින මේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් අතසෝදාගෙන පැත්තකට වීමේ හැකියාවක් තමන්ට නැතැයි කී කාදිනල්තුමෝ ප්‍රහාරයෙන් මරණයට පත්වූ අයගේ පවුල්වල සාමාජිකයින්ට හා ආබාධිත වී සිටින අයට පොරොන්දු වූ යුක්තිය සාධාරණය ඉටුකරදීමට කතෝලික මැති ඇමැතිවරු හා මන්ත්‍රීවරු මෙන්ම අනෙක් අය ද කටයුතු කළ යුතු යැයි සඳහන් කළහ.