IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රිපබ්ලිකන් - ඩිමොක්‍රටික් පක්ෂ සභිකයෝ විදේශ ඇමැති හමුවෙති

යුද හමුදාපති ලු‍තිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පැනවූ සංචාරක තහනමට ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධය පළ කරන බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම අමාත්‍යාංශයට පැමිණි ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ නියෝජිත පිරිසට අද (17) දැනුම් දුන්නේය.

යුද හමුදාපති සහ වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලු‍තිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ ආසන්නතම සාමාජිකයන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය සිකුරාදා (14) සංචාරක තහනමක් පැනවීය.

එම තීරණය නැවත සලකා බලන්නැයි ද විදේශ සබඳතා අමාත්‍යාංශයට පැමිණි ඇමෙරිකා එක්සත් ජනපදයේ රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පක්ෂ කොංග්‍රස් සභිකයන්ගෙන් විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉල්ලා සිටියේය.

ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ අමි බෙරා සහ ජෝර්ජ් ඊ.බී. හෝල්ඩින්ග් යන මහත්වරුන් අද (17) විදේශ සබඳතා අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම කරුණු සඳහන් කළේය.

දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වාදුන් දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා දෙරටට හානියක් හෝ මෙවැනි ව්‍යාකූලතා ඇති නොවන පරිදි එම සබඳතා ඉදිරියට ගෙන යා යුතු යැයි ද ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ නියෝජිතයන්ට දැනුම් දුන්නේය.

මේ සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයට දැනුම් දෙන බව එම නියෝජිතයෝ එහිදී අමාත්‍යවරයාට දැනුම් දුන්හ.

ශ්‍රී ලංකා ආර්ථිකය ඉහළ නැංවීම සඳහා දෙරට අතර නව සහයෝගීතා ඇති කරගත යුතු බව මෙහිදී සඳහන් කළ අමාත්‍යවරයා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය, විද්‍යාව, තාක්ෂණය, නවෝත්පාදනය, කෘෂිකර්මය යන ක්ෂේත්‍රවලදී දෙරට අතර නව සහයෝගීතා ඇති කරගෙන ඇති බව ද කොංග්‍රස් නියෝජිතයන් දෙදෙනාට පැවැසීය.

දෙරටට වැදගත් වන අංශවලදී ඒ ඒ අංශවලට අදාළව සාකච්ඡා පැවැත්විය යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී කීය.

ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර තිබෙන සබඳතා සහ සහයෝගීතාව බහුවිධ අංශවලට ව්‍යාප්ත වී ඇති බවත් ශ්‍රී ලංකාව ඇමෙරිකාවේ වැදගත් පාර්ශ්වකරුවකු බවත් ඇමෙරිකානු කොංග්‍රස් සභිකයෝ දෙදෙනා කීහ. දෙරට අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය කරගැනීම ඉතා වැදගත් බවත් ඇමෙරිකාව ඊට සූදානමින් සිටින බවත් ප්‍රකාශ කළ ඇමෙරිකානු නියෝජිතයෝ දෙදෙනා දෙරට අතර ඍජු විදෙස් ආයෝජන වැඩි කරගැනීමට පියවර ගන්නා බව ද කීහ.

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ ඉතා වැදගත් උපායමාර්ගික භූගෝලීය ස්ථානයක පිහිටා ඇති බව කී ඇමෙරිකානු නියෝජිතයන් දෙදෙනා අතර දෙරට අතර සමුද්‍රයීය සහයෝගීතාව ඇති කරගැනීමේ වැදගත්කම ද පෙන්වා දුන්හ.

අමාත්‍යවරයා සහ ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රස් සභිකයන් දෙදෙනා අතර පැවැති සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය සහ එම තානාපති කාර්යාලයේ නිලධාරීහු, විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ, විදේශ සබඳතා අමාත්‍යාංශයේ උතුරු ඇමෙරිකාව පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල් දර්ශන එම්. පෙරේරා මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

දූත පිරිස නික්ම යෑමට පෙර විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිවා භෝජන සංග්‍රහයක් ද පැවැති අතර ඊට ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ නියෝජිතයෝ, රජයේ ආර්ථික කටයුතුවලට අයත් අංශවල ප්‍රධානීහු ඇතුළු පිරිසක් එක්වූහ.

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ සාකච්ඡා පැවැත්වීමට පෙර කොංග්‍රස් සභිකයන් දෙදෙනා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, කතානායක කරු ජයසූරිය සහ විදේශ සබඳතා පිළිබඳ අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ජී.එල්. පීරිස් යන මහත්වරුන් සමඟ සාකච්ඡා පැවැත්වූහ.

055



අදහස් (2)

රිපබ්ලිකන් - ඩිමොක්‍රටික් පක්ෂ සභිකයෝ විදේශ ඇමැති හමුවෙති

විනිවිද Monday, 17 February 2020 05:31 PM

යුද හමුදාපතිතුමාට ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පැනවූ සංචාරක තහනමට ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධය පළ කර සිටින්නට අවශ්‍ය නැත. ශවේන්ද්‍ර සිල්වා මාධ්‍යට කියා සිටියේ ඔහු විසා ඉල්ලා නොසිටි බවත් ඔහුට ඇමෙරිකාවට යාමට අවශ්‍ය නොමැති බවත්ය. කරුණු එසේ තිබියදී මෙතරම් ඇමෙරිකාවට විරෝධය පෑම ගැටලුවකි. ඇමෙරිකාව කිසිවකුට බලෙන් විසා දෙන්නට කතා කොට නොමැත. රජය සහ ඇමතිවරයා අපි ඇමෙරිකාවට බය නැත යන බොරු සටන් පාටය ගෙනහැර දැක්වීම කනගාටුවට කරුණකි. ප්‍රශ්නය තිරය පිටුපස විසදා ගැනීමට නොහැකි පුද්ගලයන් ප්‍රශ්නය වේදිකාවට ගෙනවිත් විශාල රග පෑමක් සිදු කරමින් සිටි.

:       4       23

prakaash Tuesday, 18 February 2020 04:43 AM

ඇමෙරිකාවේ දේශපාලන පක්ෂ එකතු වී අනෙක් රටවලට එරෙහි වන්නේ එකමුතුවය. ඔවුන්ගේ රටේ බලය ලබා ගැනීමට පමණක් තරඟ වදිති. ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්ති සකසා ක්‍රියාත්මක කරන්නේ එකටය. කොටින්ම ඇමෙරිකාව තමන්ගේ රටෙහි ඇති මානව හිමිකම් විනාශ කිරීම ගැන පළමුවෙන්ම සොයා බැලිය යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 73 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 351 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site