(ඩයනා උදයංගනී)
 
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබාගෙන ඇති දුරකතන ඇමතුම් හඬපටවලින් හෙළිවන කරුණු සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසන් සභාව මගින් හා ජනාධිපති විශේෂ කොමිසන් සභාවක් මගින් පුළුල් පරීක්‍ෂණයක් සිදුකළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

 
මෙහිදී කරුණු හෙළිදරව් වන දේශපාලනඥයින්, නීතියට පිටින් කටයුතු කර ඇති පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් පියවර ගත යුතු අතර අසාධාරණයට ලක්වූ වින්දිතයන් සිටීනම් ඔවුන්ටද සාධාරණයක් කළ යුතු බව මහලේකම්වරයා සඳහන් කළේය.
 
මෙම හඬපටවලින් හෙළිවන පරිදි අධිකරණ සේවාවේ පත්කිරීම් සම්බන්ධයෙන් අසාධාරණ සිදුවී ඇත්නම් ඒ සම්බන්ධවද සොයාබැලිය යුතු බව දයාසිරි ජයසේකර මහතා කීවේය.
 
මහලේකම්වරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (7) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.