අනීෂා මානගේ

2021 නව වසර ආරම්භයත් සමඟ රටට සහ ජනතාවට සෙත්පතා තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී අද(1) පෙරවරුවේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් සෙත් පිරිත් සඤ්ඡායනාවක් පැවැත්විණි.

තංගල්ල වජිරිගිරිය විහාරයේ සහ රත්මලාන චකින්දාරාම විහාරයේ විහාරාධිපති දක්ෂිණ ලංකාවේ අධිකරණ සංඝනායක මිරිස්සේ ධම්මවංශ හිමි, ගිරුවාගම් දොළොස්දහස් රට ප්‍රධාන අධිකරණ සංඝනායක කසාගල රජමහා විහාරාධිපති තලම්පෝරුවේ ඉන්දසිරිසුමන හිමි,  වගේගොඩ රන්කොත්මළු පුරාණ විහාරයේ විහාරාධිකාරී ඉත්තදෙමලියේ පඤ්ඤාසාර හිමි, කට්ටකඩුව නිම්බාරාම විහාරයේ විහාරාධිපති දෙනගම ධම්මාරාම හිමි ඇතුළු ප්‍රදේශයේ භික්ෂූන්වහන්සේලා පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම සෙත්පිරිත් දේශනාව සිදුකෙරිණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු එම පවුලේ ඥාතීන්, දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍ය ඩී.වී.උපුල් මහතා ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.