(වන්නි රොමේෂ් මධුෂංඛ)

යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා අද (09) අලුයම අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.

යාපනය නගරයේ ආරක්ෂාවට යැයි පවසමින් පස් දෙනෙකුගෙන් යුතු යාපනය නගර ආරක්ෂක බලකාය නමින් නීතිවිරෝධී ආරක්ෂක ඒකකයක් පිහිටුවීමේ චෝදනාව යටතේ නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගත් යාපනය මහනගරාධිපති වරයා අද උදෑසනම වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා යාපනය පොලීසියේ සිට වව්නියාව ත්‍රස්ත විමර්ශන ඒකකයට රැගෙන ඒමට කටයුතු යොදනු ලැබීය.

යාපනය නගර ආරක්ෂක බලකායක් ලෙසින් පුද්ගලයින් පස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් නිර්මාණය කොට ඔවුන් වෙනුවෙන් වෙනම නිලඇඳුමක්ද හඳුන්වා දී තිබූ අතර අදාල නිලඇඳුම සම්බන්ධයෙන් දැඩි කතාබහකට ලක් වූවේ එය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පොලිස් සාමාජිකයින් විසින් පැළඳී නිලඇදුමට බෙහෙවින් සමාන වීම හේතුවෙනි.

මෙම  බලකාය සමබන්ධයෙන් යාපනය පොලීසිය දැනුවත් නොකිරීම පිළිබඳව ඊයේ (08) දිනම යාපනය මහනගරසභා කොමසාරිස් වරයා ඇතුලු එම බලකායේ සාමාජිකයින් පස් දෙනාද පොලීසියට ගෙනවා ප්‍රකාශ ලබා ගැනීමෙන් පසුව අද අලුයම යාපනය මහනගරාධිපතිවරයා මෙලෙස අත්අඩංගුවට ගනු ලැබීය.